ක්‍රොශේ කලාවට මූලාරම්භයක්

ක්‍රොශේ කලාවට මූලාරම්භයක්

මතකද ඉස්සර අපේ ආච්චි අම්මලා අතින් හැඩ දමාපු රේන්ද අල්ලපු බෝරිචචි ගවුම් පොඩි? නැත්නම් අම්මා පරිස්සමට අරන් තියමු අපේ පළවෙනි මේස් කුට්ටම? කිරිකැටියව ගේන්න ලෑස්ති වෙනකොට ඔයාගේ අම්මා එහෙමත් නැත්නම් අත්තම්මා ගොතල දුන්නු සිනිදු පොරෝනාව

යටත් විජිත සමයෙ අපේ රටට ලැබුණු කලා අතුරින් තවත් එක් කලාවක් තමයි රේන්ද කලාව. අතීතයේ රේන්ද කිහිපයකට පමණක් සීමා වී තිබුණත් මේ වන විට විවිධ වර්ගයේ අත්කම් නිර්මාණ රාශියක් මේ වූල් ගෙතීමේ කලාව එහෙමත් නැතනම් crochet කලාව තුලින් බිහි වී තිබෙනවා. මේ අතර ඇඳුම්, ආභරණ, අත් බෑග්, පාවහන්, නිවාස අලංකරණ, සෙල්ලම් බඩු වැනි ඉතා පුළුල් පරාසයකට විහිදුනු දිනින් දින අලූත් වන කලාවක් බවට මේ ක්‍රොශේ කලාව පත් වී තිබෙනවා. ඉතිං මේ හැදින්වීම මාස් පතා ඔබ වෙත පැමිණෙන ලියන්ගේ සගරාව තුලින් දිගහැරෙන ගෙතුම් පාඩම් මාලාව ගැනයි.

මම ගැන…

මම අසින්සලා රත්නායක. මගේ ගෙතුම් ගමනේ ආරම්භය ගැන වගේම වර්තමානය ගැනත් මට කියන්න තියෙන්නේ හරිම රසවත් කතාවක්. මා මුලින්ම ගෙතුම් ඉගෙනගන්නේ මවගෙන් ලැබුණු දඩුවමක් ලෙසයි.

මගේ ඇදුම් මැසීම කොට්ටා උර වලට මල් මැසීම පාසල් බෑග් සදහා කතිර රටා වලින් වැඩ දැමීම  වැනි දෑ මගේ මවගේ විනෝදාංශ අතර පළමු තැන ගත්තා. දිනක් පවුලේ හිතවතෙකුගේ අලුත ඉපදුනු සිගිත්තෙක් වෙත ගෙන යාම සදහාත් ඇය විසින් ලස්සන මේස් කුට්ටමක් ගෙතෙමින් තිබුණා.

කොක්කකුත් නූලුත් පටලවමින් මව විසින් කෙරෙන මේ කාර්යය බලන් සිටි කුඩා මට ඇති වුණු කුතුහලය නිසාම මව ටිකක් එහා මෙහ් වන තුරු මම හරිම ඉවසීමෙන් බලාගෙන සිටියා. ලද අවසරයෙන් මම කල පළමු රාජකාරීය වුණේ මව විසින් තබා ගිය ගෙතුම් ඇද බැලීමයි. අදින අදින පාරට ගෙතුම් සියල්ල එකින් එක ගැලවිලා මේස් කකුල නැති වෙලාම ගියේ කරකියාගන්නට දෙයක් නැති මා හට ඉතා අසරණ හැඟීමක් ගෙන දෙමින් වුවත්  හොරෙන්ම මේස් කකුල නොපෙනී යන තුරු ගෙතුම ලිහීම කුඩා මට වීර ක්‍රියාවක් වැනි වැඩක් වුණා.

මේ වෙනුවෙන් මට ලැබුණු දඩුවම වූයේ අතින්  ( hook එක භාවිතා නොකර) වූල් බෝලයක් නිමා වෙන තෙක් දම්වැල ගෙතවීමයි. මේ සදහා දින කිහිපයක් ගත වුණත් මෙයින් පසු ගෙතුම් කටුවක් සහ වූල් බෝලයක් රැගෙන විත් පළවෙනි පිරවිලි දෙක ඇයගෙන් අසා ඉගෙනගන්නේ මේ කලාව වෙත ඇති වූ තද බල ආශාව නිසාමයි.

එතැන් පටන් දැනට අවුරුදු 17 පමණ කාලයක් පුරාවට විවේකී සෑම අවස්ථාවකදීම කුමක් හෝ හිතට එන දෙයක් මා දන්නා පිරවිලි දෙක යොදාගනිමින් ගෙතීම් පුරුද්දක් බවට පත් වෙනවා. ක්‍රම ක්‍රමයෙන් තනිව අත්හදා බලමින් මෙන්ම අන්තර්ජාලයේ ආගමනයත් සමග තවත් බොහෝ දේ සොයා ඉගෙනගනිමින්  විවිධ රටවල විශිෂ්ඨ ගුරුවරුන් යටතේ එක් එක් රටවල භාවිතයේ ඇති ගෙතුම් ප්‍රභේද හදුනාගනිමින් ගෙතුම් කලාවේ නව මාවත් හී සැරිසරන්නට පෙළඹුනේ මුල් ගුරුවරිය වූ මගේ මවවත් පුදුම කරවමින්.

ප්‍රථමයෙන් විනෝදාංශයක් ලෙස Crochet Corner ලෙස පටන් ගත් වෙබ් අවකාශය ක්‍රම ක්‍රමයෙන් යෙහෙළියන්ගේත්, යහෙළියන්ගේ යෙහෙළියන්ගේත්, තව තවත් පාරිභෝගිකයන්ගේත් ඇණවුම් මැද ව්‍යාපාරක් බවට පත්වන්නේ Crochet Lobby නමින්. මේ වන විට දස දහසකුත් ගෙතුම් ලෝලීන් වෙත ගෙතුම් දැනුම සපයමින් එමගින් දිරිය කාන්තාවන් හට අමතර ආදායම් මාර්ග සලසමින් ඉතා සාර්ථක ජ්‍යාත්‍යන්තර මට්ටමේ ව්‍යාපාරයක් ලෙස Crochet Lobby ඉදිරියට ගමන් කරමින් සිටිනවා.

ලියාරා පාඨක ඔබටත් විනෝදාංශයක් ලෙස වගේම ස්වයං රැකියා මාර්ගයක් ලෙසත් යොදාගත හැකි මේ ගෙතුම් කලාව ලබන කලාපයේ සිට මුල සිට සරලව පාඩම් මාලාවක් ලෙස ගෙන ඒමට මම සුදානම්.

එක් කොනක කුඩා කොක්කක් සහිත තනි ගෙතුම් කටුවක් හා නූල් වූල් වැනි කැමති මාධ්‍යයක් යොදාගනිමින් මෙම ගෙත්තම් මවනු ලබනවා.  අප රටේ බහුතරයක් මෙය ක්‍රොචට් ලෙස හැදින්වූවද crochet යන්නෙහි නිවැරදි උචාචාරණය විය යුත්තේ ක්‍රොෂේ යනුවෙනුයි. crochet යනු ප්‍රංශ භාෂා වදනක් වන croché (croch යනු ප්‍රංශ භාෂාවෙන් hook යන අර්ථය ඇති වචනයකි) යන්නෙන් ඉපදී ව්‍යාප්ත වූ වචනයක්.

අවශ්‍ය ද්‍රව්‍ය සහ උපකරණ

මෙවර කලාපයෙන් අපි මුලින්ම ගෙතුම් ආරම්භ කරන කෙනෙකුට වැදගත් වෙන මූලික උපකරණ හදුනාගනිමු.

1.        ගෙතුම් කටුව (crochet hook)

මෙය ගෙතුම් සදහා භාවිතා වෙන ප්‍රධාන උපකරණයයි.  මෙම කටු ප්‍රමාණයක් කිහිපයකින් දැකගත් හැකියි. ඒ එක් එක් ප්‍රමාණයන් වෙන් වෙන් වශයෙන් නූලට සහ කරගන්නා නිර්මාණයට ගැලපෙන පරිදි තෝරාගන්නා අයුරු අප ඉදිරියේදි ඉගෙනගනිමු.

0.6mm සිට 2.5mm දක්වා ඇති steel hooks ලේස් මෝස්තර වැනි සිහින් නූල් (thread) වලින් කෙරෙන නිර්මාණ සදහාත් 3.0mm සිට ඉහළට යන ප්‍රමාණයෙන් ඇති hooks ඝනකමින් වැඩි යාර්න් (yarn) වර්ග සදහාත් යොදාගැනේනවා.

මුලින්ම ගෙතුම් ආරම්භ කරන ඔබ මේ සදහා 3.00mm හෝ 3.5mm ගෙතුම් කටුවක් ගන්න. (ලංකාවේ ගැනීමට ඇති වූල් ආදේශක සදහා වඩාත්ම සුදුසු වන්නේ ඉහත අගයන්හි කටු වන අතර සොයාගැනීමට නොහැකිනම් 2.5mm වුවද යොදාගත හැකියි)

2.        යාර්න් (yarn)

යාර්න් යනුවෙන් අපි ගෙතුම් මාධ්‍යය හදුන්වනවා. සත්ව ලොම් ආශ්‍රයෙන්, ශාක තන්තය ආශ්‍රයෙන් මෙන්ම මිනිසා විසින් කෘතිමවද නිපදවෙන කෙදි එක් එක් ප්‍රමාණ වලින් එකට එක් කර අඹරා (spin) ගැනීමෙන් මෙම යාර්න් නිපදවෙනවා.

ලංකාවේ ගැනීමට ඇති යාර්න් පොදුවේ වූල් (wool) ලෙස හැදින්වූවත් වූල් යනුවෙන් හැදින්වෙන්නේ බැටළු ලෝම් ආශ්‍රයෙන් නිපදවනු ලබන ස්වභාවික කෙදි සහිත ඉතා මිල අධික යාර්න් වර්ගයි.

ලංකාවේ ප්‍රධාන වශයෙන් යාර්න් වර්ග දෙකක් දැක ගත හැකියි.

–     Acrylic – ඇක්‍රිලික් – කෘතීමව නිපදවෙන කෙදි සහිත යාර්න් (ලංකාවේ බොහෝ දෙනා විසින් වූල් වශයෙන් හදුන්වන්නේ මේ වර්ගයයි)

–     Cotton – කපු ආශ්‍රිත ස්වභාවික කෙදි වලින් නිපදවෙන යාර්න් (Crochet thread ලෙස හදුන්වන්නේ මෙයයි)

මීට අමතරව රෙදි පටි, නයිලෝන් වැනි වෙනත් කාර්යයන් සදහා භාවිතා කරන යාර්න් වර්ගත් යොදාගත හැකි නමුත් මුලින්ම ගෙතුම් පටන් ගන්නා කෙනෙක්නම් acrylic වර්ගයේ තරමක් මහත යාර්න් වර්ගයක් තෝරාගන්න. (බේබි යාර්න් ගන්න එපා)

3.        කතුර (scissor/trimmer)

4.        සිදුර මහත ඉදි කටුව (tapestry needle)

ඉහත උපකරණ සූදානම් කරගත් පසු අපි මූලික ක්‍රමවේද ඉගෙනිමු.

අසින්සලා රත්නායක

ගෙතුම් උපදේශිකා

Crochet Lobby

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *