පා සටහන්

පා සටහන්

ටික දවසක පටන් කියන්නට ඕනෑ වී පවතින දෙයක් ඇත..

ලියන්නට පටන් ගෙන අකුරක් දෙකක් එසේත් නැතිනම් වචනයක් දෙකක් කුරුටු ගා ලිවීම නතර කළෙමි. කිහිප සැරයක්ම ඒ සන්තෑසියම වූයෙන් අතරැ දැමූ සිතුවිල්ලට  අද නැවතත් අත්තටු ලැබ මසිත ලැගුම් ගත්තේය…

ඉතින් අද නම් ලියන්නට ඕනෑ යයි හිත හදා ගත්තෙමි..

ඔබට මට අප ජීවිත කාලය තුළදී විවිධ පුද්ගලයන් විශාල ප්‍රමාණයක් හමු වනු ඇත…

ඔවුන් ඔබේ සිතෙහි අඩු වැඩි වශයෙන් ඉඩක් වෙන් කරගන්නවා වන්නටද ඇත.

මගතොටේදී හමු වන සිනහවකින් සංග්‍රහ කර සමු අරන් යන අයවලුන්ගේ සිට දිනපතා ඔබව කෙටි පණිවුඩයකින්.. දුරකථන ඇමතුමකින් හෝ සමාජ ජාලා ඔස්සේ හෝ අමතන අයවලුන් ද , එසේත් නැතහොත් ඇමතුමක් නොලැබ උවද හිතවත්කමින් හදවතේ ගැඹූරු තැනකටම අත්තිවාරම දමා සිටින්නවුන්ද දක්වා නේක විධ සබඳතා පවත්වන ජීවීන් ඔබට මට හමු වී ඇත්තේමය…. සෙනෙහසේ අත්තිවාරම් දැමූ පුද්ගලයන් දුලබය… ඔබට අවැසිම විටදී ජීවිතයට සෙත් කවිය එවන් මුවකින් ඔබ වෙනුවෙන් ගැයෙනු ඇත… ඉතින් ලැබෙන ඇමතුම් ගණනින්,  ලියැවෙන හුවමාරු වන පණිවුඩ ගණනින් බැඳීමක සවිමත් බව තීරණය නොකරන්න…. බැඳීමක ඊට වැඩි ගැඹුරක් ඇත….. හදවතට දැනෙන උණුසුමක් ඇත…. ගව් ගනන් ඈතක සිටින ඔබේ ආදරය ඔබට දැනෙන්නේ එබැවිනි…

අපට ලෝකයට වසන්ව ජීවත් විය නොහැක… ඔබ රැකියාව කරන ස්ථානයේ හෝ යනෙන අතර මග හෝ ඔබ විවෘත ය…. විවිධ වූ පාර්ශව සමඟ ඔබ මුහු වන්නේ ය.

ඉතින් ඒ අතර තුරදී……

සමහරෙක් එති යති හදවතේ නොම රැඳෙති බිඳක්වත් ඇසිල්ලක්වත්…..

තවකෙක් පැමිණ සමු ගනිති හදවත මත බරම පා සටහන් තබා යති…. මකන්නට නොහැකි ගැඹූරු සලකුණු ශේෂ වන්නේය  සමරු ලෙස….

ඒ අතර තවත් උන් පැමිණ රැඳෙති හදවත බදා , හැර නොයති සදාකල්හි ම…

කාටවත් නොදැනීම තවකෙකු පැමිණ කාටත් නොදැනීම පිටව යනු ඇත.. නමුත් සොඳුරුම මතක ඔබගේ මතකයේ සක්මන් කරනු ඇත….

මෙය ඔබ මා වෙනසක් නොමැතිව විඳ තිබෙනවා විය හැක…

මේ ලොව සුන්දරම දෑ මෙන්ම අසුන්දරම දෑද බැඳීම්ය.

කඳුළු පොකුණක ගිලුන ජීවිත සතුටු මාවතට ගෙනෙන්නේද…

සතුටු මල් පිපුනු හදවත්  කාන්තාර ලෙසටම වියලවා හරින්නේද මේ බැඳීම් මය.

ඉදින් අප උත්සාහ ගත යුත්තේ සතුටු මල් පිපුනු හදවත් උයනක් වියලවන්නට නොවේය…. එවන් සතුටු හදවත් උයනකට ඉඩෝරය පැමිණීම වළකන්නටය… එසේත් නැතිනම් වියළී ඉපල් ඇරුන හදවත් උයනකට ඉහළින් ගිගුම් දී වහින වැස්සක් වන්නටය… ඉන් පසුව එහි දළු ළන තුරු ලතා වල මලක් දෙකක් හෝ පුබුදන්නටය… නිදි නොමැති නෙත් අගට නින්දේ පටලවා හෝ සුභ සිහිනයක් ගෙනෙන්නට ය. රත් පැහැය ගැනුන කම්මුලක රිදුම් මියැදෙන තුරා හාදු තවරන්නටය…..

කඳුළු රැඳි දෙනෙතකට තවත් කඳුළු දෙන්නට නොව ඒ කඳුළු පිසදා මුවෙහි සිනහ පුබුදන්නටය…..

කතා කරන්නට බලා හිඳිනා වේදනා විඳින සිතකට ඇවැසි සැනසුමය… ඔබට ඒ සිත සනසවන්නට වචන නොමැති නම්  කළ යුත්තේ ඇහුම්කන් දීමය… ඔබ නිහඬව සිටීමය…. බැඳීම් ඇත්තේ සැනසෙන්නටය… නිවෙන්නටය…. තනිකම ඔබෙන් දුරින් තබන්නටය…

හැකි පමණ සතුටින් සිටිමින් තවත් සිතකට සතුට බෝ කිරීමය….

ඉදින් ඉහත කි සියල්ලටම මම ආදරය යයි කියමි… ආදරය එහෙමය…. ආත්මාර්ථය ට වඩා පරාර්ථකාමය මුසු හැඟීමකි….

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *