දේශගුණික විපර්යාස හා කාන්තා නියෝජනය

දේශගුණික විපර්යාස හා කාන්තා නියෝජනය

ලොව දැඩි අවධානයකට වර්තමානයේ භාජනය වී ඇති දේශගුණික විපර්යාස (Climate Change) මානව පැවැත්මට අහිතකර අයුරින් බලපා ඇති බව කිව යුතුමය. වැඩි ස්වභාවික සම්පත් ප්‍රමාණයක් මත යැපෙන රටවල ජනතාව මින් වඩාත් බලපෑමට පත්වී ඇති අතර දේශගුණික විපර්යාසවල බලපෑමට මුහුණ දීමේ මේ රටවල ධාරිතාවයද ඇත්තේ ද අවම මට්ටමකයි. ආන්තික කාළගුණික (Extreme Weather) තත්වයන් නිසා උෂ්ණත්වය ඉහළයාම, ලැව්ගිනි, අධික වර්ෂා, සුළි සුළං, කුණාටු, මහා ජලගැලීම් පමණක් නොව නායයාම් නිසාද පසුගිය දශක කීපය තුල ලොව පුරා සැලකිය යුතු ප්‍රතිශතයක් පුද්ගල මරණ හා දේපල හානි සිදු වුණා. ජාතියන්තර අපදා දත්ත අනුව 2005 වර්ෂයේදී සහ 2007 වර්ෂයේදී ආන්තික කාළගුණික අපදා හා ගංවතුර අපදා තත්වයන් පමණක් (අනෙකුත් ස්වභාවික අපදා හැර) 323 බැගින් මේ වර්ෂ දෙක තුල වාර්තා වුණා. එය එම දශකය පුරාම දක්වා ඇති ඉහලම අගයන්. කෙසේ වෙතත්, 2017 හා 2018 යන වර්ෂවල ඇතිවූ ආන්තික කාළගුණික හා ගංවතුර තත්වයන් විසින් සිදුකල ආර්ථික හානිය ඇමරිකානු ඩොලර් බිලියන 214.59ක්. එය මේ දශකයේ ස්වභාවික අපදා නිසා ඇතිවු විශාලම ආර්ථික පාඩුව ලෙස හදුනා ගැනෙනවා.

ලෝකයේ දුප්පතුන්ගේ ජනගනයෙන් වැඩිම පිරිසක් කාන්තාවන් වන අතර දරිද්‍රතාවය නිසාම ඔවුන් දේශගුණික විපර්යාසවල දැඩි බලපෑමට ලක්ව සිටිනවා. මේ නිසාම ප්‍රතිපත්ති සැකසීමේ හා තීරණ ගැනීමේදී ක්‍රියාවලියේදී කාන්තා  නියෝජනය අවම වීම, රැකියා අවස්ථාවන්වල ඇති අසමානතා යන හේතුන් මත දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ප්‍රතිපත්ති සැලසුම් කිරීමේ හා ක්‍රියාවට නැංවීමේදී කාන්තා නියෝජනය දුර්වල බව හදුනාගෙන තිබෙනවා. කෙසේ නමුත් කාන්තාව සතු දේශීය දැනුම, ගෘහාශ්‍රිත කටයුතුවලදී ඇයගෙන් ලැබෙන දායකත්වය වගේම නායකත්ව හැකියාව වැනි කරුණු මෙම කටයුතු සඳහා ඉතා වැදගත් වෙනවා. උදාහරණයක් ලෙස ගෘහාශ්‍රිත හා ප්‍රජා මට්ටමින් තිරසාර සම්පත් කළමනාකරණයෙදී වගේම තිරසාර පරිභෝජන ක්‍රියාවලිය නංවාලීමේදී කාන්තා දායකත්වය ඉතාමත් අවශ්‍ය කාරණාවක්. තිරසාර සම්පත් කළමනාකරණය හා තිරසාර පරිභෝජනය පිලිබඳ දීර්ඝ ලෙස කතා කිරීමට ඉදිරි ලිපිවලදී බලාපොරොත්තු වෙනවා.

නොයෙක් සමාජ අසමානතා අවම කිරීමට කාන්තාව දේශපාලනයේ ක්‍රියාකාරීව නිරත වීම අත්‍යවශය සාධකයක් වන අතර ඇයගේ නායකත්ව හා උපතින් උරුම වූ ස්ත්‍රී ගුණාංගයන් දේශපාලන නියෝජනයේදී ඉතා වැදගත්.  පුරවැසි අවශ්‍යතා හදුනාගැනීමට, විවිධ සමාජ මට්ටම්වල සහයෝගිතා වර්ධනයට, වාර්ගික මතභේද අවම කිරීමට හා තිරසාර සාමය ස්ථාපිත කිරීමට ලොව පුරා දේශපාලනයේ නිරත කාන්තාවන් වැඩි වශයෙන් දායක වෙනවා. එම නිසාම දේශගුණික විපර්යාසවල බලපෑම අවම කිරීමට ඔවුන්ට ලබාදිය හැකි දායකත්වයද සුළුපටු නොවේ. දේශපාලන මට්ටමේ කාන්තා නියෝජනය නොයෙක් සමාජ මට්ටම්වල අනුගත කිරීමෙන් දේශගුණික විපර්යාසවල බලපෑම අවම කිරීමේ ප්‍රතිපත්ති සැකසීම, ක්‍රම සම්පාදනය හා ක්‍රියාවට නැංවීම ඉතා පලදායි බවට එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානය වාර්තා කරනවා. ඒ වගේම මෙම ක්‍රියාවලියන් සඳහා කාන්තා නියෝජනය අවම වූ අවස්ථාවල එම වැඩසටහන්වල පලදයිතාවය ඉතා අවම මට්ටමක පැවති බවද ඔවුන් වැඩි දුරටත් පවසා තිබුණා.

ජාතික දේශගුණික විපර්යාස පිටුදැකීමේ හා ජාතික අපදා කළමනාකරණ ප්‍රතිපත්තියන් සැකසීමේදී ස්ත්‍රී හා පුරුෂ දෙපක්ෂයේම සමාන දායකත්වය ඉතා වැදගත්වන අතර එය බිම් මට්ටමේ සිට ජාතික දේශපාලන තලය දක්වා විහිදී යන කරුණු සැලකිල්ලට ගනිමින් නිර්මාණය කලයුතු වෙනවා. එම නිසා දේශගුණික විපර්යාසවල බලපෑම හා ඉන් තම සමාජ තලයට සිදුවන හානිය පිලිබඳ කාන්තාවන් දැනුවත් වීම ඉතා වැදගත්. මෙහිදී රාජ්‍ය මට්ටමින්, ආයතන මට්ටමින්, සමාජ මට්ටමින් වගේම පුද්ගල මට්ටමින් කාන්තාව සවිබල ගැන්විය යුතුයි. ඒ සඳහා සන්නිවේදනය හා තාක්ෂණික පහසුකම් වගේම ක්‍රමවත් අධ්‍යාපනය තුලින් කාන්තාවගේ දැනුම හා නිර්මාණශීලි හැකියාවන් ගොඩනැංවීම ඉතා වැදගත්.  

කල්පනා අඹේපිටිය

කථිකාචාර්යය

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *