අපිට ෆැෂන් කරන්න බැරිද ?

අපිට ෆැෂන් කරන්න බැරිද ?

ෆැෂන් කියන්නේ හැමෝගෙම ජීවිත වලට අවශ්‍යම දෙයක් විදිහටයි මම දකින්නේ.

ඒ අවශ්‍යතාවය කෙනෙක්ගේ තෝරාගැනීමේ රටාව අනුව, තමන් කරන රැකියාව අනුව සහ එදිනෙදා මුණ ගැසෙන මිනිසුන්, යන එන ස්ථාන එහෙමත් නැත්නම් කරන වැඩ කටයුතු අනුව වෙනස් වෙන්න පුළුවන්.

ලංකාව ගැන කතා කලොත් මේ වෙනකොට බොහෝ දෙනා ෆැෂන් ගැන උනන්දුවක් දක්වන බවක් පේනවා. තමන්ට ගැළපෙන ඇඳුම් විලාසිතා හොයන්න සහ ඒවා අන්තර්ජාලය හරහා මිලදී ගන්නත් මේ වෙනකොට බොහෝ දෙනා පෙළඹිලා තියෙනවා.

ෆැෂන් ගැන කතා කරනකොට රාමුවකට සීමා වෙන්න බැහැ. ෆැෂන් කියන කොට මුලින්ම අපිට මතක් වෙන්නේ ඇඳුම්. නමුත් ෆැෂන් කියන්නේ ඇඳුම් ම විතරක් නෙමෙයි. අපි පළදින්න ආභරණ, සපත්තු සෙරප්පු, ගැහැණු කෙනෙක් නම් නිතරම අපි රැගෙන ගැන අත්  බෑගය, අපේ කොණ්ඩ විලාසිතාව ඒ වගේම මේක් අප් කරන කෙනෙක් නම් ඒ සඳහා අපි භාවිතා කරන නිෂ්පාදන වල ස්වභාවය සහ ඒවායේ පැහැය වගේ මේ හැම දෙයක්ම ෆැෂන් එකක් වෙන්න පුළුවන්.

අපි කතා කළොත් ඇයි අපි ෆැෂන් කරන්නේ? කියන කාරණය ගැන ඇත්තටම කෙනෙක්ට හිතෙන්න පුළුවන්  අපිට ෆැෂන් නොකර ඉන්න බැරිද? කියලා. ඇත්තට ඇයි අපි ෆැෂන් කරන්නේ?

අපි හැමෝම ආසයි ලස්සනට පිළිවෙලට අඳින්න පළදින්න.විශේෂයෙන්  කාන්තා පාර්ශවය. ඕනම කෙනෙක් ලස්සන ඇඳුමක් ඇඳලා තමන්ගේ ප්‍රතිරූපය දිහා කණ්ණාඩියෙන් බලන් ඉන්නකොට හිතට දැනෙන හැඟීම හොඳ එකක් නම් ඇත්තටම මුළු දවසම සුන්දරයි කියලා හිතිලා නැද්ද.? හිතන්නකෝ මෙහෙම, ඔයා ලස්සන ඇඳුමක් ඇඳලා උදේම  ඔෆිස් යනවා.ඔයාගේ ඔෆිස් එකේ කෙනෙක් ඔයාට ගුඩ් මෝනිං කියන්නත් කලිං ” ෂා ඔයා අද හරි හැඩයි නේ, ලස්සන ඇඳුමක්” කියලා කියද්දී ඔයාට මොකද්ද දැනෙන හැඟීම? කැමති නැද්ද හැමදාම ඒ වගේ හැඟීමක් හිතේ තියාගෙන දවසම ලස්සන කරගන්න? අපිට කරන කියන වැඩක් උනත් හොඳ ගැම්මකින් කරන්න පුළුවන්.

එතකොට අර මං කලින් කිව්ව ප්‍රශ්නේ ඇයි අපි ෆැෂන් කරන්නේ?කියන දේට උත්තර දෙකක් ලැබුණා..

ප්‍රධානම දේ තමයි අපි ෆැෂන් කරන්න ඕන අපිව සතුටු කරන්න.සරලව කිව්වොත් ආත්ම තෘප්තියක් ලබන්න.

ෆැෂන් විතරක් නෙමේ. අපි මොන දේ කලත් තමන්ට තමන් කරන දෙයින් තෘප්තියක් ලැබෙන්න ඕන. නැත්නම් මොන දේ කලත් එපා වෙනවා

ඊලඟ කාරණේ තමයි අපිව තව කෙනෙක් දකින්නේ කොහොමද කියන දේ.

සරලව කිව්වොත් අපි අඳින පළඳින දේවල් වලට පුළුවන්කම තියෙනවා අපි ගැන, අපේ ප්‍රතිරූපය ගැන සහ තමන් මොන වගේ කෙනෙක්ද කියන දේවල් ගැන තව කෙනෙක්ට යම් තරමකට අදහසක් දෙන්න.

කෙනෙක්ට හිතෙන්න පුළුවන් මෙහෙම.” මිනිස්සුන්ව ඇඳුමෙන් මනින්න බැහැනේ.” කියලා.

ඒක ඇත්ත නමුත් මේ වෙනකොට බොහෝ දෙනා ඇඳුම් පැළඳුම් කියන කාරණේ ගැන ගොඩාක් හිතන්න පෙළඹිලා ඉන්නවා.ඒ වගේම කෙනෙක්ට පුළුවන් තමන් අඳින පළදින විදිහෙන් තමන්ගේ පෙනුම ගොඩක් වෙනස් කරගන්න. විශේෂයෙන්ම කොණ්ඩ විලාසිතාවෙන්. කෙනෙක්ගේ මුහුණ ලස්සන වෙන්නම අවශ්‍යය නැහැ ලස්සනට අඳින්න පළදින්න.

අවශ්‍ය වෙන්නේ පිළිවෙලට සහ තමන්ට ගැළපෙන විලාසිතා තෝරා ගැනීමයි.

ගොඩක් අය කියන කතාවක් තමයි ලස්සන ඇඳුම් අඳින්න නම් ලස්සන අඟක් , හැඩ ඇඟක් තියෙන්න ඕනේ කියලා. ඔව් ඒක ඇත්ත.නමුත් ෆිගර් එක පොඩ්ඩක් අවුට් ගියා කියලා  , ටිකක් මහත් උනා කියලා ලස්සනට අඳින්න පළදින්න බැරි කමක් නැහැ.

සුදු ලස්සන ගෑනු ළමයි විතරක් නෙමෙයි ෆැෂන් කරන්න ඕන.ලෝකේ මොනතරම් ඉන්නවද සමේ  පාට අඩු එහෙමත් නැත්නම් තලෙළු හෝ දුඹුරු සමක් තියෙන කාන්තාවන්.? ඒ හැමෝම කෙනෙක්ට තව කෙනෙක් දෙවෙනි නොවෙන්න ඒ අයට ගැළපෙන්න විලාසිතා කරනවා.

ගොඩක් කාන්තාවන් හිතෙන් ප්‍රශ්ණ හදාගෙන ඉන්නවා මම කළුයි, මම කැතයි, අපි මහතයිනෙ… අපිට කොහොම ඇන්දත් කැතයි කියලා.  ඕනෑම දෙයක් කරන්න කලින් ඍණාත්මක අදහසක් හිතට දාගත්තොත්, ඒ දේ කරන්න අමාරුයි. හැම වෙලේම හිතෙන්නේ මේක මට ගැලපෙයිද.? මිනිස්සු මොනා හිතයිද.? වගේ ප්‍රශ්ණ.

මං පොඩි ප්‍රශ්නයක් අහන්නම්.

ඔයාට බැරි නම් ඔයාගෙ මොනාහරි ලස්සනක් දකින්න,ඔයා හිතනවද ඔයාගෙ අවට ඉන්න අය ඔයාගේ ලස්සනක් දකීවි කියලා?

කවදාවත් නැහැ.අන්න ඒක නිසා පිටින් ලස්සන වෙන්න කලින් ඔයා හිතන විදිහත් පොඩ්ඩක් වෙනස් වෙන්න ඕන.හැමදාම එකම කොණ්ඩේ,හැමදාම එකම ඇඳුම් විලාසිතා ටික,හැමදාම එකම අත් බෑගය, ඔයා රැකියාවට යන්නේ, එදිනෙදා වැඩ කටයුතු කරන්නේ තව කීප දෙනෙක්ගේම සුවපහසුව තකා වෙන්න පුළුවන්.ඒත් ඔයා ගැනත් ටිකක් හිතන්න පුරුදු වෙන්න.ලස්සනට, පිළිවෙලට, පිරිසිදුවට ඉන්න. දකින අයටත් ප්‍රියමනාපයි. ඔයාට ඔයාව දැක්කම උනත් වෙනදා වගේ නෙමෙයි හිතට සැහැල්ලුවක් ප්‍රියක් ඇතිවෙයි.අන්න ඒ හැඟීම හැමදාම විඳින්න.

මූලිකම දේ අපි දක්ෂ වෙන්න ඕනේ අපිට වැඩිපුරම ගැළපෙන විලාසිතාව මොකද්ද කියලා තෝරාගන්න. ඊළඟට එන ප්‍රශ්නේ තමයි කොහොමද අපි අපිට ගැළපෙන විලාසිතාවක් තෝරගන්නේ කියන එක. මෙතනදී ප්‍රායෝගික ප්‍රශ්නයක් එනවා.. ඒ තමයි බොහෝ දෙනා හිතනවා තව කෙනෙක් කරන විලාසිතාවක් බලා ඉඳලා ඒ විලාසිතාවම තමන්ටත් ගැලපෙනවා කියන දේ. ඊට පස්සේ ඒකෙනා කරන විලාසිතාවම ඔයත් කරනවා.එහෙම ගැළපෙන අයත් නැතුවම නෙමෙයි නමුත් එහෙම තවකෙනෙක් අඳින විලාසිතාවක් තමන්ට ගැලපෙනවා කියල හිතල ඒකම කලොත් ඔයයි එයයි අතර වෙනසක් නැති වෙනවා. ඊට පස්සේ ඒ විලාසිතාව සුලබ වෙනවා.අපි කියනවා කොමන් ඩිසයින්ස් කියලා. ඉතිං සල්ලි දීලා ඔයයි එයයි දෙන්නම එකම විලාසිතාව කරලා වැඩක් තියෙනවද.?

අන්න ඒ නිසා හැම වෙලේම උත්සාහ කරන්න ඕන අනිත් අයගෙන් වෙනස් වෙච්ච තමන්ට ආවේණික විලාසිතාවක් තොරාගන්නයි. අපේ රටේ උනත් ගොඩක් විලාසිතා එළියට එන්නේ නැත්තේ ඔය වගේ හේතු නිසා.මොකද ගොඩාක් අය  ෆැෂන් රැල්ලට අහු වෙලා ඉන්නේ.තමන් පුරුදු වෙලා ඉන්න රාමුවෙන් එළියට යන්න කැමතිම නැහැ.කාලෙන් කාලෙට ඔයා අඳින ඇඳුම් විලාසිතාව, ගෙනියන අත් බෑගය, කොණ්ඩ විලාසිතාව වගේ දේවල් වෙනස් කරන්න. ජීවිතේ ඒකාකාරී උනහමත් එකේ කිසි රහක් නැහැ.

අපි කොහොමද අපිට ගැළපෙන ඇඳුමක් තෝරාගන්නේ…?

ඇඳුම් වලට පුළුවන්කම තියෙනවා කෙනෙක්ව මහත් හෝ කෙට්ටු කරලා පෙන්වන්න. ඒ වගේම කෙනෙක්ගේ පෞර්ෂත්වය, උස මිටි බව සහ කෙනෙක්ට පරිණත පෙනුමක් වගේම ලාබාල පෙනුමක් ලබාදෙන්නත් අපි අඳින ඇඳුම් විලාසිතා වලට පුළුවන්කම තියෙනවා. පොදුවේ ගත්තම ගොඩාක් දෙනා දන්න කාරණයක් තමයි සිරස් රේඛා මෝස්‌තර සහිත ඇඳුම් (Clothes with vertical lines) ශරීරය සිහින් කර පෙන්වීමට උපකාර වෙනවා වගේම තිරස් රේඛා සහිත ඇඳුම් (Clothes with horizontal stripes)ශරීරය මහත් / පළල් කර පෙන්වන්න උපකාර වෙනවා  කියන දේ.

ඒ වගේම දීප්තිමත්, නෙත් ඇදගන්නා සුළු මෝස්‌තර සමඟ තනි පාට මිශ්‍ර වූ ඇඳුම් විලාසිතා අපි සුලබව දකිනවා. එවැනි ඇඳුම් විලාසිතා වලින් උනත් සිරුරේ හැඩයන් සහ සිරුරේ යම් යම් ස්ථාන ඉස්මතුකර පෙන්වීමටත් අඩු කර පෙන්වීමටත් හැකියාව තිබෙනවා.. කෙනෙක්ගේ ඉන දෙපස මහත නම් ඉන දෙපසට තනිපාට යෙදූ ඇඳුම් වලට එය අඩු කර පෙන්වන්න පුළුවන්…

ලබන සතියේ අපි කතා කරමු ශරීර හැඩ සහ ඒ අනුව  ගැලපෙන ඇඳුම් තෝරාගන්නෙ කියන එක.

දිලිනි ඇලපාත

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *