ආපදාවකදී රෝහලේ වෙන දේ දැනගමු

ආපදාවකදී රෝහලේ වෙන දේ දැනගමු

කණගාටුවෙන් වුනත් ආයෙමත් සැරයක් ත්‍රස්ත ප්‍රහාර ගැන කතා කරන්න වෙලා.

ත්‍රස්ත ප්‍රහාරයක් එහෙමත් නැතිනම් එවන් තුවාලකරුවන් විශාල ප්‍රමාණයක් එකවර නිර්මාණය වෙන අවස්ථාවක රෝහලක කටයුතු කෙරෙන්නෙ කොහොමද කියන එක දැනගන්න එක පවතින වාතාවරණය යටතේ අපි හැමෝටම වැදගත් වෙයි.

ලංකාවේ බොහෝ රෝහල්වල කාර්‍ය මණ්ඩලයේ හැමෝම කලින් කතාබහ කිරීමෙන් තනා ගත් ආපදා සැලැස්මක්(disaster plan) තිබෙනවා.එය රෝහලේ වර්ගය රෝහලට තිබෙන සම්පත් අනුව වෙනස් වෙන්නට පුළුවන් .

ආපදාවක් සිදු වී විට රෝහල තුළ සිදු වෙන්නේ කුමක් ද?

මෙවන් සිද්ධියක් වෙලා බව ආරංචි වුණු වහාම රෝහල් අධිකාරිය රෝහල තුල ආපදාවට මුහුණු දීමේ හදිසි අවස්ථාවක් දැනුම් දෙනවා.

මෙතනදී සියලුම කාර්‍ය මණ්ඩලය මුල් තැන දෙන්නෙ අලුතින් එන රෝගීන් වෙනුවෙන්.හදිසි නොවන සායන වැනි අංශ තාවකාලිකව නවත්වන්නට මෙහිදී සිදු වෙනවා.වාට්ටුවල සිටින රෝගීන් හැකි තරම් හිස් කරගනිමින් මේ අවස්ථාවට ඔවුන් සූදානම් වෙනවා.හදිසි සැත්කම් රැසකට ඉඩ පහසුකම් අවශ්‍ය වන නිසාවෙන් සැලසුම් කර තිබූ හදිසි නොවන සැත්කම් කල් දැමෙනවා.

මෙවන් අවස්ථාවක රෝගීන් විශාල ප්‍රමාණයක් එක වර රෝහලට රැගෙන එනවා.තනි රෝගියෙකුට ප්‍රතිකාර කිරීමට වඩා මෙවන් අවස්ථාවක වෙනසක් ඇති බව ඔබට පැහැදිලි වෙනවා ඇති.

මෙහිදී රෝහල් කාර්‍ය මන්ඩලය හැමවිටම ක්‍රියා කරන්නෙ තිබෙන සම්පත්වලින් උපරිම රෝගීන් ප්‍රමාණයකට ප්‍රතිකාර කිරීමයි.

රෝහලට රෝගීන් රැගෙන ඒම වෙත අපි හැරෙමු .

මෙවන් අවස්ථාවක රෝහලේ පිවිසුම් මාර්ග සීමා කෙරෙනවා.ඒ වාගේම රෝගීන් හැර වෙනත් පුද්ගලයන් ඇතුලට පැමිනීම වලක්වාලනවා.එසේ කරන්නේ ඉක්මනින් රෝගීන් රෝහල වෙත ළඟා වීම පහසු කිරීමටත් රෝගී ප්‍රතිකාර ප්‍රමාද වීම වලක්වාලීමටත් වුනත් බොහෝ දෙනා මේ බව තේරුම් ගන්නේ නැහැ.සිද්ධිය නැරඹීමට හෝ රෝගීන් සමඟ රෝහල ඇතුලට පැමිණෙන්නට උත්සාහ කරමින් රෝහල් ආරක්ෂක අංශ සමඟ ගැටෙන පිරිස් තමයි ප්‍රායෝගිකව අපට බහුලව දකින්නට ලැබෙන්නේ.

රෝහල අවට ජනතාව හා වාහන ගැවසීම නිසා ඇතිවන තදබදය රෝගීන් රෝහල කරා රැගෙන ඒම ප්‍රමාද කරනවා වගේම  රෝගීන්ගේ හිතවතුන්ගේ හොඳ හිතින් කෙරෙනා මැදිහත්වීම් නිසාවෙනුත් රෝගී ප්‍රතිකාරවලට බලපෑම් සිදු වෙනවා.තප්පර කිහිපයක ප්‍රමාදය වුනත් මෙවන් අවස්ථාවක  රෝගියෙකුගේ මරණයට හේතුවන්නට ප්‍රමාණවත් .

රෝගී ප්‍රතිකාර ඇරඹෙන්නේ කොහොමද ?

රෝහලට රැගෙන එන රෝගීන් සියල්ලම මුලින්ම ඔවුන්ගේ රොගී තත්වයේ බරපතළ කම මත වර්ගීකරණය හෙවත් triage කිරීම කෙරෙනවා.මෙය සිදු කරන්නේ පළපුරුදු වෛද්‍යවරුන් විසින්.

අනතුරකට පත් වූ අයෙක් මරණයට පත්වීමට හේතු වන කරුණු වන්නේ අවදානම ඉහළම තැන සිට බලනවානම්

1.Airway ශ්වසන මාර්ගය අවහිර වීම.

2.Breathing හුස්ම ගැනීමට අපහසු වීම

(පෙනහලු /උරස් කුහරයට හානි වීම)

3.Circulation රුධිර සංසරණය අඩාල වීම(අධික රුධිර වහනය)

මේ කරුණු හා තවත් කරුණු සලකා බලමින් රෝගීන් සියලු දෙනාම වර්ගීකරණය කරනවා.

ඒ අනුව

1.රතු වර්ණය- ඉතාමත් කඩිනමින් ප්‍රතිකාර ලබා දිය යුතු

2.කහ වර්ණය -ඉක්මනින් ප්‍රතිකාර අවශ්‍ය

3.කොළ-ප්‍රතිකාර ලබා දිය යුතු

4.කළු- මිය ගිය

ලෙස රෝගීන් වර්ග කෙරෙනවා.

රෝගියාගේ ප්‍රමුඛතා අනුපිලිවෙල හඳුනාගත හැකි ටැග් එකක්, වලල්ලක් හෝ වෙනයම් වර්ණවත් හඳුනාගැනීමේ සලකුණක් එවේලේම රෝගියාගේ සිරුරේ පළඳනු ලබනවා.

අධික රුධිර වහනය ඇති රෝගියාට ප්‍රමුඛතාව දෙන බැවින් මෙවන් අවස්ථාවක වේදනාකාරී නමුත් ජීවිතයට හානියක් නොවන තුවාලයක් ඇති රෝගියෙකුට ප්‍රතිකාර කිරීමේදී ප්‍රායෝගිකව  යම් ප්‍රමාදයක් වෙන බව ඔබට පැහැදිලි ඇතැයි සිතෙනවා.

රෝගීන් හඳුනාගන්නේ කොහොමද ?

සාමාන්‍ය රෝගියෙක් රෝහල්ගත වීමේදී අපි රෝගියාගේ සම්පූර්ණ නම,වයස ලිපිනය,භාරකරුගේ විස්තර ආදී තොරතුරු සටහන් කරගනු ලබනවා.නමුත් මෙවන් ආපදා අවස්ථාකදී කාලය හා ප්‍රායෝගික ගැටලු නිසා එවන් රෝගී ලියාපදිංචියක් සිදු වන්නේ නැහැ.

ඒ වෙනුවට රෝගියා හඳුනාගැනෙන්නේ  ලියාපදිංචි අංකයක් මගින්.මෙම අංකය රෝගී ප්‍රමුඛතා වර්ණ සංකේතය(triage colour coding) ආකාරයටම රෝගියාගේ සිරුරට සවි කිරීමක් කෙරෙන අතර එම අංකය යටතේ රෝගියාට ආපදා ප්‍රතිකාර ගොනුවක්(disaster file) විවෘත කෙරෙනවා.

සාමාන්‍යයෙන් රෝගියෙකුට සැත්කමක් වැනි ප්‍රතිකාරයක් කිරීමේදී රෝගියාගේ කැමැත්ත විමසා බැලීම අනිවාර්යයෙන්ම සිදු වෙනවා.නමුත් මෙවන් අවස්ථාවකදී රෝගියාගේ දිවිගලවා ගැනීම සඳහා අත්‍යාවශ්‍ය සැත්කමකට සිහිසුන්ව සිටින රෝගියෙකුගෙන් අවසර ලබා ගැනීම කළ නොහැකි බව ඔබට වැටහෙනවා ඇති.මෙවන් අවස්ථාවක රෝගියාගේ ජීවිතයට ඇති අවදානම ගැන සලකා තීරණ ගැනීමට වෛද්‍යවරුන්ට සිදු වෙනවා.

සාමාන්‍යයෙන් ආපදා අවස්ථාවක රෝහලක් ක්‍රියාත්මක වන්නේ ඔය ආකාරයටයි.

සාමාන්‍ය වැසියන් හැටියට ආපදා අවස්ථාවක රෝහලේ සේවය වඩාත් කාර්‍යක්ශම කරන්නට ඔබට ලබා දෙන්නට පුලුවන් සහාය මොනවගේද?

ප්‍රථමාධාර හා තුවාලකරුවන් ආරක්ෂිතව රෝහල කරා ප්‍රවාහනය පිළිබඳව නිසි අවබෝධයක් හා පුහුණුවක් ලබා ගන්න.අඩක් දැන උපකාර කිරීමට යෑමෙන් රෝගියාට වන්නේ යහපතක් නොව බරපතල අවැඩක් වීමට ඉඩ වැඩියි.

රෝහලට රෝගීන් රැගෙන ආපසු රෝහල් කාර්‍ය මණ්ඩලයට ඔවුන්ගේ කාර්‍යභාරය ඉටුකිරීමට ඉඩ දී රෝහල් පරිශ්‍රයෙන් ඉවත් වන්න.

ආපදා තත්වය නැරඹීමට පැමිණ රෝහල අසළ විශේෂ තදබදයක් ඇති කිරීමෙන් වළකින්න. විශේෂයෙන්ම මෙවන් අවස්ථාවක එවන් අනවශ්‍ය ජන එක්‍ රැස්වීම් ත්‍රස්තවාදීන්ට තවත් අවස්ථා උදා කර දෙන්නට පුලුවන් .

ආපදා කළමනාකරණයේ මූලික හදිසි අවධිය අවසාන වූ පසු රෝහලට ඔබගෙන් යම් උපකාරයක් අවශ්‍ය දැයි රෝහල් පරිපාලනයෙන් විමසා දැන ගන්න.බොහෝ විට  රෝගීන් විශාල පිරිසක් සඳහා ඇඳුම් ,ආහාර පාන, සනීපාරක්ෂක උපකරණ සපයා ගැනීමට ඔබගේ සහාය රෝහලට අවශ්‍ය වනවා.ඇතැම් විට රෝගීන් වෙනත් රෝහල් කරා ප්‍රවාහනයට ඔබේ පුද්ගලික වාහනවල අවශ්‍යතාව මතු විය හැකියි.

රෝහල් කාර්‍ය මණ්ඩලයත් පුරවැසි ඔබත් සහයෝගයෙන් කටයුතු කිරීම ආපදා අවස්ථාවක සිදු විය හැකි ජීවිත හානි අවම කරගැනීමට ඉවහල් වන ප්‍රධානම සාධකයක්.

සඳුනි පෙරේරා

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *