බුර්කාව ඕනෙමද?

බුර්කාව ඕනෙමද?


පසුගිය දා අගනුවර සිදුවූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ පොදු සමාජයේ ආරක්ෂාව පිළිබඳ කතිකාවේ ප්‍රධාන අවදානයට බුර්කාව ලක්ව තිබේ. බුර්කාව යනු කාන්තා හිස පළදනාවක් වන අතර, කාන්තා ඇඳුමක් ත්‍රස්තවාදයක් හා සම්බන්ධ කෙරෙන්නේ කෙසේදැයි මෙම සටහන ඔස්සේ විමසීම අරමුණු කරගතිමි.

ලෝකයේ සංස්කෘතික විවිධතාවන් අතර ඇඳුම් පැළඳුම් විවිධතාවන් කැපී පෙනෙන සුළුය. ඒ අතර කාන්තාවන් හිස ආවරණය කර ගැනීම බොහෝ පැරණි සමාජයන් අධ්‍යනයෙන් හා නූතන සමාජයේ ශේෂ වී ඇති එවැනි සංස්කෘතික කාරණා ඔස්සේ හඳුනාගත හැක. ඉස්ලාම් භක්තික කාන්තාව පමණක් නොව ක්‍රිස්තුභක්තික කාන්තාවන් ආගමික හා අවමංගල කටයුතු වලදීත්, හින්දු කාන්තාවන් ආගමික හා සමාජීය කටයුතු වලදීත් හිස ආවරණය කරනු අදද දැකිය හැක.

හිස් ආවරණය කිරීම සංස්කෘතික කාරණාවක් බවට පත් කිරීම ඔටෝමන් අධිරාජ සමයේ සිදු වූ කල බව සැලකේ. පසුව එය බැබිලෝනියානු, අසරියානු හා මැදපෙරදිග සංස්කෘතියෙහි අංගයක් ලෙසට විකාශනය විය. History of patriarchy කෘතිය මගින් Gerda Lerner පෙන්වා දෙන පරිදි පැරණි බැබිලෝනියානු සමාජය මනුෂ්‍යයාගේ හිස හා උරහිස් ගෞරවයේ සංකේත ලෙස සලකන ලදී. මෙනිසා ප්‍රභූන්ට හිස් හා උරහිස් පලඳනා දැරිය හැකි විය. නමුත් සමාජයේ පහත් සමාජ කොටස් සේ සැලකුණු වහලුන්, නාටිකාංගනාවන් හා ගණිකාවන් හිස් ආවරණය නොකල යුතුවිය. මේ සම්ප්‍රදාය මත එම කලාපයේ කාන්තාවගේ හිස ආවරණය කිරීම වැදගත් කරුණක් සේ සමාජය සැලකීමට හේතු වූ බවට Lerner තර්ක කරයි. තවදුරටත් ඇය පෙන්වා දෙන්නේ පීතෘ මූලික සමාජ ක්‍රමය තුල කාන්තාව පුරුෂයාගේ වත්කමක් ලෙස සැලකූ බැවින් ඇයගේ ශරීරය පිටස්තරයන් ඇස නොගැටෙන සේ ආවරණය කිරීමේ අදහස ද මුල්බැස තිබූ බවයි.

එමෙන්ම පැරණි යුදෙව් සමාජයෙහි වෛවාහිකත්ව ප්‍රකාශ කිරීමේ සංකේතයක් ලෙසද කාන්තාවන් හිස ආවරණය කිරීම පැවතුනි. පැරණි ඉරාන  සමාජ භාවිතාවන්ද මීට අසමාන නොවුණි. පැරණි ක්‍රිස්තියානියෙහි ද ආදම් ඒවා කතාවෙන් කියවෙන පරිදි කාන්තාව මනුෂ්‍ය වර්ගයා වෙත සිදු කල පව හේතුවෙන්ම පව් කමා කිරීම පිණිස ප්‍රශ්න කිරීමකින් තොරව සුචරිතවාදීව විසිය යුතු වේ. ශරීරය ආවරණය වනසේ ඇඳීම යනු එවැනි එක් සුචරිතවාදී ක්‍රියා පිළිවෙලකි. මේ සියලු අදහස් මත බටහිර හා පෙරදිග කලාපය තුල කාන්තාව ශරීරය පිටස්තරයන් වෙත නොපෙන්විය යුතුය යන මතවාදයක් බිහි කිරීමට හේතු වූ බව පෙනේ. සම්ප්‍රදායික ක්‍රිස්තියානිය ප්‍රොතෙස්තන්තකරණයෙන් බිඳ වැටූණ බැවින් වඩා ස්වාධීන ලෝකයක් වෙත බටහිර සමාජයේ කාන්තාව ගමන්ගත්තද මැදපෙරදිග කලාපයේ ඉස්ලාම් ආගම තවදුරටත් බලවත් වීම හේතුවෙන් ආගමික ඉගැන්වීම් වලින් පිටස්තර හැසිරීමකට යාමට ඉස්ලාම් කාන්තාවට නොහැකි විය.

කුරානයේ(24:31) පෙන්වා දී ඇති පරිදි කාන්තාව තම පෞද්ගලිකාංග ආවරණය කල යුත්තේය. තම රූපත් බව හා සරසිලි ප්‍රදර්ශනය කල හැක්කේ පියා, සැමියා, සැමියාගේ පියා, දරුවන්, සැමියාගේ දරුවන්, සහෝදරයන්, සහෝදරයන් ගේ දරුවන්, සහෝදරියන් ගේ දරුවන් සහ ශරීරික අවශ්‍යතා වලින් තොර සේවකයන් හමුවේ පමණි. එමෙන්ම කුරාණය (33:59) අතවරයන්ට ලක් නොවීම පිණිස නිවසෙන් පිට ගමන් යද්දී ශරීරය ආවරණය වන සේ ඇඟලුම් කිරීම යහපත් බව දක්වයි.

සුචරිතවාදී වීම පිණිස කාන්තාවන් සිය ශරීරය ආවරණය වන සේ ඇඳුම් පැළඳුම් කල යුතු බව ඉස්ලාම් දහම පෙන්වා දුන්නද කුරාණයේ හෝ වෙනත් ආගමික ලියවීමක බුර්කාව සඳහන් නොවේ. කාන්තාවන් බුර්කා පැළඳීම කරලියට එන්නේ වහබ්වාදය සමඟිනි. මොහොමද් බින් අබ් අල් වහබ් විසින් 18 වන ශතවර්ශයේ දී අරබියානු අර්ධද්වීපය තුල හදුන්වාදෙන ලදී. සුන්නි ඉස්ලාමය හා සම්බන්ධ වහබ්වාදය දැඩි ආගමික සුචරිතවාදයක් අරමුණු කරගන්නා ලදී. මෙහි ආරම්භය සිදුවන්නේද බ්‍රිතාන්‍ය අධිරාජයට විරුද්ධ අරගලයක් ලෙසිනි. එනම් මුල සිටම වහබ්වාදය බටහිර ක්‍රිස්තියානි සමාජය හා ගැටෙයි. වර්තමානයේ සවුදි අරාබිය හා කටාර් රාජ්‍ය තුල දැඩිව ක්‍රියාත්මක වන වහබ්වාදය මෑතකාලීනව බිහිවූ ඉස්ලාමික අන්තවාදී කල්ලීන් පෝෂණය කරනු ලබන දහම වන බවටද චෝදනා ලැබේ.

වර්තමාන මුස්ලිම් කාන්තාවගේ ඇඳුම ද වහබ්වාදය හා අන්තවාදී ආගමික ඉගැන්වීම් මත ප්‍රතිනිර්මාණ වී ඇති බවට විවේචන රාශියකි. පෙරදිග ලෝකයේ මුස්ලිම් සමාජය දෙස බැලුවද අතීතයේ ඇඳි වෛවර්ණ සාරිය, සල්වාර් කමීසය, මොට්ටැක්කිලිය, ෆර්දාව වෙනුවට අරාබියෙහි ක්‍රියාත්මක අබායා (එනම් සැරසිලිවලින් තොර දිගු කලු පැහැ ගවුම) සහ කළු පැහැ හිස් ආවරණ, කළු පැහැ අත් මේස් හා පා මේස් ඇඳීමත් පැළඳීමත් සුලභ වී ඇත. මූලික හිස්පළඳනා වර්ග 4කි. එනම් හිජාබ් (නළල සමඟ මුහුණ නිරාවරණය වී හිස හා නිකට වැසුණු), චදෝර් (හිස, නළල හා නිකට ආවරණය වී මුහුණ නිරාවරණය වූ), නිකාබ් (ඇස් හැර මුහුණ, හිස ආවරණය වූ) සහ බුර්කා (සම්පූර්ණ මුහුණම ආවරණය වූ) ය. මෙයින් විවේචනයට තුඩු දෙන්නේ නිකාබ් හා බුර්කාවයි. මේ හා අඳින අබායාව මගින් සම්පූර්ණ ශරීරයම ආවරණය වන අතර නිකාබ් හෝ බුර්කා මගින් මුහුණද ආවරණය වූ විට පුද්ගල අනන්‍යතාවය සැඟවීමට හැකි වීම ඊට හේතුවයි.

කුප්‍රකට 9/11 ප්‍රහාරයෙන් පසු අල්කයිදා හා isis ත්‍රස්ත කණ්ඩායම් නැගී ඒමෙන් පසු සාමකාමී ජන සමාජයන්ට එල්ල කල තර්ජනය මත බොහෝ බටහිර රටවල් පුද්ගල අනන්‍යතාවය නිරාවරණය නොවන නිකාබ් හා බුර්කා තහනම් කරන ලදී. ඒ අතර ඔස්ට්‍රියා, ප්‍රංශ, නෙදර්ලන්ත හා බෙල්ජියම් වේ. වහබ්වාදය ක්‍රියාත්මක වන සවුදි අරාබියාවේද ඇතැම් විශ්වවිද්‍යාල නිකාබය හා බුර්කාව තහනම් කර ඇත. ඒ විභාග කටයුතු වලදී ශිෂ්‍ය අනන්‍යතාව තහවුරු නොවීම හේතුවෙනි. බුර්කාවට හෝ නිකාබයට මුවා වී බොහෝ ත්‍රස්තවාදීන් සිදු කරන ක්‍රියා සම්බන්ධවද ලෝකයේ බොහෝ දෙසින් තොරතුරු ලැබේ.

අනෙක් අතට නිකාබ් සහ බුර්කා ඇඳීමෙන් සෞඛ්‍යමය ගැටලුවක මුහුණ දීමටද සිදු වනු ඇති බවට ඇබඩීන් විශ්ශවිද්යාලයේ Peter McCafery හා බර්මින්හැම් විශ්වවිද්‍යාලයේ Zaki Hassan කළ අධ්‍යයනයකට අනුව විස්තර කරයි. ඒ අඩුවෙන් හිරු රැස් සඳහා නිරාවරණය වීම නිසා විටමින් ඩී ඌනතාවය ඇති වීමේ අවධානම පවතින බැවිනි. විටමින් ඩී ඌනතාව සමේ ඇති වන පිළිකා දක්වා භයානක ප්‍රතිඵල ඇති කල හැක. මෙම රෝගය බහුලව වැළදෙන කලාප අතර සවුදි අරාබියාව ඇතුලත් වීමෙන් මේ පර්යේෂණයේ සත්‍යතාව තහවුරු කරයි.

පසුගිය දා අගනුවර පිපිරුණු බෝම්බ මාලාවත් සමඟ ලාංකික මුස්ලිම් සමාජයෙහි දශකයකට අඩු කාලයකදී වේගයෙන් ව්‍යාප්ත වූ බුර්කාව හා නිකාබය ප්‍රශ්න කෙරෙමින් පවතී. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ මේ පිළිබඳ විවිධ මත පල කෙරෙන අතර ප්රසිද්ධ ස්ථාන වල එමඟින් හැසිරීම වලක්වනු පිණිස පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්ද ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් වී ඇත.  පැරණි ලාංකික සමාජයේ මුස්ලිම්වරු හෙවත් යෝනක ජනයා ලාංකික සංස්කෘතියට අනුගතව එහෙත් තම අනන්‍යතා ආරක්ෂා කරගනිමින් විසූ ඉතා සාමකාමීව වෙළඳ ප්‍රජාවක් බව සඳහන් කිරීම වටී. දශකයකට පෙර ලාංකික සමාජයට හුරුව සිටියේ ඉතා සංවර ලෙස ශරීරය මනාව ආවරණය කරගෙන සාරිය හෝ සල්වාර් කමීසය ඇඳ මොට්ටැක්කිලිය, ෆර්දාව ඇඳගත් මුස්ලිම් කාන්තාව බැවින් හිස සිට දෙපතුලම දක්වා තද කලු පැහැති ඇඳුමකින් වැසුණු පුද්ගල අනන්‍යතාවයෙන් තොර රූපකායන් ගැන විචිකිච්ඡාව ඇතිවීම ස්වභාවිකය. අනෙක් අතට පිරිසිදු ඉස්ලාම් ධර්මයෙහි කාන්තාව ඇඳිය යුතුම යැයි ඇඳුමක අදහසක් දක්වාද නැත. පසුගිය කාලයේ නැගී සිටි  විවිධ ඉස්ලාමික අන්තවාදී කණ්ඩායම් ජාතීන් අතර වෛරයට තුඩු දෙන ප්‍රකාශ නිකුත් කර තිබීමත් සිදු වූ ප්‍රහාරය සමඟ ලාංකික මුස්ලිම් නාමයන් අනාවරණය වීමත් මුස්ලිම් කාන්තා ඇඳුමෙන් සැරසුණු පුද්ගලයන් අත්අඩංගුවට පත්වීමත් යන කාරණා නිසා බුර්කාවට නැවතීමේ තිත තැබීමට සුදුසු වනු ඇත.

සජිනි උයන්ගොඩ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *