අත් බෑගය නිවැරදිව භාවිතා කරමු

අත් බෑගය නිවැරදිව භාවිතා කරමු

කාන්තාවකගේ කාර්‍යබහුල ජීවනරටාව තුල අත්බෑගයට කොතරම් වැදගත් තැනක් හිමි වෙනවාද කියලා අමුතුවෙන් කියන්නට දෙයක් නැහැනේ.එදිනෙදා අවශ්‍යතා අනුව විවිධ විලාසිතා සහ ප්‍රමාණ වලින් අප බෑග් පාවිච්චි කරනවා.තරුණ කාන්තාවන් අතරින් බහුතරයක් අත් විදින උරහිස සහ බෙල්ල ආශ්‍රිත වේදනා පමණක් නොවෙයි ඇතැම් කොන්දේ වේදනා සදහාත් අත්බෑගය බලපාන විදිය ටිකක් පැහැදිලි කරන්න හිතුවා.

සාමාන්‍යයෙන් අපි පුරුදු වෙලා ඉන්නෙ අවශ්‍ය සියලුම දේවල් දැමූ ලස්සන බෑගයක් නිවසින් එලියට යනවිට ගෙන යන්නට. බොහෝ විටම විලාසිතා සැකසී තිබෙන්නේත් එක් උරහිසක බෑගය එල්ලා ගන්නයි.සාමාන්‍යයෙන් අපි යොදා ගන්නේ අපට වඩාත් හුරු පැත්තේ(dominant side) උරහිස.ඉතින් මේ ඉරියව්ව නිසා අපි නොදැනුවත්වම බෑගය තිබෙන උරහිස අනෙකට වඩා ඉහලින් පිහිටන විදිහට තමයි අපි හිටගෙන ඉන්නේ හෝ ඇවිදින්නේ.එතෙනදී අපේ උරහිසේ සහ බෙල්ලේ එක පැත්තක පේශි පමණක් වැඩිපුර වැඩ කරන්නට පටන් ගන්නවා.මේ නිසා ඒ ආශ්‍රිත මාංශ පේශි වල සමබරතාවයට දැඩි බලපෑමක් එල්ල වෙනවා. උරහිස සහ බෙල්ල වේදනාව ඇතිවීමට මෙය ප්‍රධාන හේතුවක්.ඒ වගේම tension headache නමින් හදුන්වන හිස කැක්කුම ඇතිවෙන්නටත් මේ බෙල්ල ආශ්‍රිත පේශි වල අසමතුලිත බව තමයි හේතුව. කාලයත් සමග බෙල්ල සහ උරහිස පෙදෙසේ කොදුඇටපෙළෙහි වක්‍රතාවයන් වෙනස් වෙන්නටත් හේතු වෙනවා.ඒවගේම ස්නායු තෙරපීම තත්වයන්ට පවා ලක් වෙන්නට පුළුවන්.මෙය අපි poshities එහෙමත් නැත්නම් handbag syndrome ලෙස හදුන්වනවා.

උරහිසේ එල්ලන සමහර බෑග් විලාසිතා උකුල දක්වා දිගයි.මේ බෑග් පැලදගෙන ඇවිදිද්දී උකුලේ නොවැදී තබා ගන්නට අපි නොදැනුවත්වම අපේ ඉන ආශ්‍රිත පේශි වැඩි වශයෙන් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නව.(over act)ඉතින් කාලයත් සමග මෙය කොන්දේ වේදනාවලට හේතු වෙනවා.

සමහරු පුරුදු වෙලා ඉන්නවා උරහිස් දෙකටම පැලදිය හැකි බෑග් වර්ගත් තනි උරහිසේ පලදින්නට.මෙයත් ඉතාම වැරදි පුරුද්දක්

ඒ වගේම සාමාන්‍යයෙන් අපි නිවැරැදිව ඇවිදින විට අපේ කකුල් දෙක සමග අත් දෙක චලනය වන රටාවක් තිබෙනවානෙ.මේ රටාව සිරුරේ සමබරතාවයට ඉතා වැදගත්.ඉතින් බෑගයක් පැලද ගමන් කරද්දී බෑගය සහිත අත මේ රටාවට ගමන් නොකරන බව අපි අත්දැකීමෙන්ම දන්නවා.එහෙම ඇවිදිද්දී සිරුරේ සමබරතාවය පවතිනවා ගන්නට විරුද්ධ පැත්තේ අත් සහ උරහිස වැඩිපුර චලනය වෙන්න පටන් ගන්නවා.මෙය ඇත්තටම අප නොදැනුවත්වම සිදු වන දෙයක්.නමුත් මෙයින් උරහිසේ සහ කොන්දේ දෙපස මාංශ පේශි වල සමබරතාවය බිද වැටෙන නිසා ඒ ආශ්‍රිත වේදනා වලට හේතුවක් වෙනවා.

ඉතින් අපට හෑන්ඩ් බෑග් පාවිච්චි කරන්නට බැරිද කියා ඔබට සිතේවි.පුළුවන් නමුත් තරමක් කල්පනාකාරී වීමෙන් යමතාක් දුරට මේ ගැටලු අවම කරගන්නට පුළුවන් .

බෑගයක් තෝරා ගැනීමේදී පටි මහතින් වැඩි සහිත එකක් තෝරා ගැනීමට සැලකිලිමත් වීම වැදගත් .එවිට උරහිස මත යෙදෙන බර ටිකක් පැතිර යන නිසා පීඩනයේ බලපෑම අඩුයි.සිහින් පටි සහිත බෑගයකින් සිරුරට ඇතිවන ආතතිය වැඩියි.

තනි උරහිසක පලදින බෑගයක උපරිම ගෙන යා යුතු බර සිරුරේ බරෙන් සියයට 5%ක්හෝ ඊට අඩු විය යුතුයි.බෑගයේ බර වැඩි වන විට උරහිස් දෙකේ අසමතුලිත බව වැඩි වෙනවා වගේම එයින් සිදු වන හානියත් ඉතා වැඩියි.

අතේ හෝ වැලමිට අසල එල්ලා ගෙන යාමේදී හානිය ටිකක් අඩු උනත් බෑගය බරින් වැඩි නම් එය කලින් වගේම සිරුරේ සමබරතාවයට සැලකියයුතු හානියක් සිදු කරනවා.ඒ නිසා නිසා පමණට වඩා බර ගෙන යාම නම් කොහෙත්ම නොකලයුතු දෙයක්.

හෑන්ඩ් බෑගයක් එල්ලා ගෙන වැඩි දුරක් ගමන් කරනවා නම් අනිවාර්යයෙන්ම උරහිස් දෙක මාරුවෙන් මාරුවට යොදා ගන්නට වග බලා ගත යුතු වෙනවා.සාමාන්‍යයෙන් කෙනෙක් බෑග් පලදින්නේ තමන්ට හුරු අතට පමණයිනෙ.එය හානි දායක පුරුද්දක්.

Back packs තරමක් හොද නිර්දේශ කලහැකි ක්‍රමයක් .උරහිස් දෙකටම සමාන බරක් ලැබෙන පරිදි ඔබට වැඩි බරක් ගෙන යන්නට පුළුවන්.නමුත් පාසල් දරුවන්ට බෑග් අරන් දෙනවිට සැලකිලිමත් වෙන්න ඕන පලල් උරපටි සහිත දෙපැත්ත සමබර ලෙස සාක්කු යෙදූ බෑගයක් තෝරා ගන්නට.පාසල් බෑගයත් සමහර දරුවන් පටිය අනවශ්‍ය පරිදි දිගට යොදා පලදිනවා මා දැක තිබෙනවා.උකුල සහ කොන්දේ පේශි වලට එය හිතකර නැහැ.

උරහිස් දෙක හරහා යන පරිදි බෑග් පැලදීමත් තරමක් හොදයි.(messenger style)එයිනුත් සිරුරේ සමබරතාවයට වන හානිය අඩු නිසා.

ඉතින් බෑගයක් පාවිච්චි කිරීම අත්‍යාවශ්‍ය දෙයක්.නමුත් ඒ සමගම ඔබේ සෞඛ්‍ය ගැනත් කල්පනාකාරී වීම වැදගත් නේද.

එෂානි  මධුවන්ති

භෞතචිකිත්සක නිලධාරිනී- කරාපිටිය ශික්ෂණ රෝහල

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *