චින්තා ලක්ෂ්මී සිංහාඅරච්චි මහත්මිය

චින්තා ලක්ෂ්මී සිංහාඅරච්චි මහත්මිය

චින්තා ලක්ෂ්මි සිංහාරච්චි යන නාමය පරිවර්තන සාහිත්‍ය තුළ නොමැකෙන සටහනක් තැබූ අමරණිය නාමයකි.ඇය වංග,හින්දි සහ උර්දු භාෂාවෙන් සාහිත්‍ය කෘතීන් රැසක් පරිවර්තනයට ලක් කරන ලද අතර ඒ සෑම කතාවක්ම අපේම සංස්කෘතිය පිලිබඳ ලිවුවා යැයි හැඟෙන ජීවි බවකින් පරිණත වුන කතා පෙළක් වේ.සාහිත්‍ය කෙරෙහි ඇය විසින් සිදුකරන ලද්දාවූ කාර්යභාරය ඉතාමත් අගනේය.එමෙන්ම ඇයට සාහිත්‍ය ලොව තුළ අන් පරිවර්තකයින්ට නොතිබුණු අග්‍රගණ්‍ය පෞර්ෂයක් හිමිවිය.එමෙන්ම ඇය ගණිත ගුරුතුමියක් වූ අතර පරිවර්තනයේදී මෙන්ම ගණිත විෂය සම්බන්ධව ද මනා ගුණාත්මක බවකින් යුතු වීම ඇයගේ තිබු සුවිශේෂිත්වයයි.

මෙම සියලුම භාෂාවන් ඇයගේ ස්වෝත්සාහයෙන් අධ්‍යයනය කිරීම ඇගේ විශේෂත්වය වන අතර ඉන්දියාවට ගොස් තම පරිවර්තන ක්‍රියාදාමයට අවශ්‍ය ශක්තිය ශික්ෂණය විසල් කැපකිරීමකින් යුතුව තම ජීවිතය ලංකර ගන්නා ලදී.

විභුතිභුෂණ බන්දෙයපාධ්‍ය නම් බෙංගාලි ජාතික ලේඛකයන් අතර විශිෂ්ටතම ලේඛකයා ලෙසන් රන් නාමය පැළඳි කතුවරයා විසින් රචනයා බඳුන් කරන ලද පථෝර් අපූ ත්‍රිත්වය (පාතර් පංචාලි,අපරාජිතයෝ ,අපුර් සංසාර් යන කෘතීන් ත්‍රිත්වය මෙතුමියගේ පළමු පරිවර්තන කෘතීන් විය. මෙම ත්‍රිත්වය මාවතේ ගීතය , අපරාජිත ජිවිතයක් සහ අපුගේ ලෝකය නමින් පරිවර්තනය කොට පුස්තකාල සේවා මණ්ඩලයට ඉදිරිපත් කොට මුද්‍රණ අනුග්‍රහය ලබා ගත්තාය.වසර කිහිපයකට පසු අපු ත්‍රිත්වය වෙනුවෙන් ඇයට රාජ්‍ය සාහිත්‍ය සම්මානයක්ද ප්‍රදානය කරන ලදී.ජනප්‍රිය කෘතියකට වඩා ගුණාත්මක බැවින් වැඩි කෘතියක් පාඨකයා වෙත ලං කිරීම ඇයගේ වෑයම විය.

වංග සාහිත්‍ය කලාවේ දැවැන්ත පුරුෂයකු වූ ශරත්චන්ද්‍ර චට්ටෝපධ්‍යගේ ශ්‍රීකාන්ත නව කතාව චින්තා මහත්මියගේ දෙවන පරිවර්තන වෑයම විය.එය ශ්‍රීකාන්ත ලෙස පළවෙනි වෙළුමත් ශ්‍රීකාන්ත හා රාජලක්ෂ්මි ලෙස දෙවෙනි වෙළුමත් අසංෂිප්ත පරිවර්තනයක් ලෙසින් පිට විය.

ඇයගේ සාහිත්‍ය දෘෂ්ටිය මනාව ඔප්නංවන ලද කතාවක් ලෙස උර්දු බසින් සිංහලයට පරිවර්තනය කරන ලද ඛලීල් ජිබ්රාන්ගේ ඉසිවරයා පොත දැක්විය හැකිය.එය ගැඹුරු වූ දාර්ශනික ගැඹුරකින් යුක්ත කතාවක් වේ.මෙය ඉතාමත් සුන්දර වූ රමණිය ගද්‍ය කාව්‍යයක් ලෙස හැඳින්වීම වඩා යෝග්‍ය වේ.

සිංහල පාඨකයන්ගේ සිතුව්ලි හදවත සසල කළ කෘතියක් වූ අරණකට පෙම් බැඳ ගද්‍ය කාව්‍යය විභුතිබුෂණ බන්ද්යෙපාද්යගේ ආරණ්‍යයක් නම් වංග බසින් රචිත නව කතාවේ සිංහල පරිවර්තනයයි.මෙම කෘතිය සිංහල පරිවර්තන සාහිත්‍ය තුල විසල් පෙරලියක් ඇති කළ සන්ධිස්ථානයක් විය.මිනිසා සහ සොබාදහම තුල ඇතිවන අවියෝජනීය බැඳීම ,විවිධ සමාජයන්හි වෙසෙන මිනිසුන්ගේ ජිවිත විවරණය ලෝකය පිලිබඳ කතුවරයාගේ දෘෂ්ටි කෝණය ඉන්දියාවේ කෙළවරක පිහිටි වනයක් පිලිබඳ සිදුකල විවරණයකින් ඉතාමත් අපුරුවට පාඨක සිතට ලං කරන ආකාරය විශ්මයජනකය.

ඇයගේ කෘති ඔස්සේ මානව සම්බන්දතාවයන් පිලිබඳ ගැඹුරු දහමක් පිළිඹිබු කරන අතර දාරක ප්‍රේමය, ස්ත්‍රී පුරුෂයන් අතර ඇතිවන්නාවූ අවියෝජනීය බැඳීම පුරුෂාධිපත්‍ය ප්‍රධාන වූ සමාජයක ස්ත්‍රියට විඳින්නට වන අකටයුතුකම් ,අසාධාරණකම් අප වෙත ලං කෙරේ.

රවින්ද්‍රනාත් ඨාකුර් විසින් රචනයට පාත්‍ර කරන ලද ගෝරා ඇයගේ ජිවිතයේ වැදගත් සංදිස්ථානයකට ගෙන ගිය පොතක් ලෙස කිව හැකිය.මෙම කතාව ඔස්සේ පෙන්නුම් කරන ලද දේශපාලනික ,සමාජ සංසිද්ධීන් වර්තමානයට පවා යෝග්‍ය වන බව විචාරකයින්ගේ මතයයි.මෙම කතාව ඉන්දීය සමාජයේ ඓතිහාසික පුවතකින් යුක්ත වේ.

පරිවර්තන සාහිත්‍යයට විසල් සේවයක් සිදු කල චින්තා මහත්මිය වසර 53ක් ආයු වළඳා 2000 වසරේදී මෙලොවින් සමුගත්තාය .

නිලක්ෂි බණ්ඩාර

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *