කොරටුව

කොරටුව


ගම ස්වර්ගය වැන්න. ගමෙන් ඈත්ව ගිය වර්තමානය පුන පුනා පවසන්නේ ඒ කතාවමය. පරිසරය හා ලබැඳිව ගහකොළ ඇසුරෙහි ගෙවුණ ඒ කාලය අදටත් මගේ සිතෙහි චමත්කාරය වඩවන්නේය. ලිවීම විනෝදයක් බවට පත් කලේ ගම පිළිබඳ මතකයන් අකුරු කිරීමෙනි. ලියාරා මේ කලාපයේ සිට පිළිවෙලින් ගම හා සම්මුඛ වන දෑ පිළිවෙලින් අකුරු කරවීමට අදහස් කරමි. මේ ඒ ලිපි මාලාවේ පළමු වන මතකයයි.

01.  කොරටුව

ආච්චී, යන්තම් හිරු රැස් පොළොවට පතිත වන තැන කොරටුව බලා යන්නීය. යලිත් හිරු අවරගට යන හවස් කල ද ඈ සොයා ගත හැක්කේ එහිම පමණි. කුඩා කල වුවත් අපට හිතුනේ ඈ ඒ බිම්කඩෙහි පස් යට වටිනා යමක් සඟවා ඇතැයි කියාය. මහගෙදර වත්තේ එතරම් වැදගත් කමක් එහි විය. කොරටුව හැදුනේ මහගෙදරට පිටුපසින් ලිඳ පැත්තට වෙන්නට පිවිසුම ඇතිවය. එහි කෙලවර මහගෙදර ඉදිරිපස සීමාවෙහි ඇළට යාබද විය. ළිදෙන් බැහැරට යන ජලය පහළ බිමෙහි කොහිල යාය පසුකර කුඩා කාණු දිගේ කොරටුව හරහා ඇළ බලා යන්නේය.

කාණුව මතින් පැන යන්නට ඒ මත කපා හෙලු පුවක් කොටයකි. කුඩා වුන් සමයේ ඒ කාණුව මත පුවක් කොටය පෙනුනේ මහා ගස් දෙකක් අතරෙහි බැඳි අතුරේ යාමක් තරම් ගැඹුරටයි. ආච්චී පසුපස කුකුළු පැටවු රෑන මෙන් කුඩා උන් වූ අප ඇදෙන්නේ උදෑසන, හවස තේවාවකට සම වැදෙනවා මෙන් භක්තිමත්වය. කන බොන දේ වැවෙන තැන තැන ගැන ඒ තරම් හැඟීමක් ඈ අපට දුන්නාය. කොරටුවෙහි අපි එකිනෙකාගේ වයසට සමපාත වන ලෙස වෙන් කෙරුණු පාත්ති කිහිපයකි.

කොරටුව වටා කුඩා දිය අගලකි. වැටක් නැති එයට ආරක්ෂාව සැපයුනේ තරමක් ගැඹුරට කැපූ මඩ වලින් ගහණ ඒ දිය අගලෙනි. ඇරැත් කොරටුවට පැන එහි භවබෝග නෙලා ගන්නට තරම් නිහීනයන් ගමෙහි නොවීය. යන්තම් පය ගසා ගන්නට හැකි ලෙස වෙන් කෙරුණු  ඇවිදින මං අතරින් වෙන් කෙරුණු පාත්ති වල මුගුණුවැන්න, මිරිස්, බටු, ගොටුකොළ ආදී භෝග වර්ග විය. මා සතු වූයේ කුඩා මුකුණුවැන්න පාත්තියකි. භෝග සදහා අහර ලෙස දිය අගලෙන් ගත් ජලයත්, කිරි හරකුන් නොමිලේ සැපයූ ගොමත් මූලික විය. ඊට අමතරව ඵලදාව වැඩි කරන්නට ආච්චී යෙදූ උපක්‍රම මොනවාදැයි දැන් මතකයේ නැත. නමුත් රසායනික පොහොර වර්ග නම් එහි කිසිදා භාවිත නොවූ බව සපථ කර කිව හැක. භෝග වලට වසනා කෘමීන් ගෙන් මිදීමට අලු හුණු යෙදූ අයුරු මතකයේ ඇත.

නිවසේ කෑමට රැගෙන ඉතිරි වන ඵලදාවට වත්ත පිටියෙන් සොයා ගත් ගස්ලබු, පේර, දොඩම්, වෙරලු ද එක් කර ආච්චී ගේ පිටුපස කන්ද නැග කොක්මාදුව පොළට රැගෙන යන්නීය. එහි වෙළෙන්දෙකුට සියල්ල විකුණන ඈ කුඩා අපේ මහන්සිය පිණිස තෑගි රැගෙන එන්නීය. වරෙක මට ලැබුණේ සෙල්ලම් වලං කට්ටලයකි. ආච්චීගෙන් ඉල්ලා ගත් සහල් ස්වල්පයක් සෝදා ගරා මිදුලේ කුඩා ලිපක් බැඳ ගිනි දල්වා සැබෑවටම බත් ඉව්වෙමු.

කොරටුව වටා දිය අඟලෙහි ආරක්ෂාව ඇතත් නොදන්වාම එන අමුත්තෝද බොහොමයකි. පස හාරන තැනක් පාසා ගැඩිවිලන්ය. රිදී පාට ඉරක් යන මග හලමින් යන ගොලු බෙල්ලන්ය. දුටු විටත් හිරිකිත සිතෙන කටුව නැති හංගොල්ලන්ය. ඇතැම් බෝගයක තද කොළ පැහැති මස්ගුලි වැනි පණුවන්ය. ඇස් දෙකට දකින ඒ අමුත්තන් හැර රෑට රෑට එන ඉත්තෑවන්  ද, ගැඩිවිලන් සොයා බිම හාරන තලගොයන් ද ආච්චී ගේ කෝපය අවුස්සන්නේය. ඉතිං අපේ වගාවට හානි කරන උන් හා අප ද තරහ වෙන්නෙමු. නමුත් කිසිදා කිසිම සතෙකුට වාචිකව මිස කායිකව හිංසාවක් අප අතින් නොවුණි. මේ සියල්ලන් පරිසරයේ තුලනය සඳහා උවමනා බැව් ආච්චී ද නිහඬවම අප හට නොකියා කියා දුන්නාය.

කොරටුව ඇතුලු වත්ත පිටියෙන් ලැබෙන එළවළු පළතුරු ඵලදාවත්, කුඹුරෙන් ලැඵෙන සහලුත්, එළදෙනගෙන් දොවන එළ කිරිත්, මීයක් කැඩූ, කිතුලක් මැදි කිසිවෙකු දෙන මී පැණි හා කිතුල් පැණිත් ඇති විටෙක කඩෙන් ගන්නට තිබුණේ බොහොම සීමිත අවශ්‍යතා කිහිපයකි. නිවෙස අවට වටපිටාව එතරම්ම සරුසාරව තිබූ බව එදා කිසිකලෙකත් නොතේරුන ද සියල්ලම මුදලට ගන්න සිදුවන අද දවසේ ගම හා එහි වටපිටාව කොතරම් දේ දුන්නේදැයි අවබෝධ වන්නේය.

සජිනි උයන්ගොඩ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *