උයන්න මොනවත්ම නැද්ද?

උයන්න මොනවත්ම නැද්ද?

උයන්න මොනවත්ම නැද්ද?

මාකට් යන්නට නොහැකි වූ දිනක උදෑසන ශීතකරණයෙහි දොර අසල හිස කසමින් උයන්නට ඇත්තේ මොනවාදැයි විමසන දවස් අපමණය. කැරටුත් බෝංචිත් අලත් පරිප්පුත් නැති දාකට එළවළු කූඩා, පෙට්ටි හිස් බවක් අද කාලේ බොහෝ ගෘහණියන්ට දැනෙන්නේය. සුපිරි වෙළඳ සැලෙහි පමණක් නොව  පොළෙහි ද කෘමිනාශක යහමින් යොදා ඇති දැඩි කොට නෙලා, තවත් රසායනික දියර වල බහා, බ්ලීචිං ක්‍රීම් ගා සුදු වූ යුවතියක මෙන් පැහැපත්ව පාරිභෝගික දෑතට සපයන මේ එළවළු කිහිපයක් හැර උයන්නට මොනවත් නැතැයි හිතනා මුළුතැන්ගෙවල් බොහොමයකි. පැරණි ගැමි නිවසෙහි මේ හැර උයන්නට ජාති නම් අපමණ විය. වත්ත පිටියෙහි ක්‍රියාකාරකම් සැකසුනේ එවැනි ආහාර උත්පාදනයන්ට බාධා නොවන අන්දමිනි.

ගොයම් කපා පාගා ඉවර වූ තැන පිදුරු ගිනි තබා හෝ කුඹුර පුරා ඉස අහවර නොකොට ගොයම් පෑගූ තැනම කඳු ගසා, අව්වට වේලීමටත් වැස්සට තෙමීමටත් ගම්වාසියා ඉඩ හැරියේ නිකමටම නොව අහස ගොරවන සමයෙහි පිදුරු ගොඩ ඒ මේ අත පෙරලා බැලූ කල මතුවන පිදුරු හතු බලාපොරොත්තුවෙනි. අනෙකුත් හතු වලට වඩා සිහින් දිගු ලිස්සන සුළු පිදුරු හතු යනු කොයි තරම් රසවත් කෑමක් දැ යි දන්නෝ දනිති. වත්තේ පසක කපා දැමූ කොස් කොටයකට, අඹ කොටයකට ඔහේ ඉන්නට හැරියේද එවැනිම බලාපොරොත්තුවකි. ඒ දිරා යන ගස් කඳන් පුරා හට ගන්න ලේන හතු නෙලා ගැනීමටයි. මීට අමතරව ගෙවත්තෙහි වැලි පස ඇති තැනෙක යායට පිපෙන හීන් වැලි හතු ද නියරක බුරුල් පස ඇති තැනක මෝදු වන මහවැලි හතු ද ඉදහිට දවසක වාසනාවන්තයෙකු ඇස ගැටෙන ඉදලොලු හතු ද කිරටත්, මිරිසටත්, තෙලටත් යන කොයි විදියට හැදුවත් රස දිව පිනා යන දිව්‍ය භෝජනයන් වන්නේය.

ඇතුවත් බැරි නැතුවත් බැරි අර්තාපල් වෙනුවට ගමේ ගෙවතු වල පොළව යට සැගවුණු විවිධ අල වර්ගයන් වේ. බතල, මඥ්ඥොක්කා මෙන්ම ඉන්නල, දන්දිනල, කිරිඅල, කුකුලල, ජාවාල, හුලංකීරිය, අරලොක්ක, කටු අල එවැනි අල වර්ග කිහිපයකි. මීට අමතරව වැලෙහි හට ගන්නා කොඬොල ද රසවත් අල වර්ගයකි. හුලංකීරියත් අරලොක්කත් වෙනස්ම රසයක් දෙන සිහින් දිගටි අල වර්ග වේ. උදෑසන ආහාරයට මේ අල කිසිවක් තම්බා ලපටි පොල් අහුරක් හා කට දන ලුණු මිරිසක් සමඟ බඩ පිරෙන්නට කෑ හැක. තම්බා කන එළවලු වර්ග අතර කැරට්, බෝංචි, ගෝවා නොව මෑකරල්, වැටකොලු පොතු, වට්ටක්කා, දඹල, තිබ්බටු, බණ්ඩක්කා තිබේ. මේවා සිහින්ව ගාගත් පොල් අහුරක් හා කෑම සිරිතකි.

මුගුණුවැන්නා, කංකුං, ගොටුකොළ වැනි හැමෝම දන්නා පලා වර්ග අතරට බොහෝ දිනවල පහසුවත් රසයත් පිණිස කවලම් පලා මැල්ලුමක් සැකසේ. උයමනට පෙර වත්ත වටා යන රවුමකදී නැවුම්ව නෙලා ගන්නා සිංගප්පූරු කොළ, මෑකරල් දළු, තෙබු දළු, මඥ්ඥොක්කා දළු, පැෂන් ෆෘට් දළු, අලිගැටපේර දළු යනාදියෙන් අහුර බැගින් එකතු කර ගත් විට කවලම් පලා මැල්ලුම ට අඩුවැඩිය එකතු වේ. පොලුත්, රතුලූණුත්, උම්බලකඩත් පමණට යොදා හට්ටිය වහුන් ඇර තබා හැඳි මිටෙන් කූරු ගා තනන මැල්ලුම දහවල් බත රසයෙනුත් ගුණයෙනුත් සම්පූර්ණ කෙරෙන්නේය. එමෙන්ම අගුණකොළ සම්බෝලය යනු ඒ නම් කුමකට වැටුණේදැයි සිතා ගත නොහැකි තරමට ගුණ දෙන මැල්ලුම් මෙන්ම පොල් එකතු කොට එහෙත් නොපිසා කෑමට ගන්නා ආහාරයකි.

උෂ්ණාධික කාල වල සිසිල දෙන ආහාර ද ගමේ ගොඩේ ඕනෑ තරම්ය. කෙසෙල් බඩ ව්‍යංජනය එවැන්නකි. කැන වැටුණ පසු කෙසෙල් කඳ ඉවත විසි නොකොට එහි ලා ගොබය පාදා ගෙන කැබලි කපා අමු ගස්ලබු ත් සමඟ කිරට උයයි. කටු අනෝදා ව්‍යංජන ද එවැනිම සිසිල දෙන ආහාරයකි. පැසුණු කටු අනෝදා ගෙඩියක ඇට ඉවත් කර දෙල්, කොස් ව්‍යංජන මෙන් සකසා ගත හැක. කිතුල් කදෙහි මැද කොටස පලා බඩ රැගෙන වංගෙඩියෙහි ලා කොටා පිරිසිදු රෙදි කඩකට දමා මිරිකයි. ඉන් පසු එම දියරය නිසොල්මන්ව තැබූ විට ජලය උඩ මතු වී පිටි යට තැන්පත්ව තිබේ. එම පිටි රැගෙන අව්වේ වේලා කිතුල් පිටි සකසා ගනී. කිතුල් පිටි කැඳ ද කලින් සඳහන් කල අන්දමේ ශරීරයට සිසිල දෙන ආහාරයක් වේ.

උයමනට රැගෙන ඉවත දැමෙන ඇතැම් එළවලු කොටස් කුණු කූඩයට නොදමා තවත් රසවත් ආහාර සැකසීමද ගැමි මුලුතැන්ගෙයක දැකිය හැක. වැටකොලු පොතු තම්බා කනවා මෙන්ම අලුකෙසෙල් ගෙඩියේ පොත්තද ඉවත නොදැමෙන්නේය. එම පොතු හොදින් සෝදා කහට යන්නට ලුණු වතුරෙහි බහා තබා සිහින්ව ලියා කරවල සමඟ තෙල් දමා ගත් විට අලුකෙසෙල් මදයටත් වඩා ඉතා රසවත් ව්‍යංජනයකි. මඥ්ඥොක්කා අලයෙහි උඩ පොත්ත සීරූ විට ඊට යටින් මතු වන ඝනකම් සුදු පැහැ පොත්ත වෙන්කර සෝදා තම්බා, අව්වේ වියලා, තෙලෙහි බැද, සීනි දමා ගත් විට රසවත් කෙටි ආහාරයකි. වට්ටක්කා ඇට ද චව්චව් ගෙඩියේ ඇටය ද එවැනිම කජු මද වැනි රසවත් ආහාර වෙයි.

උයන්නට එළවලුවක් නැතැයි තැවෙන්නට, පෙර පැවති ස්වයංපෝෂිත දිවි පැවැත්මෙහි දී සිදු නොවීය. අලංකාරයට වවන මල්, පලතුරු හැර ලඳු කැලෑ, ගෙවතු වල ඉබේ වැවුණු බොහෝ ඵල, කොළ යොදා රසවත් ව්‍යංජන සකසන්නට ඉවක්, දැනුමක් ගැමි ගෘහණිය සතු වූවාය. නාගරීකරණය වී, ගෙවතු කුඩා වී, කාලය හා තරඟයක යෙදෙන ජීවන රටාවකට සමාජය පත් වූ තැන වෙළඳපොල විසින් නියම කරන දේ හැර රස නහර පිනා යන්නට කෑම ගන්නට මිනිසුන්ට නොහැකි විය. මෙනිසාම වෙළඳපොළ සුලබ කැරට්, බෝංචි, අල, ගෝවා වැනි එළවලු වර්ග තවත් රසකාරක හෝ අධික තෙල්, ලුණු යොදා සකසා රස නහර පිනවාගන්නට සිදුවේ. අධික ස්ථූලතාවය, මධුමේහය, අධිරුධිර පීඩනය වැනි රෝග පැතිරීමෙහි ප්‍රධාන හේතුකාරකයා වර්තමාන ආහාර රටාව බව පෝෂණවේදීහු පෙන්වා දෙති. පැරණි ගැමි ආහාර රටාවෙහි එවැනි රෝග ඉතා කලාතුරකින් හඳුනා ගැනුණු අතර බොහෝ දෙනා පරම ආයුෂ ද වින්දෝය.

අද බොහෝ නිවෙස් වල ගෙවතු වගා කරනු දැකිය හැක. නමුත් ඒවා බොහෝ කොටම මිරිස්, මාලු මිරිස්, තක්කාලි, වම්බොටු, බණ්ඩක්කා ආදී එළවළු කිහිපයක් පමණක් වැවීම අරමුණු වී ඇති සෙයකි. එමෙන්ම මෙම පැළ වල බීජ බොහෝ කොටම ජාන වෙනස් කර කෙටිකාලීන ඵලදා සඳහා කෘතිමව වෙනස් කල ඒවා ද වේ. ඵලදාව හා නඩත්තුව සඳහා පොහොර යෙදීමද දිගටම සිදු වේ. නමුත් පැරණි ගැමි සමාජයෙහි ආහාරයට ගත් පරිසර හිතකාමී, ආර්ථිකයට හිතකාමී හා රැකීමට වෙහෙස අඩු, දිගු කාලීනව පවතින මෙන්ම බහු විධ ප්‍රයෝජන සහිත ආහාර බෝග වල වාසි එමටය. පරිසරයෙන් වදවෙමින් යන එවැනි ආහාර රටා හා ශාඛ නැවත වගා කිරීමටත් නැතිනම් වඳවී යන්නට හේතු වන පාරිසරික වෙනස්කම් නොකිරීමටත් කටයුතු කරන දිනක කිසිදු වියදමකින් තොරව පෝෂණ මල්ලක් නිවෙස සමීපයෙහි ගෙහිමියා වෙනුවෙන් වැඩෙනු ඇත.

සජිනි උයන්ගොඩ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *