අලුත් අවුරුද්දේ සුවිශේෂී වූ ඇයගේ භූමිකාව අලුත් අවුරුද්දේ සුවිශේෂී වූ ඇයගේ භූමිකාව

අලුත් අවුරුද්දේ සුවිශේෂී වූ ඇයගේ භූමිකාව අලුත් අවුරුද්දේ සුවිශේෂී වූ ඇයගේ භූමිකාව


හෙළ සිරිතට විරිතට මුල් තැන දෙමින් සමරනු ලබන බක් මහ මංගල්‍යය යනු ලක්වාසී අප සැමට සුවිශේෂී වූ සංස්කෘතික උත්සවයකි. එහි පවත්නා සුවිශේෂීත්වය පිළිබඳව නිරතුරුව අපගේ දෙනුවන් ගැටෙන ලේඛනයන්ගෙන් තරමක් ඔබ්බට ගොස් එනම් ඒ තුළ කාන්තාවටම අනන්‍ය වූ ඒ සුවිශේෂී භූමිකාව පිළිබඳව අද දිනයේ ලියාරා තුළින් ඔබව දැනුවත් කිරීමට අදහස් කළෙමි.

සාම්ප්‍රදායික සමාජයේ කාන්තාව වූ කලී  නිවස තුළටම සීමා වෙමින් දියණියක්, බිරිඳක්, මවක් යනාදී තත්ත්ව එකිනෙක පවරා ගනිමින් එයටම අදාළ වූ භූමිකා රංගනයන්ට සීමා වූ තැනැත්තියකි. නමුත් නවීකරණයේ දොරගුලු විවර වීමත් සමග වර්තමානයේ කාන්තාවගේ තත්ත්වය මීට හාත්පසින්ම වෙනස් වී ඇත. නූතනයේ බොහෝ කාන්තාවන් යම් වෘත්තියක නිරත වීම හෝ තවදුරටත් උසස් අධ්‍යාපන කටයුතුවල නිරතවීම හේතුවෙන් ඇයගේ භූමිකා කුලකයට නව කාර්යය කොටස් එක් වී ඇත. එකී නව කාර්ය කොටස් සම්මිශ්‍රණයත් සමග ඇය නිවසට සීමා වී සිටි සාම්ප්‍රදායික රාමුවෙන් මිදී කාර්යබහුල ජීවන රටාවක් වෙත ප්‍රවේශ වෙමින් සිටියි. කෙතරම් කාර්යබහුල වුවද  ඇයගෙන් පවුලට, සමාජයට ඉටුවන සුවිසල් මෙහෙවර මෙතෙකැයි කියා සීමා කළ නොහැක. ජීව විද්‍යාත්මක කරුණු අරබයා එනම් මානව වර්ගයා බෝ කරලීමේ කාර්යය සදහා නිමැවුණු සොබාදහමේ මේ අපූර්ව නිර්මිතය වන ඇය එකී කාර්යයන්ගෙන් ඔබ්බට ගොස් සමාජ ප්‍රගමනය උදෙසා කරනු ලබන සුවිසල් මෙහෙවර ප්‍රශංසනීය වේ. පුරුෂාධිපත්‍යය කේන්ද්‍රීය ජන සමාජයකින් හෙබි ලංකාව තුළ වුවද පුරුෂයා හා උරෙනුර ගැටෙමින් ඔහුට නොදෙවෙනි වූ කාර්ය කොටස් රැසක් ඇය තුළින් ඉටුවන බව නොරහසකි. ගෙදරක් නිවසක් බවට පරිවර්තනය වනුයේ ඇය නිසාවෙනි. ආදරය නොඅඩුව තම පවුලේ සාමාජිකයින් වෙත බෙදාදෙන ඇය අන් කවරෙකුත් නොව අම්මා ය. අම්මා නම් වූ ඒ සුවිශේෂී චරිතය නොවන්නට නිවසකට සැබෑ ආලෝකය ගෙන එන්නේ කවරහුද ? දියණියක්, බිරිඳක්, මවක් ලෙස ක්‍රමිකව තත්ත්ව සමුදායක හිමිකාරිණිය වූ ඇය නිවස තුළ ආදරය, සෙනෙහස වපුරමින් පවුලේ සාමාජිකයින්ගේ සියලු කටයුතු පිළිබඳව නිරතුරුව සොයා බලයි. ඥානාන්විතව පවුලේ සියලු කටයුතු ඇය විසින් කළමනාකරණය කරන අපූර්වත්වය තුළ බිඳ වැටෙනුයේ කාන්තාවගේ නුවණ හැඳි මිටේ තරමට යැයි පුරුෂාධිපත්‍ය මතධාරීන් ගොඩනැගි ඒ කියමන නොවේද ?

නිවසක අසිරිය ගොඩනංවන්නේ ඇයයි. ඇයගේ මෙම සුවිශේෂීත්වය තවදුරටත් විදහා දැක්වෙනුයේ අවුරුදු සමය තුළදී ය. අලුත් අවුරුද්දේ සියලු චාරිත්‍ර ඇය වටා කේන්ද්‍රගතව පැවතීම මෙහිලා ප්‍රධාන හේතුවයි.  එනම් මෙම සංස්කෘතිය සම්ප්‍රේෂණ කාර්යයේදී ඇයගේ දායකත්වය සුලුපටු නොවේ. සංස්කෘතිය යනු මිනිසාගේ සමාජීය උරුමයකි. සංස්කෘතිය පිළිබඳව වැඩි වශයෙන් සාකච්ඡාවට බඳුන්වන මෙම කාල සීමාව තුළ සිදුවන සෑම කටයුත්තක් පිටුපසම ප්‍රබල භූමිකාවක් ඇය තුළින් ඉටු වන බව නොරහසකි.

අලුත් අවුරුද්ද එළඹීමට පූර්වයේ සිටම නිවස හා ඒ අවට පරිසරය පවිත්‍ර කරලීම, අවුරුදු කෑම මේසය හැඩ ගැන්වෙන කැවිලි පෙවිලි සැකසීම යනාදී සියලු කටයුතු සිදු කෙරෙනුයේ ඇයගේ මූලිකත්වයෙනි. එමෙන්ම අලුත් අවුරුදු දින එළඹෙන නව සුබ මුහුර්තියෙන් නිවසේ සෞභාග්‍යය පතා කිරි ඉතිරවීම, ආහාර පිසීම යනාදී සියලු චාරිත්‍ර සිදුවනුයේ ඇය‍ගේ වාසනාවන්ත දෑතිනි.  කුඩා දරුවන්ට නම් අලුත් අවුරුද්ද යනු අලුත් ඇඳුම් හැඳ පැළඳ කෙළි සෙල්ලමෙහි නිරත වන කාල පරිච්ඡේදයකි. නමුත් අලුත් අවුරුද්දේ සැබෑ අරුත ඔවුනට කියාදෙනුයේ මව හෝ මිත්තණියයි. සංස්කෘතික අගයයන් වටහා ගෙන කටයුතු කරන කාල සීමාවක් වන මෙම අවුරුදු සමයේ චාරිත්‍ර වාරිත්‍ර රැකගෙන ඒවා මතු පරපුර වෙත සම්ප්‍රේෂණයෙහිලා කේන්ද්‍රීය කාර්යභාරය සිදුකරනුයේ කාන්තාවයි. කුඩා දරුවන් තම මව අනුකරණය කරමින් මෙම චාරිත්‍ර ඉටු කරනා ආකාරය හොඳින් ග්‍රහණය කර ගනී. අවුරුද්දේ නොනගත කාලය එළඹෙත්ම සියලු වැඩ අත්හැර ආගමික කටයුතුවලට මුල් තැන දී කටයුතු කිරීම සාමාන්‍ය ස්වභාවයයි. නමුත් කුඩා දරුවන්ට ඇතැම් විට මෙම කාල සීමාව තුළදී පවා ආහාර අනුභව කිරීමේ අවශ්‍යතාවය මතුවිය හැකිය. එවැනි විටෙක මව දරුවන්ට ඇවැසි ආහාර ලබා දෙනුයේ නිවසින් පිටතදී ය. වෙනදා නිවස තුළට වී ආහාර ගන්නා නමුත් එදින මෙම කාල පරාසයේ නිවසින් පරිබාහිර ස්ථානයක ආහාර ලබාදීමට හේතුව මව දරුවන්ට පැහැදිලි කර දෙයි. ආහාර අනුභවයේ සුබ මුහුර්තිය එළඹෙන තෙක් නිවස තුළදී ආහාර අනුභව කරලීම නුසුදුසු බවත් එසේ ආහාර ගැනීමේ අවශ්‍යතාවයක් මතුවුවහොත් එය සිදු කරනුයේ නිවසින් බාහිර ස්ථානයක බවත් දරුවන් මින් ඉගෙන ගන්නා ප්‍රධානතම කරුණයි. බොහෝ විට නිවසේ රසකැවිලි සැකසීමේදී මූලිකත්වය ගනු ලබන්නේ මව හෝ මිත්තණියයි. කුඩා දරුවන් ඒ අසලට වී බලා සිටිමින් මෙම ක්‍රියාවලීන් මැනවින් ග්‍රහණය කර ගනියි. එමෙන්ම තරුණ දියණියන් ද මෙම ක්‍රියාවලින්හිදී මව හා ඒකාත්මික වෙමින් තම හසුරු කුසලතාවයන් වර්ධනය කර ගනියි. එමෙන්ම ආහාර අනුභවයෙන් පසු දරුවන් අසල්වැසි නිවෙස් වෙත කෑම පිගන් රැගෙන යනුයේ ද මවගේ අනුදැනුම මතයි. අසල්වාසීන් සමග යම් අමනාපකමක් ඇතොත් ඒවා අමතක කර යළි සහයෝගයෙන් කටයුතු කළ යුතු බව දරුවන්ට කියා දෙනුයේ ඇයයි. ඒ අනුව ගත් කළ ඇය සාමයේ පණිවුඩය දරුවන්ට රැගෙන යන සාම දූතිකාවකි. වැඩිහිටියන්ට බුලත් දී වඳින ආකාරය පියවරෙන් පියවර දරුවනට කියාදෙනුයේ ඇයයි. එනම් සංස්කෘතිය රැකගැනීම මෙන්ම පවරා දීමේදී ඇය නිහඩවම සිදු කරනුයේ සුවිසල් කාර්යභාරයකි. එමෙන්ම ගෘහාශ්‍රිතව හා එළිමහනේ සිදු කරනු ලබන පංච කෙළිය, රබන් ගැසීම, මේවර කෙළිය, ඔළිඳ කෙළිය වැනි අවුරුදු ක්‍රීඩාවන්වලදී ද ඇයගේ දායකත්වය ප්‍රමුඛ වේ. ක්‍රීඩාව යනු සාමූහිකත්වය වර්ධනය කරන්නකි. අසල්වැසියන් හා පවුලේ සියලු සාමාජිකයින් ඒකරාශී කර ගනිමින් මෙවැනි ක්‍රීඩාවන්හි නිරතවීම හරහා ඇය දරුවන්ට සාමූහිකත්වයේ පණිවුඩය රැගෙන යයි.

නවීකරණයේ ආගමනයත් සමගම බොහෝ යහපත් දෑ අපට අහිමිව ගොස් ඇත. නවීකරණය ඇතැම් විට ආශිර්වාදයක් මෙන්ම විටෙක ශාපයක් වූ අවස්ථා ද ඇත. මෙම නූතන සමාජ ක්‍රමය තුළ සාම්ප්‍රදායික සිරිත් විරිත් ක්‍රමිකව අපගෙන් ගිලිහෙමින් පවතී. ඒ අනුව ඉහත කී භූමිකාවන් නොහොත් කාර්ය කොටස් වර්තමානයේ සෑම කාන්තාවක් තුළින්ම පරිපූර්ණව එපරිද්දෙන්ම ඉටුවන්නේ ද යන්න සැක සහිතය. වර්තමානයේ ඇයට හිමි තත්ත්ව සමූහය තුළ ප්‍රසාරණය වූ කාර්ය කොටස් රංගනයේදී මුහුණ දී ඇති සංඝටනය හේතුවෙන් ඇය යම් කාර්යබහුල තත්ත්වයකට පත්ව ඇත. ඒ අනුව අද ඇතැම් නිවෙස්වල කැවුම්, කොකිස් පිළියෙළ කරන්නේ නැත. බොහෝ දෙනෙක් එවැනි රසකැවිලි වෙළෙඳපොළෙන් ගෙනැවිත් අවුරුදු රසවිඳීමට උත්සුක වේ. නමුත් සතුටට කරුණ නම් වර්තමානයේ ඇතැම් යුවතියන් තම කාර්ය බහුලත්වය පසෙකලා ධෛර්යසම්පන්නව එකදු රස කැවිල්ලක් හෝ නිවසේ සැකසීමට උත්සාහ දැරීමයි. ඒ කෙසේ වෙතත් නැකතට කිරි බත් පිසීම නම් ලංකාවේ සෑම නිවසකම පාහේ එකම මොහොතක සිදු කරනා බව නම් නිසැකය. එහිදී කුඩා දරුවන් මව අසලට වී අවුරුදු නැකැත් වේලාවන් මතක් කර දෙමින් මව විසින් චාරිත්‍ර ඉටු කරනා ආකාරය නිරීක්ෂණය කරයි. ඒ තුළ ද දරුවන් මව අනුකරණය කරමින් කාර්ය කොටස් පවරා ගැනීමට උත්සුක වේ.

අලුත් අවුරුද්ද යනු හෙළ සංස්කෘතියේ ප්‍රතිමූර්තියයි. ඒ අනුව මානව හර පද්ධතීන් ඉස්මතු වන මෙම අලුත් අවුරුදු සමයේ දරුවන්ට එම හර පද්ධතීන් සම්ප්‍රේෂණය කරනු ලබන නිවසේ ප්‍රධාන චරිතය ආදරණීය අම්මා ය. මෙහිලා පියාගේ දායකත්වයද සුලුපටු නොවේ. ඔවුන් දෙදෙනාගේම සහයෝගය තුළින් මෙය සාර්ථකව සිදුවේ. කෙසේ නමුත් මව යනු ඉවසීම, සංයමය, සාමුහිකත්වය නොහොත් එක්ව වැඩ කිරීම යනාදී සියලු යහපත් පුරුදු දරුවන් වෙත සෘජුවම සම්ප්‍රේෂණය කරන තැනැත්තියයි. අවුරුදු චාරිත්‍ර හුදෙක් පුරුද්දක් වශයෙන් කරනවා වෙනුවට එහි සැබෑ අරුත දරුවන්ට වටහා දෙමින් දරුවන් තුළ යහපත් සිතුම් පැතුම් ගොඩනංවනුයේ ඇයයි. එනම් අවුරුද්දේ සැබෑ හිමිකාරිය ඇයයි. එසේ නම් නවීකරණය වූ මෙම සමාජ ක්‍රමය තුළ අවුරුද්දේ සැබෑ අරුත මතු පරපුරට රැගෙන යාමේ කාර්යය ඇරඹිය යුතු වන්නේ ආදරණීය ඔබ තුළිනි. පරිසරයට හිතැති, සාමූහිකත්වයට මුල් තැන දෙන, සංයමයෙන් යුතු ගුණ ගරුක පුරවැසියන්ගෙන් හෙබි සමාජයක් බිහිකරලීමේ භාරදූර කර්තව්‍යයයේ නියමුවරිය ඔබයි. එසේ නම් එකී උදාර කාර්යයෙහිලා සබුද්ධිකව තීරණ ගැනීමට ඇවැසි ශක්තිය කාන්තා ඔබ තුළ නිසැක වශයෙන්ම පැවතිය යුතුම ය.

භෞතිකව නොව අධ්‍යාත්මික වෙනසකට මුල පුරන අවුරුද්දකට ඇවැසි ශක්තිමත් පදනම ආදරණීය ඔබ තුළින් ලැබෙතැයි අපේක්ෂා කරමි.       

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා !!

එච්.එච්.ඩබ්ලිව්. විනෝදනී  (සමාජවිද්‍යා විශේෂවේදී -පළමු පෙළ ගෞරව සාමාර්ථ)                                                                                                                              රුහුණ විශ්වවිද්‍යාලය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *