චූටි බබා

චූටි බබා

චූටි බබා තොටිල්ලෙ නිදි…. සුදුම සූදු පුළුන් කොට්ට ගොඩක් තිබුණේ එයා වටේටම… එයාගේ ආරක්ෂාවටද, සුව පහසුවට, එහෙම නැත්නම් අම්මගෙයි තාත්තගෙයි ආදරේටද…නැත්නම් මේ සේරම නිසාද කියලා දන්නෙ චූටි බබාගේ අම්මයි තාත්තයි තමයි…

චූටි බබා නිදි කිව්වට හොරට නිදන් උන්නද මන්දා ….මොකද එයාගේ ඇස් පියවිලා තිබුණේ බාගෙට… ලා වට හිනාවකුත් තිබුනා රෝස පාට තොල් අතරින්…….

ඔව් ඔව් එයා නිදන් උන්නේ හොරට තමයි

ඔන්න චූටි බබාගේ තාත්තා ආවා තොටිල්ල ළඟට… එයාට නිනව්වක් නෑ චූටි බබාව වඩා ගන්න… එයා තොටිල්ල ළඟ කැරකෙනවා දැකලා චූටි බබාගේ අම්මා ආවා ඒ ළඟට…තාත්තා දැකලා අම්මගෙ ඇස් වලට කඳුළු ආවා…..

“ඇයි …. මෙහෙම කළේ….?”

අම්මගේ කටහඬට හැඬුම් එකතු වෙලා තියෙනවා කියලා දැනුන චූටි බබා ඇස් ඇරලා බැලුවා…..

තාත්තා බිම බලාගෙන හිටියා… වෙනදට වඩා වෙනසක් එයා තාත්තාගේ දැක්කා….තාත්තා රැවුල කපලා…හැබැයි තාත්තා වෙනදට මීට වඩා ලස්සනයි නේද කියලත් එයාට හිතුනා…

“යාන්තම් ඇති.ඊයෙත් මාව ඉඹලා මට ගොඩක් රිදුනා……”

එහෙම හිතුවේ චූටි බබා

“පුතා ඊයෙත් ඇඬුවා…මුහුණ තුවාල වෙන්නත් ඇති…. මට එයාව වඩාගෙන ආදරේ දෙන්න ඕන…ඒ වෙනුවෙන් ඕන දෙයක් කරන්න පුළුවන්….”

තාත්තා බිම බලාගෙන කියනවා…අම්මා කඳුළු පිහිනවා…..

එතකොට තමයි තාත්තා රැවුල කැපුවේ චූටි බබා නිසා කියලා එයා දැන ගත්තේ….

“පුතා නිදිද….”

එහෙම ඇහුවේ තාත්තා….

“ඔව්…. මම තොටිල්ලෙ තියලා නිදි කෙරෙව්වා….”

තාත්තා එන සද්දෙ ඇහිලා චූටි බබා හොරට ඇස් පියා ගත්තේ හුරතල් වෙන්න හිතාගෙන…..

“පුතාට නින්ද ගිහින්…. අතට ගත්තොත් එයාට ඇහැරෙයි….”

තාත්තා එහෙම කියලා ටික වෙලාවක් බලාගෙන ඉඳලා ආපහු හැරුනා……

ඔන්න චූටි බබාට දුක හිතුනා…. අඬන්න ඔන්න මෙන්න … ඒත් එයා ඇඬුවේ නෑ…

අම්මයි තාත්තයි දෙන්නම සද්ද නැති නිසා චූටි බබා හෙමිහිට ඇස් ඇරලා බැලුවා… ඇත්තටම කවුරුත් නෑ….එයාට තනි හිතුනා…. ඒත් එක්කම චූටි බයකුත් දැනුන…. ඔන්න ඉතින් එයා කට ඇද කරගෙන අඬන්න හදනවා….. එතකොටම එතනට ආවේ හීන සුරංගනාවි….එයා හිටියේ ලස්සනම ලස්සන රෝස පාට ගවුමක් ඇඳලා…. තව… සුරංගනාවි අතේ තිබුනා සුරඟන යෂ්ටිය……ඉතින් එයා රිදී පාට අත්තටු සලලා එයා චූටි බබාගේ තොටිල්ල වටේ කැරකුණා…. චූටි බබා ළඟට ළං වෙලා එයා දුකින් ඉන්නේ ඇයි කියලා ඇහුවා…..

චූටි බබාත් කිව්වා ඉතින් අම්මයි තාත්තයි එයාට ආදරේ නෑ කියලා…..

සුරංගනාවි හිනා වෙලා සුරඟන යෂ්ටිය සෙලෙව්වා…. චූටි බබා හෙමිහිට නින්දට වැටුනා….. එයා ලස්සනම ලස්සන හීනයක් දකින ගමන්…… චූටි බබා දකින මේ හීනේ ඉන්නේ එයාගේ අම්මයි තාත්තයි කියලා එයාට ටික වෙලාවකින් තේරුනා….

එයාව දකින්නත් කලින් ඉඳන්ම අම්මයි තාත්තයි එයාට කොයි තරම් ආදරය කරනවද කියලා චූටි බබාට පෙන්නූවේ හීන සුරංගනාවි..

“තාත්තා ලස්සනම එයාට රැවුල වවලා ඉන්නකොට නේද….?”

හීන සුරංගනාවි කොහේද ඉඳන් අහනවා චූටි බබාට ඇහුනා…..

චූටි බබාට මේ ලෝකේ පෙන්වන්න අම්මයි තාත්තයි කොයි තරම් දුක් වින්දද කියලා එයා දැනගත්තේ ඒ වෙලාවෙ..

“චූටි බබා…… ඔයාගේ ගෙදර තරම් ආදරේ තියෙන තැනක් වෙන කොහෙවත්ම නෑ….”

සුරංගනාවි එහෙම කියද්දිම චූටි බබාගේ අම්මයි තාත්තයි කාමරේට ආවා…. හීන සුරංගනාවි චූටි බබාගේ ලස්සනම හීනෙන් එයාව මිදෙව්වා….

තාත්තාගේ ශක්තිමත් අත් මැද හුරතල් වෙන අතරේ චූටි බබා දැක්කා සුරංගනාවි පියාඹලා ගිහින් ජනේලය ළඟ තියෙන රෝස මල් පඳුරේ රෝස මලක් උඩ වාඩි උනා….

චුටි බබා තාත්තාගේ කම්මුලට හාද්දක් දුන්නා… තාත්තාගේ ඇස් වලින් කඳුළු ආවා…..

අම්මා හරි සතුටින් හිනා උනා…

අම්මා සුරංගනාවිටත් වඩා ලස්සනයි නේද කියල චූටි බබාට හිතුනා…

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *