විරුවෙකුට බිරිඳක්ව

විරුවෙකුට බිරිඳක්ව

කොතැනින් පටන් අරගෙනකොතැනින් ඉවර කරන්නදැයි මට නොහැඟේ. මම විරුවෙකුගේ බිරිඳක් වූයේ හමුදා ජීවිතය ගැන අල්පමාත්‍රයක් හෝ නොදැනය. එහෙත් අද මම හමුදා  බිරිඳක් වීම පිළිබඳව ඉතා ආඩම්බර වෙමි.මගේ සැමියාගේ හමුදා ජීවිතය පටන් ගත්තේ එක් 1984 වර්ෂයේදීය. යුද්ධය පැවති සමයේ. 1994 වර්ෂයේ අප විවාහයට ඔන්න මෙන්න කියා තිබියදී ඔහු නිවාඩු ලබා ගෙදර ආ දිනයේම පුනරින් කදවුරට ප්‍රහාර එල්ල වන බව දැන  එදිනම ආපසු පුනරින් බලා ගියේ කිසිදු ජේෂ්ඨට නිලධාරියෙකුගේ අණ දීමකින් තොරවය. ඔහු තම රටට පණ මෙන් ආදරය කළේය. හමුදාව සහ රට ඔහුගේ ප්‍රථම ආදරය විය. දිනක කිහිපයක් යනතෙක් කිසිදු තොරතුරක් නැතිව ව තිබූ දින එමටය. ඒ අතරතුර දන්නා හඳුනන බොහෝ දෙනාගේ මළසිරුරු සෑම ප්‍රදේශයකටම ගෙන එන අයුරු මම  උපේක්ෂාවෙන් බලා සිටියෙමි

වසර 35කට වැඩි හමුදා සේවය තුළ අපට පවුලක් සේ එකට සිටීමට හැකි වූ දින ගණන ඉතා අල්පය. දියණියන් දෙදෙනකුගේ මවක් ලෙස සහ විරුවෙකුගේ බිරියක් ලෙස මා මගේ යුතුකම් කළා යැයි සිතමි. කිසිදිනක අපගේ පවුලේ බර ඔහුට දැනෙන්නට නොදුන් අතර සෑම විටම ඔහුට ශක්තියක් වී ඔහුව දිරිමත් කළේ රට වෙනුවෙන් ඔහුගේ වගකීම් කාර්යක්ශම ඉටු කිරීමට ඉඩ සාදා දීමට ය.

ඔහු මිය යාමට බිය නොවීය.  ඔහුගේ ඒ තේජවන්තකම සැමවිටම මා බියපත් කළ නමුදු මා ඒ බව ඔහුට වත් දියණියන් දෙදෙනාට වත් දැනෙන්නට ඉඩ නොහැරියෙමි. එහෙත් මා රහසින් හැඬවූ වාර අප අපමණය. සෑම විටම ඔහු නිවසින් බැහැරව යද්දී ඔහුගේ දෙපා නැමදීමට පුරුදු වූයෙමි මගේ කුඩා දියණිය ඔහු ආපසු යන බව හැගුණ විට ඔහුව තදින් වැළඳ ගෙන නින්දට යන්නේ එවිට ඔහුට යෑමට නොහැකි වනු ඇතැයි සිතාය. එහෙත් ඔවුන් වයසින් මුහුකුරා යද්දී තම පියා මෙන්ම නිර්භීත දරුවන් විය.

හමුදා බිරිඳක් ලෙස මටද රාජකාරියක් පැවරී තිබිණි. ඒ හමුදා සාමාජිකයන්ගේ සහ එම පවුල්වල සුබසාධනය වෙනුවෙන් කටයුතු කිරීමටය. වැඩියෙන් ම උපකාර කිරීම්ට පෙළඹුණේ සැමියන් අහිමි වූ බිරින්දෑවරුන්ට හා ඔවුන්ගේ දරුවන්ට ආබාධිත වූවන් සහ ඔවුන්ගේ පවුල්වල අයටත් ය. ප්‍රථමයෙන් කළ යුතු වූයේ ඔවුන්ගේ සුවදුක් විමසා ඔවුන් තනි වී නො නොමැති බවත් ඕනෑම අවස්ථාවකදී අප ඔවුන් වෙනුවෙන් සිටින බවත් ඔවුන්ට දැනෙන්නට සැලැස්වීමය.

ඔවුන් සමග නිතර කථා කරමින් සහ ඔවුන්ට අවශ්‍ය සෑම අවස්ථාවකදීම ඒ සඳහා ප්‍රමුඛත්වය ලබා දෙමින් එය ඉටුකළේ මා ඉතා ආශාවෙන් ය. මා සෑම විටම සිතුවේ මෙවන් තත්ත්වයක මා සිටියා නම් මා බලා බලාපොරොත්තු වන්නේ කුමක්ද කියායි. උදව් අවශ්‍ය අයට උදව් කිරීමෙන් මා ලද ආශ්වාදය මෙතෙකැයි කියා නිම කළ නොහැක. 2009 වසරේ යුද්ධය නිමාවීමෙන් පසුව සුමාන කීපයක් යනතුරු බොහෝ දෙනා මිය ගිය අයගේ පවුල් සහ ආබාධිතයන් වෙනුවෙන් උපකාර ලබා දීමට මැලි නොවීය. දෙයක් කිවූ පමණින් උපකාර කළෝය. දින සති මාස අවුරුදු වලට පෙරලෙන විට බොහෝ දෙනෙක්ට මේ අයව අමතක විය. කරදරයක්, වදයක් සහ එවන් අය සිටින බව පවා අමතක විය. එහෙත් අප හමුදාවේ බිරින්දෑවරුන් එසේ අමතක කළේ නැත. අප අතින් කිසි යොදා එසේ නොවනු ඇත.

පසු ගියදා සිදුවූ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය ගණන 400 කට කිට්ටු වී ඇත.  වෙන කවරදාකටත් වඩා මෙම ප්‍රහාරය මගේ සිත සහ කය දෙකම කම්පනයට පත් කර ඇත.  මේ වන විට පවුල් කොපමණ අසරණ වී ඇත්දැයි සහ ඔවුන්ට අස්වැසිල්ලක් වන්නේ කෙසේදැයි මා සිතට පළමුව ආ සිතුවිල්ලයි.  පසුගිය තිස් අවුරුදු යුධ සමයේ හමුදාවේ රාජකාරි කළ සැමියා පිළිබඳ සිතුවිල්ලත් සිතෙහි දරාගෙන රට වෙනුවෙන් සහ මගේම ආදරණීය දියණියන් දෙදෙන වෙනුවෙන්ද, මා වටා සිටි සියලු නෑදයින් සහ මිතුරු මිතුරියන් වෙනුවෙන්ද මම මගෙන් විය යුතු යුතුකම් ඉටු කලෙමි. අසුභ ආරංචියක් කොයි මොහොතේ ඒ දැයි දින ගැන්නෙමි. සමහර හිතවතුන්ගේ වියෝවන් වලින් කම්පණයට පත් වූයෙමි.

නමුත් මා ජීවන ගමන් යා යුතුය. මා වටා සිටින්නන් වෙනුවෙන් මගේ සැමියා රට වෙනුවෙන් සිය යුතුකම ඉටු කොට පැමිණෙන තෙක් මා කුටුම්භය රැක ගත යුතුය.

මේ පැමිණ ඇත්තේද එවැනි අවධියකි. සිතාගත නොහැකි ලෙස එක්වරම එකට සිටියවුන් දෙව මව් තුරුලට ගොස්‍ ඇත. කප්පරකට තිබූ බලාපොරොත්තු සහ සැලසුම් එක මොහොතින් විනාශ වීය.

මේ ඔවුන්ට ඔබව අවශ්‍ය කාලයයි. ඔබගේ ආදරය ඔවුන්ට අවශ්‍ය කාලයයි. ඔවුන්ට ශක්තිය අවශ්‍ය කාලයයි. මුලු රටම තැති ගත් මොහොතක ඔබ කම්පනයයෙන් මිදිය යුතුය. ඔබ වෙනුවෙන්, ඔබගේ පවුල වෙනුවෙන්, ඔබගේ නෑදෑයින්, යහලුවන් සහ සමස්ථ ජාතිය වෙනුවෙන්ම ඔබ ශක්තිමත් විය යුතුය.  ඉන්පසුව ඔබ අන් අයට ශක්තියක් විය යුතුය. ‍කාන්තාවක් ලෙස ඔබගේ කාර්‍යභාරය එයයි.

විරුවෙකුගේ බි‍රිඳක් වූ මම අද මාගේ සැමියා නිසා සහ ඔහු වෙනුවෙන් මා ඉටු කළ කාර්‍යභාරය පිළිබඳව ඉතා ආඩම්බර වෙමි. 2019 වසරේ  අප්‍රේල් මස 25 වන දින ඔහු ඉතාමත් අභිමානයෙන් සිය සේවයෙන් විශ්‍රාම යනු ලැබුවේ රට වෙනුවෙන් ඉතා විශිෂ්ඨ සේවයක් කළ, කිසිදා සිය ජ්‍යේෂ්ඨ නිලධාරියෙකුගේ හෝ දේශපාලකයෙකුගේ පසුපස නොගිය හෝ මාධ්‍ය මගින් තමන් පුම්බා නොගත් පදක්කම් පසුපස හඹා නොගිය ඉතා අවංක නිලධාරියෙකු ලෙසය.

මම මේජර් ජෙනරාල් රුක්මල් ඩයස් ගේ ආදරණීය බිරිඳ තනූජා ඩයස්.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *