තිරසාර පරිභෝජනය නිවසින් පටන් ගනිමු

තිරසාර පරිභෝජනය නිවසින් පටන් ගනිමු

පහුගිය කලාපයේ පළවූ ලිපියෙන් සාකච්චා කරනු ලැබුවේ දේශගුණික විපර්යාසවල බලපෑම අවම කිරීමට කාන්තා ඔබට දායක විය හැකි ආකාරයයී. මිනිස් බලපෑමෙන් සිදුවන නොනවතින පරිසර විනාශයත්, ජනගහනය අධික වීම නිසා පරිභෝජනය දිනෙන් දින ඉහළයාම පෘථිවියේ ස්වභාවික පැවැත්මට විශාල ලෙස හානිදායක වී ඇතිබවත්, එය දේශගුණික බලපෑම් වර්ධනය වීමට සෘජුවම බලපාන බවත් එම ලිපියෙන් අවධාරණය කලා. කෙසේවුවත් දේශගුණික බලපෑම් සඳහා වැඩි වශයෙන් දායක වෙන්නේ කාර්මික රටවල්. අප වැනි දියුණුවෙමින් පවතින දූපත් රාජ්‍යයන් මේ සඳහා අවම දායකත්වයක් ලබා දුන්නත් එහි ප්‍රතිපල නම් ඉහලින්ම භුක්ති විඳිනවා. එම නිසාම 2017දී දේශගුණික විපර්යාසවල දැඩි බලපෑමට ලක්වූ රටවල් අතරින් දෙවන ස්ථානයට අප රට පත්වී ඇති බව 2019යේ ගෝලීය දේශගුණික අවධානම් දර්ශකය (Global Climate Risk Index 2019) නිකුත් කරන ජර්මන්වොච් (Germanwatch) ආයතනය වාර්තා කරනවා. මෙන්න මේ හේතු නිසාම ස්වභාවික පරිසරය හා සම්පත් ආරක්ෂා කරගැනීමට ගැන ජාතියක් විදියට අපිට ලොකු වගකීමක් තිබෙනවා. එය එසේ වුවහොත් පාරිසරික ලාභය සමාජ හා ආර්ථික ලාභ වලට බෙදී ගොස් රට තුල ආර්ථික, සමාජීය හා පාරිසරික සමතුලිතතාවය ඇතිකිරීම මගින් තිරසාර සංවර්ධන අරමුණු කරා ළඟාවෙන්න අපිට හැකියාව ලැබෙනවා. මෙතැනදී තනි පුද්ගලයන් විදියට මේ සඳහා දායකවිය හැකි ක්‍රම බොහෝයි. එයින් එකක් වන්නේ තිරසාර පරිභෝජනයයී.

අපේ රටේ කාන්තාව පුරුෂ මුලික සමාජයක ජිවත් වුනත් පරිභෝජනය සම්බන්ධ තීරණ බොහෝවිට ගනු ලබන්නේ ඇයයී. මේ නිසාම තිරසාර පරිභෝජනයේ අඩිතාලම එහෙමත් නැත්නම් මුලාරම්භය විය යුත්තේ ඇයයී. අපිට නිවසේදී, වෙළඳපොලේදී, කාර්යාලයේදී මේ සඳහා ගතහැකි ක්‍රියාමාර්ග බොහොමයි. එයින් නිවස හා පවුල තුල තිරසාර පරිභෝජනය පුහුණුකිරීම කාන්තා ඔබේ වගකීමක්. මෙයින් ඔබ යහපත් සමාජයක් පවත්වාගෙන යාමටත් ඒ තුලින් ඉතිරිය වැඩි කරමින් ඔබේ දරුවන් යහපත් පුරවැසියන් බවට පරිවර්තනය කිරීමටත් දායක වෙනවා. ඔබට පවුල තුල, නිවෙස තුල කල හැකි දෑ ගැන උදාහරණ කීපයක් බලමු. නිරන්තරයෙන් පවුලේ පෝෂණය හා සෞඛ්‍ය ගැන සිතන ඔබට මෙය කිරීම පහසුයි. භාණ්ඩ මිලදී ගැනීමේදී ඒවා නිපදවා ඇත්තේ කෙසේද, යොදා ඇති අමුද්‍රව්‍ය මොනවද, මේ භාණ්ඩ නිපදවීමේදී පරිසරයට හෝ සමාජය සිදුවන හානිය අවම කිරීමට ඒ සමාගම් දායකවී ඇත්ද, අමුද්‍රව්‍ය නිපදවීමේදී පරිසරයට හානියක් සිදුවී ඇත්ද? සත්ව හිංසනයෙන් තොරව නිපදවා ඇත්ද? නිවැරදි තොරතුරු එම භාණ්ඩවල සඳහන් කර ඇත්ද, එසේම එළවලු පලතුරු මිලදී ගැනීමේදී ඒවා විෂ රසායන වලින් තොරද? එසේනම් කාබනික පොහොර භාවිතා කර ඇතිද යන්න සොයා බැලීමට ඔබට පුරවැසියෙක් ලෙස හා පාරිභෝගිකයෙකු ලෙස අයිතියක් තියෙනවා. එසේ නොවන භාණ්ඩ ඔබට ප්‍රතික්ෂේප කල හැකියි. එයින් ඔබේ පවුලේ සෞඛ්‍ය පමණක් නොව සදාචාරයට පටහැනි ව්‍යාපාර නිසා සමාජයට හා පරිසරයට සිදුවන හානියද වැලක්වීමට හැකියාව ලැබෙනවා.

බොහෝ ගෘහනියන් අරපිරිමැස්ම ගැන ඉතා සැලකිලිමත්. මෙයත් තිරසාර පරිභෝජනයක අත්‍යවශ්‍ය කාරණයක්. ඔබට හැකි පමණ ගේවත්තේ ඉඩ ඇත්නම් එළවලු පලතුරු වගා කරන්න. විශේෂයෙන් හැකිනම් කොස් ගසක් පොල් ගසක් අනෝදා වැනි පලතුරු ගසක් කතුරු මුරුංගා ගසක් ඒ ගොඩට එකතු කරන්න. පෝෂණය වෙනුවෙන් වෙළඳපොල මතම යැපීමට වඩා මෙය බොහෝ වටිනවා. ඔබ ඉන්නේ ජනාකීර්ණ ප්‍රදේශයක නම් ඉඩකඩ අඩු නම් තට්ටු නිවාසයක නම් පොඩි ඉඩකඩක පුංචි ගෙවත්තක් පවත්වාගෙන යන්නේ කොහොමද කියන දේ ගැන පාඩම් අන්තර්ජාලයේ තියෙනවා. එයින් ඔබට පුංචි අදහසක් ගෙන ඔබේම පුංචි ගෙවත්තක් හදාගන්න පුළුවන්.  ආහාර පිසීමේදී නිවසේ සිටින සාමාජිකයින් ගණනට පමණක් ආහාර පිළියෙළ කිරීමෙන්ද ඔබට ලොකු ඉතිරියක් කරන්න පුළුවන්. මින් වඩා වැදගත්වෙන්නේ ආහාර නාස්තිය අවම කිරීමයි. දිනකට එක වේලක් පමණක් ආහාර ලැබෙන ජනතාව ලෝක ජනගහනයෙන් මිලියන කීපයක්. ආහාර හා ජලය වෙනුවෙන් යුද්ධ පවා ඉතිහාසයේ සිදුවී ඇති අතර ආහාර ලොව සෑම ප්‍රදේශයකටම සමාන බෙදී නොයාම නිසා එහි වටිනාකම අපි ඉතා හොඳින් හදුනාගත යුතුයි. තිරසාර පරිභෝජනය පිලිබඳ සමීක්ෂණ වාර්තා සඳහන් කරන ආකාරයට ලොව පුරා අවන්හල් හා පරිභෝගියින් මගින් වගේම ප්‍රවාහනයේ හා කෘෂිකර්මාන්තයේ අඩුපාඩුකම් නිසා ආහාර ටොන් බිලියන 1.3ක් වාර්ෂිකව අපතේ යනවා.  එම නිසා ආහාරයට ගත හැකි පමණ බෙදාගැනීමට අපි දරුවන් මුල සිටම හුරු කල යුතුයි. ඉතිරිවන කෑම තිබේ නම් කුණු කුඩේට නොදා අසරණ සතෙකුට කන්න දෙන්න. එකෙන් ඔබට මානසික සුවයක් සේම ඔබේ දරුවන් ආත්මාර්ථයෙන් තොර බෙදාහදා ගැනීමට හුරු පිරිසක් බවට පත්වේවි.

අනික් ප්‍රධානම කරණය වන්නේ කසල බැහැර කිරීමයි. ඔබ හැකිතාක් ප්ලාස්ටික් භාවිතය අවම කරන්න. ප්ලාස්ටික් දිරායාමට වසර මිලියන ගණනක් අවශ්‍ය බව ඔබ මේ වෙද්දී දැනුවත් ඇති. ලොව ප්ලාස්ටික් භාවිතය නිසා වැඩිපුරම දුෂණය වන්නේ සාගරය. එය මෙම වසරේ ගණන් බලා ඇති පරිදි වර්ෂයකට ටොන් මිලියන 2.8කට වඩා වැඩියි. සාගරයට එකතුවන කසල නිසා සාගරයේ ජිවගෝල පද්ධතියට විශාල හානියකට ලක්වෙනවා. එයින් අපේ වයුගොලිය සමතුලිතතාවය ප්‍රබල ලෙස බිඳවැටෙනවා. මෙය දිර්ග කාලීනව මානව සංහතියේ පැවැත්මට දැඩි බලපෑම් එල්ල කළහැකි කාරණාවක්. ඒ වගේම ප්ලාස්ටික් මලු වර්ෂයකට ට්‍රිලියන 5කට වඩා ලොව පුරා භාවිත කරනවා. කෙසේ වුනත් ලොව පුරා භාවිතාවන ප්ලාස්ටික් වාර්ෂිකව ප්‍රතිචක්‍රීකරණය කරනු ලබන්නේ 1%-3% අතර ප්‍රමාණයක් පමණයි. ඉතින් සිතන්න, අනෙක් 97%ම අපි අපේ පරිසරයට මුදා හරිනවා. ඔබ ගෘහනියක් ලෙස ඔබේ නිවසේ ප්ලාස්ටික් භාවිතය අවම කරන්න පුළුවන් පිළියම් ඔබට ඇති සම්පත් අනුව සකසාගන්න. වෙළඳපොලට යද්දී කූඩයක් හෝ නැවත භාවිතා කළහැකි මල්ලක් සැමවිටම රැගෙන යන්න. නිවසේ එකතුවන කසල නිවැරදි ලෙස කළමනාකරණය කරන්න. බීම බට, ප්ලාස්ටික් ඇසුරුම් සහිත භාණ්ඩ හැකිතාක් මිලදිගැනීමෙන් වලකින්න.  නොදිරන ද්‍රව්‍ය වෙනකොට කුණු ලොරියට ලබාදෙන්න. කිසිම වෙලාවක ප්ලාස්ටික් පුච්චන්න එපා එයින් විෂ වායුන් නිකුත්වී ඔබේ සෞඛ්‍යට හානි කරන්න පුළුවන්. දිරන ද්‍රව්‍ය යොදාගනිමින් කොම්පෝස්ට් හදාගන්න. ඉන්පසු ඔබේ ගෙවත්තට අවශ්‍ය කාබනික පොහොර ටික ලැබෙන්නේ එතනින්. නිවසේ භාවිතා කරන ජලය අපතේ නොහැර ඔබේ ගෙවතුවගාවට භාවිතා කරන්න. ඔබට මුල්‍ය පහසුකම් ඇත්නම් කුඩා ගෘහස්ත ජල පවිත්‍රාගාර පද්ධතියක් සවි කරගන්න. කලින් සඳහන් කලා සේම ඔබ මිලදී ගන්නා භාණ්ඩ නිපදවන්නේ කෙසේද යන්න සොයා බලන්න. උදාහරණයක් ලෙස ලොව දෙවැනියට ජලය දුෂණය කරන්නේ රෙදිපිළි කර්මාන්තය. අධික මිලක් ගෙවා ඔබ මිලදී ගන්නා රෙදිපිළි සන්නාමය බොහෝවිට කුමන හෝ රටක මිනිසුන්ට පිරිසිදු ජලයට ඇති අයිතිය උදුරාගනිමින් තම කර්මාන්තයේ යෙදෙනවා විය හැක. මෙය ඔබට අදාල ප්‍රශ්නයක් නොවේ යයි සිතුවත් ඔබේ සෑම සුළු ක්‍රියාවක්ම මේ පොලොතලයේ පැවැත්මට බලපාන බව ඔබ සිහි තබා ගත යුතුම කාරණාවක්.

අවසාන වශයෙන් තවත් වැදගත් කාරණාවක් වන්නේ නිවසේ විදුලි බල භාවිතයයි. බලශක්ති කාර්යක්ෂමතාවයෙන් ඉහල විදුලි බල්බ භාවිතය, පරිසර හිතකාමී විදුලි උපකරණ භාවිතය වගේම අනවශ්‍ය වෙලාවට විදුලි බල්බ, විදුලි පංකා වැනි දෑ නිවා දැමීම, සතියටම අවශ්‍ය ඇදුම් සියල්ල එකවර සේදීම, මැදීම වැනි සුළු ක්‍රියාවන්ගෙන් ඔබට නිවසේ විදුලි බිල්පත විශාල ලෙස අඩුකරගන්න පුළුවන්. ඒ වගේම හරිතාගාර වායුවක් වන කාබන් ඩයොක්බොසයිඩ් විමොචනයද ඔබේ නිවස තුල අවම කරගැනීමටද සමත්වෙනවා (කාබන් ඩයොක්සයිඩ් යනු ගෝලීය උණුසුම ඉහළ යෑමට ප්‍රබල ලෙස දායකවන හරිතාගාර වායුවක්). මෙය ඉතා වැදගත්. ලොව නිපදවන බලශක්තියෙන් 29%ක් භාවිතා කරන්නේ පාරිභෝගිකයින් වන අප වන අතර ඒ නිසා විමෝචනය වන කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය 21%ක්. මිට විසඳුමක් ලෙස බොහෝ රටවල පුනර්ජනනීය බලශක්තිය සඳහා විශාල ලෙස ආයෝජනය කරන අතර ගෘහස්තව සුර්ය බලශක්ති භාවිතය ප්‍රවර්ධනය කරනවා. ඒ නිසා එම රටවල ජනතාව තම විදුලි බිල්පත සඳහා දරන්නේ ඉතාම සුළු මුදලක්. මෙලෙස ලොව සියලු පාරිභෝගිකයින් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතා කළහොත් වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 120ක් ලෝක ආර්ථිකයට ඉතිරිවේවි. එම නිසා බලශක්තිය අරපිරිමැස්මෙන් භාවිතාකිරීම අප සියලු දෙනාගේම වගකීමක්. දේශගුණික බලපෑම් නිසා දේශගුණයේ නොයෙක් වෙනස්වීම්පවලට අපි දැන් කාලෙන් කාලෙට මුහුණ දෙනවා. පසුගිය රස්නේ දවස්වල ඔබට වායු සමීකරණයක් සවිකරගන්න අනෙකුත් වාරයක් සිතෙන්නට ඇති. නමුත් සංවර්ධනය මුවාවෙන් අපේ රට තුල සිදු කරන වන විනාශය අප අවට පරිසරයේ උෂ්ණත්වයට බලපානවා. ඒ නිසා අපිට වැරදුනු තැන් හදාගෙන අපි ඉදිරියට ය යුතුයි. වායු සමීකරණ සවිකිරීම වෙනුවට නිවස අවට උසින් වැඩි ගස් කීපයක් වවාගන්න, අධික රස්නයට හොඳම විසදුම ගසක සෙවණ පමණයි.  එම නිසා බලශක්තියෙහි වටිනාකම අපි හඳුනා ගනිමු.

කල්පනා අඹේපිටිය

කථිකාචාර්යය

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *