කාන්තාවාදය

කාන්තාවාදය

කාන්තාවාදය

ස්ත්‍රී පුරුෂ සමාජීයභාවය පිළිබද කතිකාවෙහි හමුවන සුවිශේෂ මාතෘකාවකි කාන්තාවාදය. බටහිර සමාජය වෙතින් සමාජීය ව්‍යාපාරයක් ලෙස පැන නගින මෙය බොහෝ පාර්ශ්වයන් විසින් හඳුනා ගන්නේ රැඩිකල්වාදී අදහස් ගොන්නක් ලෙසිනි. නමුත් කාන්තාවාදයේ එකිනෙකින් පරස්පර මතවාදයන් ඇති බවත් ඒවාහි පසුබිම් කතාවත් බොහෝ දෙනා හරි හැටි නොදනිති. ලියාරා හරහා කාන්තාවාදය පිළිබඳ ලිපි පෙලක ආරම්භය මෙසේ සටහන් කරන්නේ කාන්තාව විසින් කාන්තාවන් උදෙසා පැන නැගි ලෝක මට්ටමේ කතිකාවන් පිළිබඳ අවබෝධය ලබා ගැනීම අත්‍යවශ්‍ය කටයුත්තක් සේ සලකමිනි.

01.කාන්තාව ගේ තත්වය ඓතිහාසිකව

කාන්තාවාදය යනු ඉතා පුළුල් මාතෘකාවකි. පුරුෂාධිපත්‍යය ට එරෙහිව හා කාන්තාවන් ආර්ථිකමය, සමාජමය, සංස්කෘතිකමය හා දේශපාලනමය වශයෙන් වෙනස් කොට සැලකීම වැලැක්වීම පිණිස කාන්තා හඬ අවදි කිරීමක් ලෙස ආරම්භ වන මෙය අද ඉතා සියුම් අනු කොටස් ඔස්සේ පෘථුලව අධ්‍යනය කෙරෙන බැරෑරුම් මාතෘකාවක් බවට පත්ව ඇත.

කාන්තාවාදී අදහස් වල ආරම්භය ෆ්‍රොටෝකාන්තාවාදය තෙක් දිව යයි. එය සිදුවන්නේ දහනම වන සියවසට ආසන්නව වන අතර කාන්තාවාදයට පසුබිම් වන කාරණා හඳුනා ගැනීම සඳහා පැරණි ලෝකයේ කාන්තාවගේ තත්වය විමසිය යුතුවේ. මිනිස් සමාජයේ මුල්ම අවධිය මාතෘ මූලික බවට විශ්වාස පළ වන අතර එසේ වන්නට ආසන්නතම හේතුව කාන්තාවගේ ගැබ් බර දැරීමේ හැකියාවයි. ජනගහනය කුඩා වන මුල් කාලීන මිනිස් කණ්ඩායම වර්ගයාගේ බෝවීම ගැන වැඩි අවධානය යොමු කළ අතර එකී කාර්යය ඉටු කරන කාන්තාවට නිතැතින්ම අද්විතීය ස්ථානයක් හිමි විය. මේ සමය කාන්තාව ඇයගේ බලය විදහා දැමීමකට වඩා දේවමය මාතෘත්වය  කාන්තාව වෙත පුදා ඇය පිදිය යුතු ගණයෙහි ලා සැලකීම ලෙස හඳුනා ගත හැකි විය. ඒ අනුව සමාජය මාතෘ මූලික වුවද එහි කාන්තාවගේ ක්‍රියාකාරීත්වය අල්ප විය.

ජනගහනය යම් ස්ථාවරත්වයකට පැමිණි පසු ආර්ථිකය ප්‍රධාන කාර්යය වූ අතර දරුවන්ගේ හා නිවසේ කටයුතු හේතුවෙන් කාන්තාව ආර්ථික උත්පාදන කාර්යයෙන් බැහැර විය. පුරුෂයා මෙම කාර්යෙයහි අද්විතීයත්වයට පත් වූ අතර එනිසාම ඔහු ගේ භූමිකාව සමාජ කාර්යයේදී බලවත් විය. සමාජය පුරුෂාධිපත්‍යය ට නතු වන්නේ එහි ප්‍රතිඵලක් ලෙසිනි.එනිසා ගෘහයට කොටු වූ කාන්තාව පුරුෂයා යටතේ පෝෂණය වීමත්, අඩු සමාජ වපසරියත් නිසා සමාජීය,සංස්කෘතික කාර්යයන්හි කාන්තාව කිසිදු අවදානයකට ලක් නොවන නොවැදගත් මිනිස් ජීවියෙක් බවට පත් විය.

පුරාතන ශිෂ්ටාචාර අධ්‍යනය කිරීමෙන් ද කාන්තාව ගේ තත්වය පිළිබඳ තොරතුරු අනාවරණය කර ගත හැක. නූතන විද්‍යාත්මක ලෝකයට පසුබිම සැකසූ ග්‍රීක රෝම යුගයන්හි කාන්තාව ලඳරුවෙකුටත් වඩා අඩු බුද්ධියක් සහිත කෙනෙක් ලෙස සලකන ලදී. එනිසාම මෙම බුද්ධි හීන පිරිසගෙන් දරුවන් වැදීම හැදීම හා ඉවුම් පිහුම් හැර සමාජ දේශපාලන කාර්යයන්ට අතපෙවීම කිසි ලෙසකවත් අපේක්ෂා නොවීය. රෝම යුගය කාන්තාවක විවාහ වීමට සුදුසු වයස ලෙස සලකන ලද්දේ අවුරුදු දොලහයි. ග්‍රීකයන් කාන්තාව සලකන ලද්දේ ද බුද්ධි හීනයන් සේ වන අතර ඡන්ද අයිතිය, දේපල හිමිකම ඇයට දැරිය නොහැකි විය. ගෘහස්තව වාසය කිරීම ඇයට නියමිත කාර්යය විය.

නමුත් එම සමාජ විෂයයෙහි බලපැවැත්වූ ආගමික මතවාද අතර කාන්තාවන් ගේ චරිතය ප්‍රකාශ කර තිබීම මෙයින් පරස්පර විරෝධී වේ. බුද්ධියට හා ඥානයට අධිපති වූයේ ඇතීනා නම් දෙවඟනකි. ආතෙමිස් දඩයම හා පරිසරය සම්බන්ධව ප්‍රචලිත වූවාය. පුරුෂත්ව ලක්ෂණ ඇගෙන් විද්‍යාමාන විය. හේරා, සියුස් ගේ බිරිඳ ලෙස සියලු දෙවියන් අතර අගමෙහෙසිය ලෙස බලවත් වූවාය. නෙමෙසිස් යුක්තිය සාධාරණත්වය හා දඩුවම වෙනුවෙන් කැප වූවාය. මේ සියලු දේවතාවියන් කාන්තාවන් පිළිබඳ සම අයිතියක්, බලවත් බවක් ඇඟවූවද සැබෑ මිනිස් ලෝකයෙහි කාන්තාව ගේ තත්වය ඉතා පසුගාමී විය. 

බටහිර ශිෂ්ටාචාරයන්හි යම් පමණකට හෝ කාන්තාවගේ තත්වය යහපත්ව පැවතියේ පැරණි ඊජිප්තු සමාජයෙහි බව හඳුනා ගත හැකි විය. ඇයට නිවෙසින් පිටත රැකියා කල හැකි වූ අතර පුරුෂයා හා එක්ව නිවසේ ආර්ථිකයට උරදිය හැකි විය. ඊජිප්තියානු කාන්තාවට අධ්‍යාපන අවස්ථා ද හිමි විය. රාජ්‍යත්වයට පත් වූ බලවත් කාන්තාවන්ද රැසකි. ක්ලියෝපැට්රා පිළිබඳ ලෝකයම අසා ඇත. ඉහළ සමාජ ස්ථරයෙහි කාන්තාව එසේ වූ නමුත් පැරණි ලෝකයෙහි පුරුෂාධිපත්‍යය බලපැවති අන්දමටම ගෘහීය කාර්යන්, දරුවන් පෝෂණය, විවාහය ආදියෙහි පුරුෂයාට යටත්ව සීමාවන් දැරීමට සාමාන්‍ය ඊජිප්තියානු කාන්තාවට සිදු විය.

නමුත් පෙරදිග ලෝකයෙහි කාන්තාව ගේ තත්වය මෙයින් වෙනස් වූ බවක් දිස්වේ. පුරාණ ඉන්දියාවේ වෛදික යුගය කාන්තාව පිරිමින් හා සමතැන ඉසිලූ සමයක් ලෙස ඉතිහාසඥයන් පෙන්වා දෙයි. සෘග් වේදයට අනුව කාන්තාවට පරිණත අවධිය තෙක් විවාහය කල් දැමිය හැකි විය. එමෙන්ම ස්වයංවරයෙන් ඇයට රිසි පරිදි විවාහයට පුරුෂයෙකු තෝරා ගත හැකි විය. ගාන්ධර්ව විවාහය යනු රීති සම්මතයන් හෝ පවුල් බලපෑමෙන් තොරව හුදෙක් දෙදෙනෙකුගේ කැමැත්ත පරිදි එක්විය හැකි විවාහ ක්‍රමයක් විය. දුෂ්‍යන්ත හා ශකුන්තලා ප්‍රේම වෘතාන්තය එවැනි එකකි. ගුප්ත අවධියෙහි කාන්තාවට පරිපාලන කටයුතු වලට සම්බන්ධ විමට අවස්ථාව හිමි විය. පළමු චන්ද්‍රගුප්ත රජු සිය බිසව කුමාර දේවී  හා සහයෝගීව ගුප්ත රාජ්‍ය පාලනය කල බව කියවේ. එමෙන්ම දෙවන චන්ද්‍රගුප්ත රජුගේ දියණී ප්‍රභාවතී ගුප්ත ද රාජ්‍ය පාලනය දැරූ කාන්තාවකි. මහාභාරතය හා රාමායණය සඳහන් කරන කාලය වන විටි ඉන්දියානු කාන්තාවගේ තත්වය පවිත්‍රත්වය පිළිඹිබු කරන සංකේතයක් බවට පත් වූ අතර ඇය ගෘහීය කාර්යයන් වෙත තල්ලු විය. ඉන් පසු එළඹෙන පුරාණ ධර්ම ශාස්ත්‍ර අවදියෙහි ඇයගේ තත්වය ඉතා සීමාවකට ලක් කෙරුණි.

එම අවධියෙහි බ්‍රහ්මණ, ක්ෂත්‍රීය, වෛෂවණ හා ශුද්‍ර ලෙස සමාජය බලය හා පිළිගැනීම අනුව ස්ථරගත විය. මෙයින් කාන්තාව ගේ තත්වය  ද ඉතා සීමාන්තික වූ අතර පහළ කුල කාන්තාවගේ ජීවිතය ඉතා දුක්ඛදායක කෙරුණි. මනු නම් අර්ථශාස්ත්‍රඥයා කාන්තාව තම දිවි ඇති තෙක්ම පුරුෂ පාලනය යටතේ සිටිය යුතු බව පීතෘ, සොහොයුරු, ස්වාමි හා පුත්‍ර යන සමීප වර්ගයා ඇසුරෙන් පෙන්වා දෙයි. සති පූජා සඳහා කාන්තාවට බලපෑම් කෙරුණේද මේ සමයෙනි. සැමියා බිරිඳගේ දෙවියා ලෙස සැලකිය යුතු වූ අතර වැන්ඳඹු බිරියකට විවාහ විය නොහැක. ඇය සිය ජීවිතය ස්වාමියාගේ චිතකය මතට පැන අවසන් කල යුත්තේය. දැරියන් අධ්‍යාපනයෙන් බැහැර විය. ඒ වෙනුවට ගෘහ කාර්යයන් හා ස්වාමි, පුත්‍ර සේවාවන් මනාව උගත යුතු විය.

බුදු දහමින් පෝෂණය කෙරුණු ලාංකික කාන්තාවගේ තත්වය ඉන්දියානු හින්දු කාන්තාවගේ තත්වයට වඩා යහපත් වුව ද පැරණි ශ්‍රී ලංකා සමාජය අධ්‍යනයේදී කාන්තා උගතුන් ගැන සදහන් නොවේ.

“පෙකනිය නොදක්වා

සළු ඇඳ බොලට දක්වා

නොපව තන සක්වා

සිනා නොමසෙන් දසන් දක්වා”

යැයි කාව්‍යශේඛරය පවසන අදහසම සිංහල බෞද්ධ සමාජයෙහි කාන්තාවගේ තත්වය පැහැදිලි කරයි. රාජ්‍ය පාලනය සඳහා කාන්තා සහභාගීත්වය සඳහන් වුව ද ඒවා පරම්පරා උරුමය, කුමන්ත්‍රණ, ආවාහ විවාහ යන කාරණා මත පදනම් වූවා මිස ශක්තිමත් ස්වාධීන පාලනයන් නොවීය. මෙරටෙහි කාන්තාව ගේ තත්වයද ගෘහීයව සීමාව පැවතුනැයි උපකල්පනය කල හැක.

අතීත කාලීන ලෝකයෙහි කාන්තාව ගේ තත්වය මීට වෙනස් වූයේ යම් විශේෂිත ගෝත්‍රික සමාජයන් ඇසුරෙහි පමණි. 1935 හි සැමෝවා දූපත් අධ්‍යනය කරමින් ඇමරිකානු ජාතික මානව විද්‍යාඥවරියක් වූ මාග්‍රට් මීඩ් ට්චාම්බුලි, මුන්ඩුගුමාර්, අරාපේශ් යන දූපත් වාසීන් ඇසුරෙහි ස්ත්‍රී පුරුෂ සමාජීයභාවයෙහි ආදී සමාජීය විවිධතා පෙන්වා දී ඇත. මෙයින් අරාපේශ් ගැහැණු පිරිමි දෙපාර්ශ්වයම සාමකාමී වූහ. මුන්ඩුගුමාර්වරු ගැහැණු පිරිමි දෙපාර්ශ්වයම යුධකාමී විය. ට්චාම්බුලිවරුන් අතර පිරිමින් දරුවන් බලා ගනිමින්, අමුත්තන් ඉදිරියේ ලැජ්ඡාශීලී වෙමින් ගෘහ කටයුතු කරද්දී ගැහැණුන් නිවසින් පිටත ආර්ථික, දේශපාලන කටයුතු වල මූලිකත්වය ගත්හ. මෙම විශේෂිත හෙලිදරව්ව එතෙක් සමස්ත ලෝකයම දැන සිටි ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ විශ්වීය මතවාදයට පහර එල්ල කල අතර විසි වන සියවසේ කාන්තාවන් සීමාවකට ලක් වීම ඇයට වන අසාධාරණයකිය යන මැයෙන් පැන නගින කාන්තාවාදී අදහස් පෝෂණය කිරීමටද හේතු විය.

ලබන කලාපයට –

කාන්තාවාදය බිහි වීමේ පසුබිම

සජිනි උයන්ගොඩ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *