මගේ ගෙවත්ත – ඇඹුල් ඇඹිලිය ගුණ වර්ණනාව

මගේ ගෙවත්ත – ඇඹුල් ඇඹිලිය ගුණ වර්ණනාව

ගෙවත්ත පිළිබඳ මගේ සහ පවුලේම අත්දැකීම් අරගෙන  අද ඉඳලා මම ඔයාලට ගෙවත්ත ගැන ලිපි මාලාවක් රැගෙන එනවා.  ගෙවතු වගාවට ආදරය කරන කා සමගත් අපේ වත්තේ සිදු වන වෙනස් වීම් බෙදා ගන්නත් මම අලුතින් ඉගෙන ගන්නා දේ බෙදා ගන්නත් අපි එකිනෙකා අතර වගා දැනුම හුවමාරු වෙන්නත් මේ ලිපි මාලාව කදිම තෝතැන්නක් වේවි කියා මම හිතනවා.

අද වෙද්දී මම ඊලග කන්නයට වගාව පටන් ගන්න පාත්ති පිරිසිදු කිරීම අරඹලා තියනවා.

සතිය පුරාම දවසට එක කොටස බැගින් ගනිමින් මම පාත්ති වල පිරිලා තිබුණ වල් පැල ඉදිරුවා. අද ඉදලා මම පස් බුරුල් කරමින් කොම්පෝස්ට් මිශ්‍ර කරමින් පාත්ති වල පස පෝෂණය කරනවා.

දැනට නම් වත්ත කැළෑවක් වගේ. මෙතන තියෙන්නෙ පර්චස් තුනක පුංචි ඉඩක්. අපට මීට අමතරව තවත් පර්චස් විස්සක පමණ ඉඩක් තියනවා පොල් ගස් සහ පළතුරු ගස් වලින් පිරුණු.

බටු, බණ්ඩක්කා ,අමු මිරිස් , වැරණිය මිරිස් ,තිබ්බටු, කරවිල සහ මෑකරල් මේ දිනවල පලදාව දෙනවා. බතල වැල් හැම තැනම ගිහින්. මඤ්ඤොක්කා පදුරකුත් තියනවා. හුලංකීරිය පදුරු හයකුත් තියනවා. ඉගුරු සහ කහ ඊට අමතරව. අනෙක් එළවලු සිටුවීමට සූදානම් කරමින් අපි ඉන්නවා. ජම්බු , ඇඹිල්ල, කාමරංගා, පේර අඹ මේ දවස් වල ගස් වල තියනවා.

ගෙවත්ත මැද ඔංචිල්ලාවක්, යකඩ උද්‍යාන පුටු සහ කොන්ක්‍රීට් වලින් තැනූ බංකු දාලා තියනවා අපිට වාඩි වෙලා කතා බහ කරමින් කෑම කන්න. මගේ පන්ති පැවැත්වෙන දින වල ඒ දරුවෝ මේ තැන් වල ඉදගෙන කතා කරන නිසා ඒ අවට ගස් වල පලදාව ඉහළයි. දරුවන් මගෙ පන්තියට ඇරලවලා අම්මලා මගෙ වත්තට වෙලා පුංචි පාටිත් දානවා සමහරදාට.

අද අපි ගෙවත්තේ වැඩ පටන් ගත්තේ උදේ හය හමාරට.

උදේ තේ බොන අතර අපි කතා වුනේ අද දවසේ කරන වැඩ ටික. ඒ වගේම අලුතින් පස් පුරවන දුඹුරු පාට ලොකු පෝච්චි වල මොනවද ඉන්දන පැළ කියලා. තීරණය වුනේ වම්බටු හිටවමු කියන එකයි. පැළ වලට වතුර දාලා හස්බන්ඩ් පොහොර පස්/ කොම්පෝස්ට් විල්බැරෝ එකක්ම පුරවාගෙන ආවා. එයා ඒව හලල ලොකු කැට ඉවත් කරල තමයි දාන්නෙ පාත්ති වලට සහ පොච්චි වලට. මම ඒ අතර ගියා උදේට උයලා කෑම ඇරලා බබාලව දහම් පාසල් අරින්න සූදානම් කරන්න.

මම නැවත වත්තට ගියේ හත හමාරට. බබාලව දහම් පාසලට පිටත් කරල ඉවර වෙලා. දවල් ආහාරයට එළවලු පලතුරු ගොඩක් එකතු කරගෙන පුංචි වැඩ ටිකකුත් කරලා අාවා.

මේ වෙද්දී අපේ ගෙවත්තේ පාත්ති බොහොමයක වල් ඉදිරිලා අලුතින් පැල සිටුවීමට සූදානමින්.

මම මේ ලිපිය ලියනකන්ම මගේ චූටිපුතා පාත්ති වල වැවිල තියන ඇඹුල් ඇඹිලිය කොළ කකා හිටියා.

ඇඹුල් ඇඹිලිය හරියට උදුපියලිය වගේ. වැවුනාම ලස්සන පලසක් එලුවා වගේ. කොළේ ලොකුයි. මහ ඇඹුල් ඇඹිලිය සහ හීන් ඇඹුල් ඇඹිලිය ලෙස වර්ග දෙකක් තියනවා.උද්හිද විද්‍ය නාමය Marsila minata.

මේ දෙකේ මල් පාට දෙකක්.

කොළවල අම්ල, පොටෑසියම් ඔක්සලේට් අඩංගුයි. විටමින් බී1, යකඩ සහ කැල්සියම් වලින් පිරිපුන්.

බොහෝම ගුණ අැති පලාවක් මේ. හිසරදයට ඇඹුල් ඇඹිලිය ඇල් දියෙන් අඹරලා ගෑවම සුව වෙනවා කියලා පොත් පත් වල සදහන් වෙනවා. කර ගැට වලට රතුලූණු සමග අඹරා ගාන්න කියනවා. ඉන්නන්ට, ගඩු වල⁣ට , ඉදිමුම් වලට පවා ගාන්න පුළුවන්. ⁣නින්ද නොයන අයට ඇස් වල විඩාවට මේ හැම දේටම එරඩු තෙල් එක්ක මිශ්‍ර කරලා රත් කරලා ගාන්න හොඳයි ලු.

ඇඹුල් ඇඹිලිය ගම්මිරිස් , ලුණු සහ පොල් එක්ක ගලේ අඹරලා හදන සම්බෝලය හරිම ගුණයි කියනවා. කෑම රුචිය වඩන හොඳ කෑමක්. මම මේ තොරතුරු හොයා ගත්තෙ “අපේ පළා කොළ ” ග්‍රන්ථයෙන්.

ඉතින් අද අපේ ගෙවතු වගාව ගැන හැඳින්වීමක් තමයි මම කළේ. ලබන කලාපයෙන් වැඩිදුර තොරතුරු අරන් ඔබ හමුවට එන බලාපොරොත්තුවෙන් අදට නවතිනවා.

මම කමණි සිරිවර්ධන

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *