ටිපීගේ සමයං

ටිපීගේ සමයං


ටිපී යනු මගේ පුතුය. ලංකාවෙන් බොහෝ දුර යුරෝපයේ ඉපදී හැදී වැඩෙන ඔහුගේ දඟ කම් ටිපීගේ සමයං ලෙසින් මෙසේ අකුරු කෙරේ.

මුලින්ම මා කිවයුතු දෙයක් ඇත. සෑම සියළු දරුවෙක්ම එක වගේ නැත. දරුවන්ගේ හැසිරීම් එකිනෙකාට වෙනස් ය. ඒ වාගේම දරුවන්ගේ ක්‍රියාකාරකම් දෙස බලා ඒවාට වැඩිහිටියන් දක්වන්නාවූ ප්‍රතිචාරද වෙනස් ය. මා මවක ලෙස මගේ දරුවා ගැන සිතන්නේ ඔහු දරුවෙකු ලෙස මිස කුඩා වැඩිහිටියෙකු ලෙස නොවේය. එනිසා මා මගේ දරුවාට දක්වන ප්‍රතිචාරය ඔබ ඔබේ දරුවාට දක්වන ප්‍රතිචාරයන්ට වඩා වෙනස් විය හැකිය. මේ කතා මාලාව කියවන පාඨක ඔබෙන් එක් දෙයක් ඉල්ලමි.  මේ කතා මාලාව කියවා රස විඳින්න. ගත හැකි යමක් වේ නම් ගන්න, එසේ නොමැති දෑ අත් හරින්න , එහෙත් මගේ දරුවාව විවේචනය නොකරන්න. මන්ද මම කතාව අකුරු කරන්නේ එය කියවන ඔබට රස විඳින්නට හැකි ලෙසට බැවිනි.

ටිපී මහතා හා පිහිණුම් සමයම !

ටිපී මහතාට කාලෙන් කාලෙට එක එක සමයං බෝවන්නේය. එතුමා කොහොමත් එක විදියක නාඩගං කාරයෙකු වන අතර එතුමාගේ නාඩගං , සමයං ටිපී මව පයිසෙකට වත් ගණං ගන්නේත් නැත. එහෙත් මවගෙන් බැරිනම් පියාගෙන් හෝ ඒ නොමැති නම් මිත්තණියගෙන් හෝ , එසේත් නොමැතිනම් ඉදිරිපස නිවසේ නොන්නා (ඉතාලි භාශාවෙන් ආච්චි යන්නට සමාන වචනයකි )මහත්මියගෙන් හෝ තම අභිප්‍රාය ඉටුකරවා ගැනීම ටිපී මහතාගේ සාමාන්‍ය ස්වභාවය ය. එතුමා මෙසේ නිවසට රැගෙන එන සමයං බොහෝමයක් එහා ගෙදර නිකොලෝ මහතාගේ ගේ සමයං ය. ටිපී මහතාට වඩා අවු. 5 ක් වැඩිමල් ඔහු කරනා කියනා සියල්ලම ටිපී මහතාටත් කරන්නට ඕනෑ වන්නේය.

ඒ අනුව නිකොලෝ මහතා මාර්ශල් ආර්ට්ස් කරන්නේ නම් ටිපී මහතාටද එය කරන්නට ඕනෑය. නීකෝ බයිසිකල් පදින්නේනම් ටිපී ද තම බයිසිකලය ගෙන ඔහු පස්සේ වැටෙන්නේය. නීකො බෝල ගහන්නේ නම් ටිපීද බෝල ගහන්නේය. කොටින්ම නීකෝ කරන හැම අටමගලම ටිපී ද කරන්නට අර අදින්නේය.

මින් දින කීපයකට පෙර ටිපී මහතා නිකොලෝ හා ළමා උද්‍යානය මැද බර සාකච්ඡාවක නිරතවී සිටිනු ටිපී මහතාගේ මව දුටුවාය. ඒ සාකච්ඡාව තම පසුම්බියට එතරම් සුභ නොවිය යුතු වග ඈට ඉවෙන් මෙන් දැනුන අතර ඒ ඔස්සේ මනස වෙහෙසවීම නිශ්ඵල බැවින් එතුමිය වෙන මවක හා කතාවක් දමාගෙන සිටියාය. එහෙත් තම පුත්‍රයා වෙතම දෑස රඳවාගෙන සිටියාය. ඒ අනුව ටිපී මහතා නිකොලෝගෙන් මිදී වෙන ළමයින් සමඟ බෝල ගසනුත් , ඊගාවට ඔංචිල්ලාවට නැග එය කරකවමින් සිටිනුත් , තවත් මොහොතකින් තණ ගොල්ලේ ඔලුවෙන් හිටන් සිටිනුත් දුටු අතර ඊගාවට ඇගේ නෙතට හසු වූයේ පුංචන් හුරුබුහුටි කෙල්ලක හා බර කතාවක නිරතව සිටින අයුරුත් ය.

මෙසේ වරුවක් ළමා උද්‍යානයේ ගතකල ටිපී මහතා බොහෝ සේ හෙම්බත් වී තම මව අසලට විත් , අම්මේහ්හ් දැන් යං ගෙදර , යැයි පැවසූ අතර මවද එකෙනෙහිම ඊට සූදානම් වූයේ ටිපී මහතාගේ තීරණ වෙනස් වීමට ගතවන කාලය තත්පරයෙන් පංගුවක් නිසාය. තම පුංචන් දෑස එහෙ මෙහෙ කරනා අතර තම මිතුරෙකු යලි ඇස ගැටුනේ නම් ආහපු වරුවක් නටනවා මිස නිවසට යෑමක් වන්නේ නැත. ඒ ගැන බොහෝ අත්දැකීම් සහිත ටිපී මා පියෝ යං අම්මේහ්හ් කී ගමන්ම නිවසට රැඟෙන යන්නේ නොඑසේනම් යලි වරුවකට වත් යෑමක් නොමැති නිසාය.

නිවසට පැමිණි වහාම ටිපී මහතා තමන්ට ජබුං බුකුං ( නෑමට) ගැසීමට අවශ්‍ය බව පැවසූ අතර ඒ සඳහා මද උණුසුම් ජලයෙන් ටිපී මහතාගේ මව නාන ඔරුව පිරෙවුවාය. වෙනදාට උපන් ඇඳුමෙන් නාන ඔරුවට බසින ටිපී මහතාට එදින පිහිණුම් ඇඳුම් අවශ්‍ය වූ අතර ඔහුට ඕනෑ සමයමක් කරගන්නට මව ඉඩ හැරියාය. මොහොතකින් නාන ඇඳුමෙන් සැරසී දිය යටදී  භාවිතා කරන කණ්නාඩි දෙකකුත් දමාගෙන බටේකුත් කටේ ගසාගෙන මළ විකාරයක් සේ නානකාමරයට පැමිනි ටිපී මහතා අම්මේ පොඩ්ඩක් එහාට්ට වෙන්න යැයි කියා නාන ඔරුව ඉදිරියේ අතක් ඉස්සාගෙන ,

අශ්ලා කිශ්ලා බුශ්ලා ශිහ්හ්

ශිශ්ලා අශ්ලා බුශ්ලා ශිහ්හ්..

මේ ටබ් එක පූල් එකක් වේවා !!

ඒස්වාහ්හ් හහ්හ් !!!    කීය.

මේ මොන විකාරයක්ද? කණ්නාඩි දාගෙන , බට කටේ ගහගෙන , ස්විමින්ග් කැප් දාගෙන , මොන විකාරයක් ද පුතා මේහ් ? මොනාද මතුරන්නේ ? නාන්නැතුව මොන සමයමක් කරනවද ? යි ඇසූ අතර ඊට තම පිළිතුර ටිපී මහතා මෙසේ ලබා දුන්නේය.

දැන් අම්මේ , නිකොලො මේ වෙලාවෙ ඉන්නෙ ස්විමින්ග් පූල් එකේ. එයා දැන් හොඳට ස්විමින්ග් කරනව ඇති. මං ගෙදරනෙ. ඉතින් මේ ටබ් එක පූල් එකක් වෙනව මම මතුරල ඉවර වුනාම. නෑ මං කියන්නේ මං එහෙම හිතාගන්නව, ඔයා බයවෙන්නෙපා ඇත්තටම මේ මන්තර ඇත්ත වෙලා ගේ කැඩිලා පූල් මතුවෙන්නෑ. ඉරිදට පපා එක්ක පූල් එකට යනකල් මේ ඇති මට. නිකොලෝ පූල් එකේ ඉන්න අතරෙ මම විතරක් ටබ් එකේ ඉන්න එක හරි නෑ අම්මේ. දැන් මගෙ හිතට හොඳයි නෙ මෙහෙම.

සිය පුතුගේ පුංචන් හිත වටහාගත් ටිපී මහතාගේ මව , ආ එහෙම ශෝක් නෙ , ඔයා එහෙනම් පූල් එකේ සෙල්ලම් කරන්නකො , මම ඔයාට පූල් එකෙන් ගොඩ ආහම කන්න ජාති හදන්නම් කො කියමින් එතැනින් නික්ම ගියාය.

ප්‍රභානි තෙන්නකෝන්

Please follow and like us:

1 Comment

  1. හරිම ආසාවෙන් කියවුවා. මට තවම ටිපීගේ සමයං පොත ගන්න බැරි වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *