ළදරුවන් අතරේ සුලභ කොලික් තත්වය

ළදරුවන් අතරේ සුලභ කොලික් තත්වය

පසුගිය දිනවල බෙහෙවින් කතා බහට ලක්වූ කොලික් තත්වය පිළිබදව මවක් ලෙස මගේ අත්දැකීම් බෙදාගැනීමක් තමයි අද කරන්නේ.

මම විදේශයක ජීවත්වන මවක්.(ඉතාලියේ මිලාන් නගරයේ)

මගෙ පුතාට දැන් අවුරුදු හතරයි.

දරු ප්‍රසූතියට කලින්

(ගර්භනී සමයේ හතරවන මස සිට) රෝහලෙන්ම ගැබිණි මවුන් සදහාම පැවැත්වෙන පෞද්ගලික සායනයකට යොමුවූ අතර එහිදී මා උගත් දෑ ඔබ හා බෙදා ගනිමි.

(Pre-delivery course – Corso pre-parto )

ඇත්තටම මෙම සායනය තුළින් අපව ශාරීරිකව මෙන්ම මානසිකවද දරු ප්‍රසූතිය හා දරු ප්‍රසූතියෙන් පසුව ඊට මුහුණ දීමට සුදානම් කලා.

මවට ලබා දෙන ශාරීරික ව්‍යායාම තුළින් දරු ප්‍රසුතියයෙහිදි ඇති විය හැකි වේදනාව අවම කළා.

එපිඩුරල්,සි-සේරියන් ක්‍රම ගැන පුලුල් දැනුමක් ලබා දුන්නා.

දරු සූතිකාගාරය ඇතුළු සියලුම තැන් කලින් පෙන්වා අපිව මේ සියල්ලෙන්ම දැනුවත් කලා.

ලංකාවේ මෙවැනි වු පෞද්ගලික වැඩමුළු සායන පවත්වනවා නම් ගර්භනී කාන්තාවන්ට අනිවාර්යයෙන් මේ සඳහා යොමු වන්න යැයි මා ඉල්ලීමක් කරනවා.

තවද මෙම රටෙහි(ඉතාලිය) සෑම ප්‍රධාන නගරයකම පාහේ රෝහල් තුළ මෙවැනි පෞද්ගලික සායන පවත්වන හෙයින් මෙහි පදිංචිව සිටින ඉතාලි බස හැසිරවිය හැකි සොයුරියන්ටද මේ ගැන තොරතුරු සොයා බලන ලෙසට මම ආරාධනා කරනවා.

එම සේවය ලබා ගැනීම තුළින් ඔබ වැය කරන මුදලට ඔබට මිල කළ නොහැකි උපදෙස් රැසක්,සේවයක් ලබාගැනීමට හැකිවේවි.

(ඉතාලි බස දැන සිටීම අනිවාර්ය වේ.)

කොලික් තත්වය යනු

අලුත උපන් බොහෝ දරුවන් විශේෂයෙන්ම හවස්, රාත්‍රී කාලයෙහි අත-පය දරදඬු කරන් මේ විදියට හැඩීමෙහි අර්ථය වන්නෙ කිරිදරුවන් අම්මගෙන් කිරි බොද්දි කිරිත් සමග බඩට ඇතුල් වුන වාතය ශරීරයෙන් බැහැර කරන්න ඔවුන්ට නොහැකි බැවින් ඒ වේදනාව පිට කිරීමක් විදියට මෙලෙස අඬන බව කියන එක ගැන දැන් අපි හැමෝම දැනුවත්.

මීට අමතරව දරුවකු මෙලොව එළිය දුටුවාට පසුව එයාට ලැබෙන පළමු ආහාරය තමා මව් කිරි.

සම්පූර්ණ ආහාරයක් වුන මව්කිරි දරුවාට දිරවීමට ඉතා පහසු ආහාරයක් වුනත් දරුවාගේ ආහාර ඡීරණ පද්ධතියට එකතු වෙන පළමු ආහාරය එය නිසා දරුවාගේ ආමාශය ඇතුළු කෑම ලබා ගන්නා අදියරේ සිට මළපහ වී පිට වන තෙක් මේ පුංචි ඉන්ද්‍රියන් නව කාර්යයන් වලට හැඩ ගැසීමක් ලෙස මේ විදියට දරුවකු ඉපදී මුල් මාස කිහිපය තුළ මෙවැනි තත්වයන් පෙන්වීම සාමාන්‍ය බව තමයි තවදුරටත් ඔවුන් පවසන්නෙ.

දරුවන් දහදෙනෙක් ගතහොත් එයින් අවම දරුවන් හතර දෙනෙක් වත් මෙම තත්ත්වයට මුහුණ දෙන බව තමයි වෛද්‍යවරුන් පවසන්නෙ.

 මෙම තත්වය අවම කර ගැනීමට මව දරුවාට කිරි පොවන විදියද බලපානවා.

මව දරුවාට කිරි දෙන විට තන පුඩුව පමණක් නොව තන පුඩුව වටා ඇති තද පැහැ ප්‍රදේශයද(Areola) දරුවාගේ මුඛයට ඇතුළු කරවිය යුතුයි.

 එමගින් මවගේ තන් පුඩුව වටා ප්‍රදේශයද හොදින් උත්තේජනය වන බැවින් දරුවාට ලොකු අපහසුවකින් තොරව මවගෙන් කිරි උරා බීමට හැකිවේ.

මෙහිදී සිදුවන වාසින් වන්නෙ :

දරුවා විසින් කිරි උරන්නට යොදන පීඩනය අවම වනවා සේම,

මවගේ කිරි නහරවලට ලබා දෙන මෙම උත්තේජනය තුලින් කිරි හොදින් එරීම තුලින් දරුවා හොදින් කිරි උරා බීමත්,

තන් පුඩුව හා ඒ අවට ප්‍රදේශය ද දරුවාගේ මුවට ඇතුල් වී තිබීම හේතුවෙන් පිටතින් නිකුත් වෙන වාතය අවම වීම නිසා දරුවාගෙ බඩ රිදීම ගතිය අඩුවීමත්,

මවගේ තන් පුඩුව පමණක් උරවීමෙන් මවට ඇතිවන වේදනාව හැකිතාක් අඩුවීමත්ය.

ඉතින් හැකිතාක් දරුවාට තන්පුඩුව හා ඒ අවට ඇති තද පැහැ ප්‍රදේශයද දරුවාගේ මුඛය තුළට ඇතුල් කරවන්න.

කිරි දෙන විට එක පියයුරකින් අවම විනාඩි විස්සක් වත් වන තුරු කිරි දෙන්න කියලා තමයි ඔවුන් කියා සිටියෙ.

හේතුව දරුවා කිරි උරන්න ගත්නා පළමු මිනිත්තු කිහිපය කිරි එරෙන නහර උත්තේජනය වීමට කාලය ගන්නා බැවින් තන් පුඩුව දරුවා කටට ගත් විගසම කිරි එරෙන් නැති වගද මව්වරුන් හොදින් මතක තබා ගත යුතුයි. ඉවසීමෙන් දරුවාට කාලය ලබා දෙන්න.

පළමු විනාඩි 20 ගත වූ පසු දරුවාගෙ මුඛයට මවගේ සුළැඟිල්ල හිමින් ඇතුල් කර

(අලුත් අම්මලා නිය ආලේපන ගැල්වීම සපුරා තහනම් වන අතර නිය මොට වෙන්න කපා දරුවාට කිරි දීමට ප්‍රථම විෂබීජ නාශකයක් යොදා අත් හොඳින් සෝදා සූදානම් විය යුතුයි)

තන් පුඩුව මුවින් හිමින් ඉවත් කරන්න. (ඉවසීමෙන්)

මෙලෙස දරුවාගේ මුවට ඇඟිල්ල දමා තන්පුඩුව දරුවාගෙන් කෙමෙන් ඉවත් කරන්නේ,

 එකවර දරුවාගේ මුව තනපුඩුවෙන් ඉවත් කිරීමේදී දරුවා කලබලවී හැඩීමට ඉඩ ඇති නිසාම පමනක් නොව,

මෙලෙස දරුවාගේ මුවට මවගේ සුළැඟිල්ල ඇතුල් කර හිමින් දරුවාගෙ මුඛයෙන් තනපුඩුව ඈත් කරන විට මවට දැනෙන වේදනාවද අවම වීමයි.

ඉන්පසු කලින් පරිදිම අනෙක් පියයුරට දරුවාව සම්බන්ධ කරන්න.

දෙවැනි පියයුරෙන් කිරි උරා බොන විට දරුවාගේ කුසගිනි බොහෝදුරට සන්සිදි ඇති බැවින් කුස පිරි බොහෝ විට දරුවාට නින්ද යා හැක.

එසේත් නැතිනම් දෙවැනි පියයුරෙන් කිරි උරා බීමට පටන් ගෙන විනාඩි 20 කට වගේ පසුව දරුවාට කලින් පරිදිම මවගේ සුළැඟිල්ල මුවට ඇතුල් කර තනපුඩුවෙන් දරුවාව අයින් කරන්න.

සෑම විටකම පියයුරු දෙකෙන්ම දරුවාට කිරි ලබා දෙන්න.

වැදගත්ම කරුණ වන්නේ ඊළඟ වතාවේදී ඔබ දරුවාට කිරි ලබා දිය යුත්තේ අවසානයට දරුවාට කිරි ලබා දුන් පියයුරෙන් වීමයි.

හේතුව, දරුවා බොහෝදුරට පලවෙනි පියයුරෙන් කිරිබොන අවස්ථාවේ දරුවාගේ කුස පිරීමට බොහෝ විට ඉඩ ඇති බැවින් දෙවෙනියට කිරි ලබා දුන් පියයුර කිරි වලින් හිස් වීමේ සම්භාවිතාව අඩු බැවිනි.

සෑම කිරිදෙන වාරයකම දරුවා අවසානයට අඩුවෙන්ම කිරි උරා බිව් පියයුරට දරුවාව සම්බන්ධ කරන්න.

මෙසේ මවගේ වම හා දකුණු පියයුරු යුවලම මනාව කිරි පිටවීම තුළින් ඇයට මානසිකවම මෙන්ම කිරි තදවීම තුලින් ඇතිවන ශාරීරික අපහසුතාවයෙන්ද මිදෙන්න පුළුවන්.

දරුවා කිරි උරා බිව් පසු නිදාගත්තද නැතද ඔහුව/ඇයව මවගේ හෝ පියාගේ කර මතට ගෙන වත්තම් කර කිරි බැස්සවීමට (ගුඩුස් යැවීමට) සලස්වන්න.

දරුවා තොටිල්ල මත තනිව හැරෙන කාලය පැමිණෙන තුරුම සෑම විටකම නිදි දරුවාව තොටිල්ල මත උඩු අතට(උඩු බෙලි අතට) තබන්න.

බැරිවීමකින් හෝ ජීර්ණය නොවූ කිරි දරුවාගෙ මුඛයෙන් පිට පැමිනිය හොත් දරුවා සිටින මෙම ඉරියව්ව ඔහුට/ඇයට පහසුවක් වේවි

මීට අමතරව SIDS නම් තත්වය වලක්වා ගැනීමට ද ( ricks of SIDS) වයස අවුරුදු 1 සම්පූර්ණ වනතෙක් නිදි දරුවන්ව තොටිල්ලෙන් තබන්නට කියන්නෙ මෙම ක්‍රමයටයි.(උඩු බෙලි අතට)

කොලික් තත්වය ඇතිවූ අවස්ථාවක දරුවාව ඔබගේ වම් අතට ගන්න.

ඔබගේ වම් අත නමා, අතෙහි ඇතුල් වැලමිටට දරුවාගේ මුහුණ හිටින විදියටත්,දරුවාගේ උදරය (බඩ) ඔබගේ වම් අත්ල මතත් දරුවාගේ කළවා හා දෙකකුල් ඔබේ අතට දෙපැත්තෙන් පහලට වැටෙන ලෙසත් දරුවාව තබාගන්න.

මේ අවස්ථාවේදී දරුවාගේ එක කම්මුලක් ඔබේ යටි වැලමිටට ස්පර්ශ විය යුතුයි.

එවිට දරුවාට අපසුවකින් තොරව හොඳින් හුස්ම ගැනීමට හැකිය.

( පින්තූර පහලින් එක් කර ඇත)

මෙය දරුවාගේ පියාට (පිරිමි අයෙකුට) කිරීමට හැකිනම් ලැබෙන ප්‍රතිඵල තවත් වැඩියි.

එයට හේතුව වන්නේ පිරිමියෙකුගේ අත්ල ගැහැනියකගෙ අත්ලට සාපේක්ෂව දැඩි රළු ස්භාවයක් ගන්නා බැවින් ඉන් දරුවාගේ බඩට ලැබෙන තෙරපුම වැඩි නිසයි.

 හැමතිස්සෙම අත තදකර වැඩි පීඩනයක් දරුවාගේ බඩට ලැබෙන විදිහට තබා ගන්න.

මොනම හේතුවකටවත් දරුවාගේ බඩ අතින් අද කරන්න එපා.

ඔබගේ දකුණු අතින් දරුවාගේ ඉන,පිට මෘදුවට අතගා දරුවාව හිමීට දෙපසට නළවන්න.

මේ මගේ පුතා නිදාගන්න කැමතිම විදිය.

මෙය කොලික් තත්වය ඇති නැති ඕනම විටක පුංචි දරුවකු නිදා ගැනීමට කැමතිම විදියයි.(අත්දැකීමෙන්)

මේ විදිහට දෙපැත්තට එයාලව නලවද්දි එයාලට දැනෙන වේදනාව අවම වෙනවා.

(හොඳින් නිරීක්ෂණය කර හොත් දරුවා සනීපයෙන් සිටින අයුරු ඔබට දැක ගැනීමට හැකි වේවි)

අපිට මෙම ක්‍රමය තරමක් නුහුරු වුනත් බහුතරයක් විදේශිකයන් බොහෝ විට මේ අයුරින් තමා දරුවන්ව නලවන්නෙ.

දරුවාව වම් අත මතට ගැනීමට පෙර ඔබගේ අත් දෙකම හොඳින් පිරිමැද රත් කරගන්න.

තවද හොදින් රත් වු (පිච්චෙන තරමට නොවේ) තුවායක් වැනි දෙයක් දරුවාගේ උදරයට යම්තාක් ස්පර්ශ වන්නට තැබීමෙන්ද යම්කිසි සහනයක් ලැබෙනවා.

විදේශ රටවල මේ සඳහා විශේෂයෙන්ම සකස් කල විසිතුරු සතුන් ඇත.

(ෆොටො පහතින් එක් කර ඇත) මේ විසිතුරු සතුන් මුළුමනින්ම හෝ යම්කිසි කොටසක් ගලවා මයික්‍රොවේව් අවන් තුල හෝ සාමාන්‍ය පෝරණුවේ මිනිත්තු ගණනක් තබා රත්කර දරුවාගේ බඩ අසලින් තබන්නට හැකිය.

උදරයට දැනෙන මද උණුසුම් තත්ත්වය පුංචි කිරි කැටයාට අපහසුතාවයන් අවමකර සුව නින්දකට ඉඩ සලසයි.

 මීට අමතරව කොලික් තත්වය අවමකර,මගහරවා ගැනීමට මව විසින් බිළිඳාට කළ හැකි ව්‍යායාම වර්ගද ඇත.

මෙය බිළිදා ඉපිද මසක් ගතවූ පසු කළ හැකි වන අතර මව ඒ සම්බන්ධයෙන් මනා දැනුමක් ලැබ තිබිය යුතු අතර දරුවා කිරි බී පැය දෙකකට පෙර කිසිම විටෙක කළ යුතු නොවන අතර දරුවා වෙනයම් අපහසුතාවයකින් හෝ අසනීපෙකින් නොසිටීම වැදගත්ය.

 අවසාන වශයෙන් දරුවා හඬන විට අලුත් මව්වරුන් වූ ඔබ කිසිසේත් කලබල නොවන්න.

බිළිඳෙකුට ඇති එකම සන්නිවේදන ක්‍රමය වන්නේ හැඩීමයි.

බඩගින්නට, තිබහට, සීතට, රස්නෙට, මවගේ උණුහුම අවශ්‍ය විට, මේ හැමදේකටම ඔවුන් ප්‍රතිචාර දක්වන්නෙ හැඬීමෙන්.ඔබ සන්සුන්ව දරුවාගේ අවශ්‍යතාව හඳුනා ගන්න.

සෑම මොහොතකම නව මව්වරුන් වන ඔබගේ මනස සැහැල්ලුවෙන් තබාගන්න උත්සහ කරන්න.

ඔබටත්, ඔබ කිරිකැටියාටත් නිරෝගිමත්, වාසනාවන්ත දිවියක් අත්වේවා!

සියලුම ඡායාරූප අන්තර්ජාලයෙන් ලබාගන්නා ලදී.

ගයානි සුධීරා ලියනගේ

Please follow and like us:

1 Comment

  1. කිරි දුන් පසුව දරුවා උඩුබැලි අතට තැබූ (supine position )පසු යම් හෙයකින් ජීර්නය නොවු කිරි පැමිණියහොත් , එම කිරි පහසුවෙන්ම පෙනහලු තුලට ගොස් milk aspiration නම් තත්වය ඇතිවිය හැකියි.
    ඒ නිසා දරුවාට කිරි දුන් පසුව මුනින් අතට තැබිය යුතුයි(prone position )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *