නුඹ ගැන ඉතිරි උන…………

නුඹ ගැන ඉතිරි උන…………

“නුඹ ගැන ඉතිරි උන,

මිහිරිම මතක ඇත,

ගංඟාවේ මේ මෙතන,

තියුණුම නැම්ම ළඟ….”

“වෙනදා වාගේම අදත් මම පිය මැන්නේ නුඹයි මමයි ආදරයෙන් උන්නු දවස් හැමදාම වගේ මුණ ගැසුනු….. අන්තීම වතාවටත්  මම නුඹව දැකපු ගං ඉවුරට…

ආදරය කරන හැම දෙනාටම වගේ අපිටත් තිබුණේ උමතුවෙන් වගේ ආදරය කරපු කාලයක්…..

ඒ දවස් වල අපි මුණ ගැහුනේම කුඹුක් ගස් වලින් හෙවන දුන්න ගඟේ වැළමිටි නැම්ම ළඟ….. ගඟේ රැළි සුළි නැගෙන දිය පාර සැඩම තැන ගල් පර වල හැපී කිරි පාට පෙන නගින , ඇත්තටම නුඹ විතරක්ම නොව මමත් අදටත් ගඟේ ආසම තැන එතන….. මේ මෙතැන ඇත්තෙන්ම ගඟ ගලන මානය සපුරාම වෙනස් වන තැන….. මුණ ගැසුනු හැමදාම නුඹ ආදරෙයි කියූ තැන…. ලෝකයට ඇසෙන්නට දෑත් විහිදා ආදරෙයි කියූ තැන……සැඩ පහර සැඩ වැඩි කමටම නුඹේ වදන් කාටවත් නොඇසුනු තැන…

නුඹට යන්නට උවමනා බව මට පමණක්ම ඇසෙන්නට කිවු තැන… එය ලොවට ඇසෙන්නට ගඟ සෙමින් ගැලූවද…. සැඩ සුළඟ නුඹේ හඬ අරන් දුර ගියපු තැන…..

කිසිම වෙනසක් නැතිව ඒ දවස් වල වගෙම අදටත් පුංචි කහ මලින් ගඟ වැසෙන තැන….. කාලයත් සමඟින් රළු කැපුම් ඔප වැටී  දිලෙන නෙක පැහැ පුංචි බොරළු කැට වැඩි පුරම රොක් උන තැන…

අතොරක් නැතිව පෙම් බස් දොඩන පෙම්වතුන් අදත් පිය මනින තැන…

ලොවට ඇසෙන්නට සැඩ පහර හඬ පරදවමින් උනුත් ආදරෙයි කියනා තැන…

අමතකව ගිය මතක කොහේ හෝ තියෙන තැන…. ආදරේ හැමෝටම සමරුවක් රැඳුණු තැන….

මම ගඟේ වැඩි පුරම කැමති මේ නැම්ම ළඟ… වැටී විසිරී තියෙන මගෙ මතක අහුලන්න…..”

ආදරය කියන්නේම මතකයක් ඇවිස්සීමක්….. හිත රිදෙන මතක… හිත සනසවන මතක….ඇත්තටම සමරු ගොන්නක්….. දෑත් පටලන් ඇවිද ගිය තැන්…. කණට මුමුණා දෙඩූ රස බස්…. , ලස්සනම ඉමිහිරිම සමහර වෙලාවට අමිහිරිම සමරුවක් ඇති කාගේම හෝ ආදරයක…..

මගේ ආදරය ඔබට ඔබේ ආදරය සිහිපත් කරවන්නට ඉඩ ඇතුවා මෙන්ම ඔබේ හෝ අන් කවරෙකුගේම හෝ ආදරයක් මගේ සෙනෙහසේ සංධිස්ථානයක මතකයකට මාව රැගෙන යනවා විය හැක….

රස තැන් යස තැන්… වාගේම තිත්ත තැන් ඒ මතකයන් අතර තිබෙන්නට පුළුවන…..

අතැර ගියවුන්…. අතැර යනවුන්… ඒ හැරෙන්නට අමාරුම කාලවල ආදරේ දුන්නවුන්ද ඔය මතක වල හිඳින්නට හැක…..

තේරුම් ගතයුතු සරළ කරුණකි… අතීතය නැවත නැවතත් සිදුවේ… ඔබ එය ඔබ තුළින් ම හෝ තවකෙකු තුළින් දකිනු ඇත…. ඉතින් ඔබ ඉදිරියේ ප්‍රතිනිරූපනය වන ඒ මතක හමුවේ ඔබට සැනසෙන්නට හෝ ළතැවෙන්නට හෝ අත්හරින්නට පුළුවන…. තේරීම ඔබ අතේය…

අතීතය යනු සිදුව අවසන් ඇති දේය…. නමුත් මෙලොව වසනා බිලියන හතක ජීවිත වල ආදර කතාවන් වර්ග බිලියන හතක් නැත්තේය…. අතීතය පුනර්ජනනය වන්නේද එබැවිනි……. හමුවීම් වෙන්වීම් හමුවේ අතීතයේ පටන් ආදරය ගලා ආවේය…. ඉතිහාසගත වූ පෙම් පුවත් බොහෝමයක හිත හිරිවට්ටන වෙන් වීම් හෝ වේදනාත්මක සිහිවටන පවත්නේය…

රෝමියෝ ජුලියට්, විජය කුවණ්ණා , මුම්ටාස් සාජහාන් නොමැකෙන සටහන් තැබූ එවැනි ආදර කතාවන්ය…

එය වත්මනේ මෙන්ම අනාගතයටද එලෙසින්ම ගලාගෙන යනු ඇත….

අහිමි වී ගිය දෑට වෙෙර කරන්නේ නම් ඔබේ සිතින් ආදරය දිරා යනු ඇත…. අහිමි වූ දෑ වෙනුවෙන් ඔබ නතර වන්නේ නම් ඔබ මේ විශ්වයේ රීතීන්ට එරෙහිව යන්නට උත්සාහ දරා අවසනදී පරාජය වනු ඇත….. විශ්වයේ පැවැත්ම ආදරය වන්නේ යම් සේද විශ්වයේ රීතිය වන්නේ නොනැවතී ගලා යාමයි….

ඔබට ආදරයෙන් නොබැඳී සිටින්නට නොහැකි වනු ඇත…

ඉතින් ආදරය ඇත්තේ බෙදා දෙන්නටය…. දිනන්නට හෝ පරාදවන්නට ඔබත් ආදරය කරනු ඇත…

ආදරය ඇත්තේ ඇසින් දැක සිතින් විඳ සෙනෙහසින් ස්පර්ශ කර සැනසෙන්නටය….

වියළුනු ජීවිත මල් උයනට වසන්තය රැගෙන එන්නටය… ගොළුවැ ගිය සියොතුන්ගේ තුඩග කූජනය පටලවන්නය…. ජීවිතයේ සීතල අඳුරු අහුමුලු වලට රිදී පැහැ ආලෝකයෙන් උණුහුම ගෙනෙන්නට ය…

ඔව්……ආදරය කියන්නේම එහෙම හැඟීමකටය…

සචින්තා ලයානි

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *