උණ වලිප්පුව

උණ වලිප්පුව

Febrile  Convulsions

කුඩා දරුවන් අතර දුලබ නොවන දෙමාපියන් අසාමාන්‍ය  ලෙස බිය වන රෝගයක් පිළිබඳ අපි අද දැනුවත් වෙමු. උණ වලිප්පුව නමින් හැදින්වෙන මෙම රෝගය පිළිබඳ සරල කතිකාවකට අපි දැන් පිවිසෙමු.

උණ වලිප්පුව යනු කුමක් ද? දරුවෙකුට උණ වලිප්පුව වැළදුණු  විට නිවසේදි කළ හැකි දේ කුමක්ද ? එය දරුවාගේ වර්ධනයට කෙසේ බලපානු ඇතිද?

උණ වලිප්පුවේදි වලිප්පු තත්ත්වය(අසාමාන්‍ය ගැස්ම) දැකිය හැක්කේ උණ ඇති විටයි. එසේම මේම  රෝගයේ දී දරුවාගේ මොළයේ හෝ ස්නායු පද්ධතිය සම්බන්ධයෙන් කිසිදු අසාමාන්‍ය තත්ත්වයක් දැකිය නො හැක.

මාස 6 සිට අවුරුදු 5 වයස් සීමාවේ පසු වන දරුවන් අතර මෙම රෝගය සුලබය. මව හෝ පියා හට කුඩා කල මෙම රෝගය වැළදී ඇත්නම් දරුවන්ට වැළදීමෙ අවදානම 10% ක් පමණ වේ.

මෙම වයස් කාණ්ඩයේ දරුවන්ට උණ ඇතිවීම බොහෝ විට වෛරස් මගින් සිදු වුවද අනෙකුත් අදාළ සාධක ද සලකා බැලීම ඔබේ වෛද්‍යවරයා විසින් සිදු කරයි. දරුවාට උණ ඇති බව සැක හැර නිර්ණය කීරිමට උණ කටුවක් භාවිතා කරන්න.(හිසට අත තබා උණ බැලීම සාර්ථක නැත) දරුවාගේ උෂ්ණත්ව අගය සහ උණ ඇති වු වේලාව පිළිබඳ වෛද්‍යවරයා දැනුවත් කිරීම ඔබේ වගකීමකි.

මෙහි දී උණත් සමඟ පහත ලක්ෂණ පෙන්නුම් කරයි .

*අතක් ,පාදයක් හෝ අත් පා යුගල වල අසාමාන්‍ය චලන

*ඇසෙ කළු ඉංගිරියාව නො පෙනී යාම

*මුඛයෙන් ඛේටය පිට වීම

*හුස්ම ගැනීමේ අපහසුතා

*පියවි සිහිය නැති වීම

මෙම ලක්ෂණ පවතින කාල පරාසය මිනිත්තු 5කට වඩා අවම ය.

මෙවන් අවස්ථාවක දී දෙමාපියන් වශයෙන් ඔබ පත් වන අපහසුතාව වටහා ගැනීම අපට අපහසු නොවේ.නමුදු මවක/පියෙකුගේ භූමිකාව තුළ ඔබ සන්සුන්ව ඊළඟට කළ යුතු දෙය පිළිබඳ අවබෝධ කර ගැනීම මගින් දරුවා ඉක්මන් පූතිකාර සදහා යොමු කළ හැක.

පළමුව  දරුවා ආරක්ෂිත ස්ථානයක වම් පසට හරවා තබන්න.(මෙමගින් ශ්වසන පද්ධතියේ ඇති විය හැකි  සංකුලතා අවම වේ.) දරුවා ගැහෙන විට ඔහුගේ/ඇයගේ අත පය ඇදීම මුඛයට යම් යම් දේවල් දැමීම නො කළ යුතුය. වහාම ළඟම ඇති රෝහල වෙත දරුවා රැගෙන යන්න.

බොහෝ දෙමාපියන් දරුවා තෙමීම සිදු කරයි. නමුත් නූතන සොයා ගැනීම්වලට අනුව තෙමීම මගින් කිසිදු වාසියක්  නො ලැබෙන අතර එයින් දරුවා තවදුරටත් පීඩනය ට පත් වේ. දරුවාගේ බරට සරිලන පරිදි පැරසිටමෝල් ලබා දෙන්න. පැරසිටමෝල් ලබා දිය යුත්තේ පැය හයකට වරක් පමණි. පැරසිටමෝල් දුන් වහාම දරුවා වමනය කල හොත් නැවත වරක් ලබා දිය හැකිය.

දරුවා රෝහල් ගත කිරීමෙන් පසු දරුවාගේ රෝග ලක්ෂණ, වලිප්පුව සැදුණු ආකාරය පිළිබඳ සියලු තොරතුරු වෛද්‍යවරයාට ලබා දීම ඔබේ වගකීමකි. රෝග ලක්ෂණ අනුව සිදු කලයුතු අදාළ පරීක්ෂණ වෛද්‍යවරුන් විසින් තීරණය කරනු ලබයි.

රුධිර පරීක්ෂණ සහ වෙනත් අදාළ පරීක්ෂණ සිදු කළද මොළය සම්බන්ධ  පරීක්ෂණ(EEG) සිදු කිරීම අවශ්‍ය නොවන්නේ උණ වලිප්පුව මොළය සම්බන්ධ රෝගයක් නොවන බැවිනි. අපස්මාරය හා සම්බන්ධ කිසිදු ඹෟෂධක් (antiepiletics) අවශ්‍ය නැත. නමුත් දරුවාට උණ ඇතිවන සෑම විටම වලිප්පුව ඇති නම් ඒ සදහා කෙටි කාලීන ඹෟෂධක් අවශ්‍ය වේ.ඔබේ වෛද්‍යවරයා විසින් ඒ පිළිබඳ ඔබ දැනුවත් කරනු ඇත.

උණ වලිප්පුව  යනු දීර්ඝ කාලීන අපස්මාර  තත්ත්වයක් නොවන අතර මෙමගින් දරැවාගේ ඉදිරි වර්ධනයට හෝ ඔහුගේ/ඇයගේ බුද්ධි වර්ධනයට කිසිදු බලපෑමක් ඇති නො කරයි.උණ වලිප්පුව සැදුණු දරුවෙකුට නැවත උණ වලිප්පුව සැදීමේ පුවණතාවය 4%-12% ක් පමණ වේ.

රෝහලින් පිටව යන විට ඔබට ලබා දෙන දරැවාගේ රෝගය පිළිබඳ රෝග විනිශ්චය පත (diagnostic card) සුරැකිව තබා ගන්න. ඔබේ දරුවා ව  නැවත වරක් වෛද්‍යවරයෙක් වෙත යොමු කිරීමේදී හෝ එන්නත් සදහා සායන වෙත යොමු කීරීමේදී හෝ දරැවාගේ වෙනත් සෞඛ්‍ය සම්බන්ධ ගැටලුවක දී එය අදාළ වෛද්‍යවරයාට ලබා දෙන්න.

නිරෝගී සමාජයක් වෙනුවෙන් බුද්ධිමත් දෙමාපියන් බිහි වනු දැක්ම අපේ අපේක්ෂාව යි. ඔබ සැමට නිරෝගිමත් දිවියක් අපි පතමු.

වෛද්‍ය කේ.ඒ. විජේසිංහ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *