දුෂ්කරතා මැද කවි බණ දෙසන සෝරත හාමුදුරුවෝ

දුෂ්කරතා මැද කවි බණ දෙසන සෝරත හාමුදුරුවෝ

නාරම්මල නගරයට නුදුරින් පිහිටි පැන්තැනිගොඩ නම් මුස්ලිම් ගම්මානයේ පිහිටි ශ්‍රී ධර්මායතනය නම් පන්සලෙහි නායක ස්වාමීන්වහන්සේ වන පූජ්‍ය මාඑළියේ නාලින්දාලංකාර හිමියන් BA ගෞරව උපාධියක්ද ලබාගෙන එවැනි දුෂ්කර පන්සලකට වී කුඩා සාමනේරයන් වහන්සේලා රැකගෙන උන්වහන්සේලාට අධ්‍යාපනය වගේ ම උන්වහන්සේලාගෙ හැකියාවන් ඔප්නංවන්න වෙහෙසෙන හැටිනම් අපූරුය. ශ්‍රී ධර්මායතනය නම් වූ මෙම පන්සලට ඇති මාර්ගයද අපූරුය . ගල් තලාවක් මතින් දුෂ්කරව යෑමට ඇති මෙම මාර්ගය තරමක් දුෂ්කරය. නාරම්මල – කුලියාපිටිය පාරේ ඉදිරියට යන විට හමු වන ගල්වංගුව හන්දියෙන් දකුණට තිබෙන වීරඹුගෙදර මාර්ගයේ කිලෝ මීටර 3-4 පමණ ඉදිරියට යන විට පැන්තැනිගොඩ නම් මුස්ලිම් ගම්මානයයි .එතනින් ගල උඩ බෝධීන්වහන්සේ පසුකර මාළිගාතැන්න ශ්‍රී ධර්මායතන පන්සලට යෑමට වම් පස ඇති ඉතාම පටු මාර්ගයට පිවිසුණ විට දක්නට ඇති ගල් පොත්ත මතින් වූ කිලෝමීටරයක වූ මඟ හරිම ප්‍රවේශමෙන් ගෙවා පන්සලට ඇතුළු වූ අප උන්වහන්සේ සමඟ සුහද සංවාදයක් කළේ එහි දුෂ්කරතා මෙන්ම සුවිශේෂී වූ කරුණක් ගැනය. එනම් වයස අවුරුදු දහයක් පමණ වූ පුංචි සෝරත හාමුදුරුවන්ගේ මධුර වූ කවිබණ හැකියාව ගැනය. උන්වහන්සේ යුගාසන කවිබණ දේශනා කරන්නෙ පුංචි රාහුල හාමුදුරුවන් සමඟය.

• ඔබවහන්සේ පැවිදි දිවියට ඇතුළු වුන හැටි මතක් කරොත්?

මගේ උපන් ගම මැල්සිරිපුර නෙලියේ.මම 79 ඉපදුනේ . නෙලියෙ ඉඳල අවුරුදු අටේදි විතර පොල්පිතිගමට ආවා. ඒ ඇවිල්ලා අවුරුද්දක් – එකහමාරක් තමයි පොල්පිතිගම හිටියෙ. ඒ කරල අවුරුදු දහයෙන් දිඹුලාගල ගියා අනූවෙ අවුරුද්දෙ මහණ වෙන්න.

• ඔබ වහන්සේගේ උපන් ගම හා පැවිදි වූ පන්සල ද අතහැර මෙම ප්‍රදේශයට වැඩම කිරීමට හේතුව ?

ඒකට හේතු වුණේ මගේ අම්මා. මගේ අම්මගෙ එක්කුසේ උපන් මල්ලි මහණ වුණේ දිඹුලාගල. දිඹුලාගල මහ හාමුදුරුවන්ගේ ගෝලයෙක්. උන්වහන්සේට වුවමනා වුණා එහෙ තියෙන්නේ විදර්ශනා ධූරය නිසා ඒක යන්නෙ වෙනම ගමනක් භාවනාව පැත්තට. මම ඒකාලෙ චූටියි. මට හරියට තේරුන්නෑ. උන්වහන්සේට වුවමනා වුණේ ගම්ධූරය පැත්තෙන් විශ්වවිද්‍යාලය දක්වා උගන්වන්නට . ඉන්පස්සෙ ලොකුහාමුදුරුවො තමයි මාව කුරුණෑගල මලියදේව පිරිවෙනට භාර දුන්නෙ. අනූ එකේ අවුරුද්දෙ .

• මෙම පැන්තැනිගොඩ ග්‍රාමයේ රජමහා විහාර දෙකක් ම පිහිටා තිබෙද්දීත් ඔබ වහන්සේ මෙම ස්ථානයේම විහාරස්ථානයක් ආරම්භ කිරීමට හේතු විමසුවොත් ?

ම්ම්.. ඒකට හේතුවක් වුණේ ,මම පළමුවෙන් ම නාරම්මලට ආවෙ පත්වීම නාරම්මල සිරිකොත පිරිවෙනට ලැබුණ නිසා. ඊට පස්සෙ මට උවමනාවක් තිබ්බා ස්වාධීන ව පන්සලක මේ වගේ චූටි ස්වාමීන් වහන්සේලා ටිකක් හදන්නට. එකට මටම කියල ස්වාධීන අයිතියක් වුවමනා වුණා. මේක පන්සලක් විදියට සමාජය තුළ දක්නට ලැබුණ. ඒත් ලොකු ලොකු ස්වාමීන් වහන්සේ කෙනෙකුගේ නායකත්වයක් දක්නට නොලැබුනා. ඒකයි මම මෙතන තෝරගත්තෙ ප්‍රධාන වශයෙන් ම.

• පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් රජයේ ඉඩමක් නිසා ම මෙම ස්ථානයේ විහාරස්ථානයක් ස්ථාපිත කිරීමේදී ඔබ වහන්සේ නොයෙක් ගැටලුවලට මුහුණ පාන්නට ඇති ,

ඔව්, මම පන්සලට එනකොට ගමේ කට්ටිය එකතුවෙලා පන්සලක් හැටියට සූදානම් කරගන්න ගොඩක් මහන්සි ගත්ත .ඒත් පුරාවිද්‍යාවෙන් සහ පොලීසියෙන් අනුමැතිය ලැබිල තිබුණෙ නෑ . මම ඇවිත් මාස දෙකක් විතර ඉඳල කොළඹ ගිහිල්ලා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්තුමා සෙනරත් දිසානායක මහත්තය හම්බෙලා එතුමන්ගෙන් අවසර ගත්ත . ඊට පස්සෙ එතන ඉඳන් තමයි කෙමෙන් කෙමෙන් මේ ගොඩනැගිලි හදාගන්න අවසර ලැබුණෙ. එකපාරටම අවසර ලැබුණෙ නෑ පස්සෙ නයිතිකව ‘ ස්වාමීන්වහන්සේ නමක් ,ඔබවහන්සේ වගකීමෙන් බාර ගන්නව නම් අපි දෙනව’ කියල අවසරය දුන්නෙ.

මෙම පන්සලේ දකින්නට ලැබෙන විශේෂත්වය නම් වැඩි වශයෙන් වැඩම කරන්නේ කුඩා සාමණේරයන් වහන්සේලා. ඒ ඇයි ?

හේතුව , ඇත්තෙන්ම මම ගොඩක් බලාපොරොත්තු වුණ දෙයක් තමයි මේ චූටි ස්වාමීන්වහන්සේලාට ආදරය කරුණාව ආරක්ෂාව ඇතිව මේ සාසනය තුළ වැඩ සිටින්නට අවස්ථාව සලසා දීම. ගොඩක් ම අද වර්තමානය සමාජය තුළ පන්සල්වල කුඩා ස්වාමීන්වහන්සේලා නැතිවෙන්න හේතු දෙකක් තියෙනව . එකක් තමයි මම දැක්කෙ එන චූටි ස්වාමීන්වහන්සේලාට ලොකු හාමුදුරුවො අම්මා කියන සිතුවිල්ලෙන් දකින්නැති එක. ඉතිං අම්මා කියන කරුණාව් දශමයක්වත් අඩු කරන්නැතිව මම හදාවඩාගන්න වෙහෙඩ වීමයි. අනිත් එක මහන කරන්න අංග සම්පූර්ණ දරුවන් ,දෙමාපියන් සිටින කුලමලකම් සියල්ල තියෙන ඒ සෙවිල්ලෙන් ලොකුහාමුදුරුවො සොයන්න යන භූමිකාව තුළ දරුවො අද වර්තමානයේ මහනවෙන්න පෙළඹෙන්නෑ. ඉතිං මම මහණවෙන්න කියල දරුවො හෙව්වෙ නෑ . ඔය ඉන්න කිසිම පොඩිනමක් මම මහණවෙන්න කියල එක්ක ආවෙ නෑ .මම එක්ක ආවෙ අකාලයෙ ජීවිත විනාශවෙන දරුවන්ට ජීවිතයක් දෙන්න .ඒ කියන්නෙ ගුණධර්ම වලින්, ආදරයෙන්, ආධ්‍යාත්මයෙන් අධ්‍යාපනයෙන්, සමාජයේ හොඳ පුරවැසියෙක් කරන්න. එහෙම කරන අතරතුරේ තමයි එයාලටම මහණවෙන්න ආසාව හිතිල තමයි ඔය මහණ වුණේ.

• වර්තමාන සමාජයේ කතිකාවක් යනව හය හතර නොදත් කුඩා දරුවන් පැවිදි බිමට යොමු කිරීම වැරදියි කියලා ඔබ වහන්සේගේ මතය කුමක්ද මේ ගැන ?

වර්තමාන සමාජයේ මටත් එහෙම කියල තියෙනව .නමුත් මම ඒක වැඩිදුරට විශ්වාස කරන්නෙ පිළිගන්නෙ නෑ . මොකද චූටිකාලෙ මහණ වුණාම තමයි ඒ දරුවාව හදාගන්න පහසුවක් තියෙන්නේ . අනිත් එක බුදුහාමුදරුවන්ගේ දේශනා ව තුළ මහණ කරගන්න සුදුසු වයස පිළිබඳව කියද්දි කපුටෙක් එළවගන්න තරම්අවබොධයක් තියෙනව නම් ඒ ඇති කියල තමයි අපි අහල තිබුණෙ.

• මෙම පන්සලේ විශේෂත්වය විදියට මම දකිනවා කුඩා සාමණේරයන් වහන්සේලා ඉතා කුඩා වයසක වුනත් ධර්ම ඥානය මෙන්ම අලංකාර ලෙස කවිබණ දේශනයෙහිද නිපුණ බව,

මෙහෙමයි, මම ඒ පිළිබඳව ගොඩක් සතුටුවෙන ප්‍රශ්නයක් ඇහුවෙ. එදා මම පන්සලට එනකොට මට මතකයි සෝරත චූටි හාමුදුරුවොයි රාහුල චූටි හාමුදුරුවොයි හිටියෙ අම්මා කියල සිංහලෙන්වත් ලියන්න බැරි තත්ත්වයක. ඒත් අද මේ වෙනකොට එයාලට කවියෙන් බණ කියන්න පුළුවන් තත්ත්වයක් ඇවිත් තියෙනව පමණක් නෙවෙයි සිංහල ඉංග්‍රීසි පාලි වලිනුත් ලියන්න පුලුවන් හැකියාවක් ඇවිත් තියෙනව . ඉතිං මගෙ අරමුණ තමයි මෙයාලගෙ මේ දක්ෂතාවය හැකියාව තව තවත් ඉදිරියට ගෙනයාම. මේ දෙන්නගෙ කවිබණ අහල, දැන් විවිධ ප්‍රදේශ වල යුගාසන කවිබණ වලට ආරාධනා ලැබෙමින් පවතිනව. දැනට ධර්ම දේශනා දෙක තුනක්ම පැවැත්වුවා.

• ශ්‍රී ධර්මායතනය පන්සලේ ආරම්භයේ සිට ගත් කල ඉතාම කෙටි කාලයක් තුලදී පන්සලෙහි යම් දුරකට දියුණුවක් වී ඇති බව පෙනෙන්නට තිබෙනවා. එම දියුණුවට අත හිත දුන් අය සිහිපත් කළොත්,,

ඒක හේතුව වුණේ මුල්කාලයේ මේ අය දරුවො. පසුව මහණවෙලා කසාවතින් බබලනකොට වටපිට අයගෙ වුණත් නෙත ගැටෙනවනෙ. ඉතිං නගරයෙ අය දැක්කා .අපේ ප්‍රදේශය තුළ ගිරිඋල්ල , දඹදෙණිය ඒ වගේ තැන්වලින් ඇවිල්ලා මෙයාලට දන්-පැන් පූජා කළ . ඒ දන්පැන් පූජා කළ බහුතරයක් තව අයට කීවා. ඒ ආපු අය අතරින් ගිරිඋල්ල දෙකඳුවල පදිංචි ජී.ඇම් .සුමනාවතී මහත්මිය මේ සාමනේරයන් වහන්සේලා පැන්පහසුවට ස්ථානයක් නැතිව පීඩාවිඳින හැටි දැකල අංගසම්පූර්ණ නානකාමරයක් සහ අධ්‍යාපන කටයුතුවලට කාමරයක් සකස්කර දුන්නා. ඒ වගේ ම විශේෂයෙන්ම කොස්ගම හංවැල්ල ප්‍රදේශයේ සුමනවංශ කියල හාමුදුරු නමක් පන්සල බලන්න වැඩපු වෙලාවෙ උන්වහන්සේ දැකල අපේ පන්සලේ චූටි හාමුදුරුවන්ට බුදුන් වඳින්න ස්ථීර තැනක් නෑ කියල . උන්වහන්සේ තමයි ඔය බෝධිබැම්ම හදල ඔය මල් ආසන හදල බුදු මැදුර හදල ඔය ලයිට් කනු එහෙම දාල එයාගෙ දායකයොයි නෑදෑයෝ ගෝල ශිෂ්‍ය කට්ටියගේ දායකත්වයෙන් මේ ජනවාරි හයවෙනිදා පූජා කෙරුවේ.

• තවදුරටත් මෙම පන්සලට තියෙන අඩුපාඩු මොනවාද ?

පුතේ, මට විශේෂයෙන්ම පන්සලේ අඩුපාඩු විදියට කියන්න දකින්නට තියෙන්නේ එදා දැකපුදේම තමයි . මගෙ අරමුණ ගොඩනැගිලි හදනවාට වඩා පන්සලේ පොඩිහාමුදුරුවො තියාගත්තොත් තමයි මේ සාසනය රැකෙන්නෙ කියන එක. ඉතිං උන්වහන්සේලාට අත්‍යාවශ්‍ය කරන දේ ඔය අපි වැඩසිටින ආවාස ගේ. මේ වන විට දොළොස්නමක් වැඩ සිටිනව කාමර දෙකයි තියෙන්නේ . ඉතිං මේ ආවාසය හදාගන්න එක තමයි මගෙ මූලික අවශ්‍යතාව ය. එතකොට ඔයාල එද්දි අත්විඳින්න ඇති ගල්තලාව මතින් හරිම කටුක පාරක් තියෙන්නේ . ලොකු වාහනයකට හැරුණුකොට පොඩි වාහන වලට එන්න බෑ . ඉතිං ඒ මංමාවත් පිලිසකර කරගැනීම තමයි අවශ්‍ය ය.

• රජයෙන් ආගමික සිද්ධස්ථාන වල අභිවෘද්ධිය තකා වැඩපිළිවෙලවල් සකස් කරලා තිබෙනවා . ඒවායින් මෙම පන්සලට උදව් උපකාර ලැබෙන්නෙ නැති ද ?

රජයෙන් තියෙන ඒවායින් තවම අපිට ලැබුණෙ නෑ . 2017 අවුරුද්දෙ අපට බුද්ධසාසන අමාත්‍යාංශයෙන් ආධාරයක් ලැබුණා. දැන් මේ අවුරුද්දෙත් ලැබෙනව කියල ආරංචියක් තියෙනව. ඒත් තවම ලැබුණෙ නෑ .

• පුංචි සාමනේර සාමණේරයන් වහන්සේලා දෙනම කවි බණ වලට ආරාධනා කරන්න හෝ මෙම පන්සලට ආධාර උපකාර කිරීමට කැමැති සැදැහැවතුන් ඔබවහන්සේව සම්බන්ධ කරගන්නේ කෙසේද ?

මම ගොඩක් බලාපොරොත්තු වෙන්නෙ ඇවිත් බලල මේ කුඩා ස්වාමීන්වහන්සේලා ගෙ අපහසුතාවයන් දුෂ්කරතා බලල උදව් උපකාර කරනවට. එහෙම එන්න අපහසුනම් දුරකතනයෙන් කතාකරල හරි උදව් කරන්න පුලුවන් .මගෙ දුරකතන අංකය 0714584098 . ඒත් මම ගොඩක් දුරට බලාපොරොත්තු වෙන්නෙ පළවෙනි වතාවට හරි ඇවිත් බලන එක තමයි .

හංසි රණසිංහ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *