ආදරය කරන්න ඔබටම

ආදරය කරන්න ඔබටම

ඕනම ප්‍රශ්නෙකදි ඕනම කෙනෙක් දැඩි වේදනාවකට පත්වෙන අවස්ථා ඕන තරම් අපේ ජීවිත වල තියෙනවා.සමහර වෙලාවට ඒ ප්‍රශ්න අපේ හිත්වලින් අයින් වෙන්නෙම නැතුව කාලයක්ම අපි එක්ක ජීවත් වෙන්නම උත්සාහ කරනවා.ඒකට අපි කියන්නෙ අපි ජීවත් වෙන්නෙ බිඳුණු හදවතක් එක්ක කියල.බිඳුණු හදවතක් සුවපත් වෙන්න ගොඩ කාලයක් යනවා.ඇත්තටම අපි හිතුවොත් අපේ ප්‍රශ්න වලට උත්තර තියෙන්නෙත් අපි ළඟමයි.මම ඉතාමත්ම සරලව මේ ලිපියෙ සඳහන් කරන්න කැමති ආදරයෙන් බිඳිල ගිය හදවතක් සුවපත් කරන ක්‍රම කීපයක් ගැන.බොහෝ දෙනාට බොහෝ ක්‍රම ඇති.ඒත් මම කැමති සරලව මගේ විදිහෙ ක්‍රම කීපයක් ගැන සඳහන් කරන්න.

1) ප්‍රශ්නය තව තවත් උග්‍ර නොකරන පොත්පත් කියවීම.

ගොඩක් අය පොත් කියවන්න කැමතියි.මොකක් හරි ප්‍රශ්නයක් වුණාම.ඒක අමතක කරන්න සුන්දර පිටකවර තියෙන සුන්දර මාතෘකා තියෙන පොත් ටිකක් ළඟ තියාගන්න.එක සැරේම කියෙව්වෙ නැතත් ඒ පිටකවර දිහා මොහොතක් බලා ඉන්න.ටික ටික කියවන්න ගන්න.පොත රස විඳින්න පටන් ගත්තාම තමන් පීඩාවට පත්කරන ප්‍රශ්නය බොහෝ අයට අමතක වෙන්න පුළුවන්

2) චිත්‍රපට නැරඹීම

ලංකාවේ චිත්‍රපට කර්මාන්තයේ බොහෝ සුන්දර චිත්‍රපට නිෂ්පාදන මේ කාලවකවානුවෙ දකින්න පුළුවන්.ඒ වගේමයි.අපට සමීපතම රට වන ඉන්දියාවෙ නිපදවන චිත්‍රපටත් අපට දකින්න පුළුවන්.ඉන්දියාවෙ කේරළ ප්‍රාන්තයේ නිෂ්පාදනය කරන මලයාලම් චිත්‍රපට බොහෝම සුන්දර තේමාවන් සහිතව බිහි වෙනවා.කේරළ ප්‍රාන්තය ලංකාවට ගොඩක් සමාන නිසා ඒ චිත්‍රපටවල සොඳුරු බව තවත් විඳින්න පුළුවන්.යතාර්ථවාදී ලෙස එදිනෙදා ජීවිතයේ වන සරල සොඳුරු සිදුවීම් මලයාලම් චිත්‍රපට වලට පාදක වන නිසා ඒවා නරඹනකොට අපට ප්‍රශ්න අමතක වෙන්නෙ ඉබේටමයි.තම තමන් කැමති අයුරට හිත සන්සුන් කරන විනෝදයෙන් පුරවන ඕනම භාෂාවකින් බිහිවන චිත්‍රපට අපේ ප්‍රශ්න අමතක ගොඩක් උපකාරි වෙනව කියල කියන්න පුළුවන්

3) නිර්මාණ කාර්යයන් වල නිරතවීම

ප්‍රශ්නයක් වුණාම ඒකට තවත් හොඳම විසඳුමක් තමයි තම තමන් කැමති විදිහට නිර්මාණ කාර්යයන්ගෙ නිරතවීම

සමහරු පොත්පත් ලියන්න පටන් ගන්නවා, කවි ලියන්න පටන් ගන්නව.අත්කම් නිර්මාණවල යෙදෙනව.මැහුම් වැඩ වල නිරත වෙනවා.අද කාලේ තාක්ෂණෙ ගොඩක් දියුණු නිසා ඒ නිර්මාණ වලට අගයක් එක් කරන්න ඉගෙන ගන්න පුළුවන් ඕන තරම් ක්‍රම අන්තර්ජාලයේ තියෙනවා.ඉතින් ප්‍රශ්නයක් වුණාම ඒ ප්‍රශ්නෙ ගැනම හිතන්නෙ නැතුව නිර්මාණ කාර්‍යවල යෙදෙන්න කියල කියන්න මම කැමති.ලෝකයේ ගොඩක් සුන්දර, ආන්දෝලනාත්මක නිර්මාණ වල අඩිතාලම වේදනාව කියල මම අහල තියෙනව.

4) තමන් කැමතිම ස්ථානවල ඇවිදින්න යාම

මේකට කියන්නෙ solo trip කියලා. Queen කියන හින්දි සිනමා පටය මේකට හොඳම උදාහරණයක්.තමන්ගෙ ආරක්ෂාවට තමන්ට ඉතා සමීප කෙනෙක් එක්ක ඇවිදින්න යන්න.පුළුවන් තැන් වලට තනියම යන්න.ලංකාවෙ සුන්දර ස්ථාන ගොඩක් තියෙනව.මිල මුදල් අතින් ගැටළුවක් නැතිනම් පිටරට වුණත් සතියක දෙකක සවාරියක් ගිහින් එන්න පුළුවන්.වෙනස්ම සංස්කෘතීන් අත්දකිනකොට තමන්ගෙ ගැටළු අමතක වෙනව සියයට අසූවක් අනූවක් වගේ.ලෝකය කොච්චර ලොකු ද කියන එක ඉස්සරහ අපේ ගැටළුව පේන්න ගන්නෙ හරිම පුංචියට.සමහරවිට අපිට කවදාවත්ම හිතුණෙ නැති විසඳුම් අපේ ප්‍රශ්නෙට ලැබෙන්න පුළුවන්.සුන්දර මුහුදු වෙරළ, කඳුවැටි, ගංගා, මේවා දකිනකොට අපි ගැන වෙනස්ම හැඟීමක් අපිට ඇතිවෙන්න පුළුවන්.

5) කැමතිම කෑම නිතරම රසවිඳින්න

කෑම කියන එක අපේ ජීවිතේට අවශ්‍යයි.ප්‍රශ්න වලට මුහුණ දෙන්නත් අන්තිමට කෑම ඕන.ප්‍රශ්නයක් වුණාම නොකා නොබී ඉන්නව කියන්නෙ ඒක තමන්ටම කරගන්න ලොකු හානියක්.ජීවිත කාලෙම විඳවන්න පුළුවන් ලෙඩ රෝගවලට මුලක්.හැමතිස්සෙම ප්‍රශ්නෙකට මූණපාල ඉන්නකොට තමන් කැමතිම කෑම කන්න වගබලා ගන්න.එහෙම නැතිවුණොත් කන්න අකමැති කෑම කන්න යන්න එපා.එතකොට කෑම සහ ප්‍රශ්නය දෙකම එකවගේ වෙලා ඒක අපේ මනස පීඩාවට පත්කරනව.ජීවිතේ තවත් නිරසයි කියල දැනෙනවා.ඒ නිසා තමන් ආසම කෑම තමන්ම හදාගෙන කන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.නැත්තම් ගුණාත්මක ප්‍රමිතියෙන් හොඳ තැනකින් මිලට අරන් හරි කන්න පුළුවන්.

6) විලාසිතා අනුගමනය කරන්න

ගොඩක්ම ප්‍රශ්න වුණාම අපිට අපි අඳින පළඳින දේ ගැන පවා අපි සැලකිලිමත් වෙන්නෙ නැහැ.ඒත් වෙන්වීමකින් පස්සෙ අපි හිතුවට වඩා අපේ ජීවිත ගොඩක් වෙනස් වෙන්න ගන්නවා.ඒ මතක මොනතරම් වේදනාකාරි වුණත් අපේ ජීවිත අලුත් තැන් හොයාගෙන යන්නෙ අපිටත් නොදැනිමයි.තමන්ව අලුත් විදිහට දකින්න පුළුවන් මෙතෙක් නොකරපු ගැළපෙන විලාසිතා තෝරගත්තොත්.තමන්ගෙ අතීතය අමතක කරන්න, අලුත් විදිහට දකින්න විලාසිතා ගොඩක් උදව් වෙනවා.තමන්ගෙ මූණට, සමට ගැළපෙන විදිහට මේකප් කරනකොටත් තමන්ගෙ පෞරුෂය ගැන අභිමානයක් ඇතිවෙන්න පටන් ගන්නවා

ඉතින් මම මේ සරලවම ක්‍රම ටිකක් තමා මේ ලිපියෙ ලිව්වෙ.මේ ටික අනුගමනය කළොත් තමන් තමන්ටම ආදරය කරන්නට පටන් ගනීවි ගොඩක්ම.මෙතෙක් කල් නොසිටිය ආදරණීය පුද්ගලයෙක් බවට පත්වෙන්නට ඔයාලට පුළුවන් වේවි.ඇත්තටම මේ ක්‍රම ඉතාම සරල වුණාට තමන්ට තමන්ම ආදරය කරන එක තරම් ගැඹුරු හැඟීමක් මේ සොබාදහමෙන් අපට දීල තියෙනව කියල අපිට සතුටු වෙන්න පුළුවන් ගොඩක්ම.

ප්‍රියාශා රන්වල

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *