ඉස්කෝලෙදි කාපු කෑම

ඉස්කෝලෙදි කාපු කෑම

ජීවිතේ රහටම කෑවේ කවදාද ඇහුවොත් පාසල් කාලයේ දිගෑරගත් බත් මුලක සුවඳ උඩු ගුවනේ සිට නහයට නොදැනෙන්නේ එහෙමත් කෙනෙකුට පමණි. පාසල් කාලය ඒ තරමට ගුටි කෑමත් බත් කෑමත් සුන්දර මතක එකතු කල කාලයකි. දකුණු ලකේ අග නගරේ ප්‍රමුඛ පෙලේ බාලිකාව ජීවිතේ ලස්සනම දවස් ගෙවි ගියේ කෙලිසෙල්ලම්, ඉගෙනීම, සමිති සමාගම් අතරෙහි පමණක් නොවේ හිත පිරෙන්නට කට පුරවාගත් කඩල අහුරක්, බටර් මාමයිට් ගෑ පාන්පෙත්තක්, පැටිස් එකක් හෝ සීතලම සීතල වෝල්ස් අයිස්ක්‍රීම් එකක් ද සමඟිනි.

ගාල්ලෙන් මදක් ඈතට වෙන්නට අප වාසය කල ඉමදූවේ සිට පින්නත් කලුවරත් අරගෙන පාසල් බසයට දුවන මට මාලුපිණි හතරපහක් එක්ක කෙසෙල්කොලේ එතූ බත් මුලක් දෙන්නට රැකියාවක් කල අම්මාට නොහැකි වූවාය. නමුත් ඈ මා හිස් අතේ පාසල් යැව්වේද නැත. රත්කල තෙල් එකට ලූණු, සුදු ලූණු, කැරට්, බෝංචි හීනියට කපා කහ, ගම්මිරිස් දමා බිත්තරයක් ද කඩා තිබුණෝතින් සොසේජස් කූරක් ද හීනියට ලියා තෙම්පරාදු කරන බත මට නම් ඉස්තරම්ම ෆ්රයිඩ් රයිස් විය. සමහරදාට අම්මා ඒකට ගොටුකොලද දැම්මාය. නැත්නම් පොල් තීරු සමඟ තෙම්පරාදු කල කඩල වලින් කෑම පෙට්ටිය පිරෙව්වාය. නමුත් යෙහෙලියන්ට තවමත් මතක මගේ මැගි නූඩ්ල්ස් පෙට්ටියයි.

ඒ මා ගෙදරින් ගේන දේය. ඒකත් සමඟ උදේ වරුවේ හොරෙන් කන්නට මාමයිට් බටර් පාන්පෙතිද, ත්‍රිපෝෂ ගුලිද, රොටී සහ කට්ට සම්බෝලද බිස්කට් කෙසෙල්ගෙඩිද එකතු වන්නේය. සමහරදාට අපි බත් සමඟ චොක්ලට් බිස්කට් කන්නෙමු. මී ගඳ ගහන පන්තියේ කබඩයේ සඟවා තියෙන පොදු හැන්ද, ඩෙස් යටින් අතින් අත මරු කර යවන කෑම අච්චාරු කර හැදූ ඒ අමුතුම කෑම ගුරුතුමිය කළු ලෑල්ලට හැරෙන වාරයක් ගානේ බග් ගා කටට හලාගන්නට උදව් විය. නමුත් මේ කිසිම දෙයකින් බඩට කිසි අතුරු ආබාධයක් නොවීමද පුදුමය. මේ ගෙදරින් එවන කෑම පෙට්ටි වලට වඩා රසවත්ම දේ හමුවන්නේ සෙනග අතරින් පොරකා යන්තම් අතක් පයක් දමා බාගෙට පණ යන්න ඔන්න මෙන්න තියා ටක් ශොප් එකෙන් එලියට ගන්නට ලැබෙන පැටිස් එකක, රුපියල් දෙකේ බැදපු පරිප්පු හෝ රටකජු පැකට් එකක නැත්නම් දහදෙනෙකු විතර එකතු වී යන්තම් උගුරක් බඩට යවාගන්නට ලැබෙන පෝටෙලෝ බෝතලයකයි.

මේ කාලයේ ගාල්ලේ පීසාහට් හෝ KFC නොවීය. ඒ මොනවාදැයි අපි දැන සිටියේද නැත. හැබැයි තැන තැන කඩ වල තිබූ පාට දෙකේ සෝයා අයිස්ක්‍රීම් හොදට මතකය. සිපාරාවේ පන්ති යනදාට පරණ බස්නැවතුම පිටුපස කුණු ඇල පාරේ පන්ති යන ලමයි ඉලක්ක කරගෙන නවතාගෙන ඉන්න ක්රෝම් වෑන් එක මතකයි. ක්රෝම් එකෙන් තල ඇට ඉසූ සොසේජස් බනිස් එකක් කන්නට මම හදිසියේ හෝ අම්මා හදා දෙන්නට වලිකන කෑම එක අමතක කරමි. සවුත් සිලෝන් එකේ ගාලික් බන් එක අදටත් අමතක කල නොහැක. ඒ විතරද සිපාරාවේ කැන්ටිමේ බිත්තර රොටියද මහාර්ඝ වස්තූන්ය. කරාපිටිය පාරේ ටයිනි හෝටලයේ වඩේ ගැන නොලිව්වොත් එයද අඩුවකි. ඉස්කෝලේ පාලර් එකේදී පාසල් බසය එනකන් උර උරා ඉන්න කිරි රස වෝල්ස් අයිස්ක්‍රීම් දැන් රටෙත් නැත.

මේ කාපු කෑම් සෞඛ්‍ය සම්පන්න ගුණදායී කෑම යැයි නොකියමි. නමුත් ඒ කෑම හා බැදුනු කෙලිලොල් ලමාවිය, යොවුන්විය රසනහර පිනවන මතක සටහන් රැසකින් සදාකාලයට හදවත පුරවා ඇත.

සජිනි උයන්ගොඩ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *