සම්පූර්ණ පාද සත්කාරයක්

සම්පූර්ණ පාද සත්කාරයක්

කලින් ලිපියක අපි කතා කළා මොනවද අපි අපේ කකුල් පිරිසිදුව ලස්සනට තියාගන්න අනුගමනය කළ යුතු දේවල් කියලා. මම හිතන්නේ ඒ ලිපිය කියවපු ගොඩක් අය මෙච්චර කල් නොබලපු එයාලගේ කකුල් දිහා ආදරෙන් බලන්න පටන් ගත්තා. සමහරු පටන් අරගෙන තියෙනවා කකුල් දෙකට සත්කාර කරන්න. මාසයක් ඒ විදිහට කරල බලන්නකෝ ලොකු වෙනසක් ඔයාගේ කකුල් වල පෙනුමේ දැක ගන්න පුළුවන් වේවි….හොඳ පැත්තට. ඉතින් ඒ ලිපිය කියවලා ලොකු දැනුමක් තියෙන වෙලාවේ අපි දැන් බලමු නිවැරදිව පෙඩිකියෝ එකක් කර ගන්නේ කොහොමද කියලා . මේ විදිහට කරන කකුල් පිරිසුදු කිරීමක් සාමාන්‍යයෙන් සති තුනකට සැරයක් වගේ කරගත්තම ඇති. මම මේ කියන්නෙ මම කරන පිලිවෙල . වෙනත් පිළිවෙලවල් තියෙන්න පුළුවන්. පින්තූර සහ වීඩියෝ අන්තර්ජාලය අනුග්‍රහයෙන් බව කරුණාවෙන් සලකන්න  

මුලින්ම බේසමක් අරගෙන ඒකට වතුර පුරවන්න. වඩා හොඳයි උණුසුම් ජලය. හැබැයි කකුල පිච්චෙන තරමට නම් නෙමෙයි .

ඒකට ඩෙටොල් සහ ඔයා එදිනෙදා පාවිච්චියට ගන්න ෂැම්පූ දාලා හොඳින් කලවම් කරන්න. මේකට ඔයාලා ළඟ තියෙනවා නම් essential oils බිංදු කීපයක් (pepermint , tea tree or lemon ) එකතු කරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.

ඉන් පස්සේ ඔයාගේ කකුල් දෙක මිනිත්තු දහයක් ඒකෙ දාගෙන ඉන්න. මෙහෙම කකුල් ඒකෙන් පෙගෙව්වාම මැරුණු සම සහ කියුටිකල් වගේ දේවල් බුරුල් වෙන නිසා ඉවත් කරන්න හරිම පහසුයි . ඒ වගේම මේ නිසා ලොකු මානසික සහනයකුත් ලැබෙනවා.

ඉන්පස්සෙ කකුල් එලියට අරගෙන nail polish ගාපුවා තියනවනම් nail polish remover ලොකු පුලුන් කෑල්ලකට අරගෙන නියපොත්තට තියලා රවුමට රවුමට පිරිමදිමින් ඉවත් කරගන්න. වතුරට දාගෙන හිටපු නිසා nail polish ඉවත් කරන්න පහසුවක් දැනේවි.

ඉන්පස්සෙ කකුලේ තෙත තියෙද්දිම ඔයාට පුලුවන් යටි පතුලේ සහ උඩ සමේ මැරුණු සම ඉවත් කරන්න. මේවාට වෙනම සැකසූ scrub වර්ග තිබෙනවා. මිනිත්තු 5ක් පමණ හොඳට අතුල්ල මැරුණු සම ඉවත් ඉවත් කර ගන්න. මේ scrub වල බොහෝවිට pumice stone කුඩු ඇතුළත්.

නමුත් යටි පතුලට ඒක මදි. Pumice stone ( මේවා ගිනිකඳු වලින් ලැබෙන ගල් වර්ගයක් ) එකකින් ඔයාට දැනෙන තරමට හොඳින් යටිපතුල කවාකාරව අතුල්ලන්න. එහෙමත් නැත්නම් ඔයාට පුලුවන් foot file එකක් පාවිච්චි කරන්න. file එකට scrub ටිකක් දාලම ඇතිල්ලුවම ගොඩක් ප්‍රතිඵල ලැබෙයි.

නැවත ඔයාගේ කකුල් දෙක බේසමට දාලා brush එකකින් හරි පොඩි තුවායකින් හරි අර scrub ඔක්කොම ඉවත් කර ගන්න. ඉන්පස්සෙ පිරිසිදු වතුර කෝප්පයක් අරගෙන කකුල් හොඳට පිරිසිදු වතුරෙන් සෝද ගන්න.

ඉන් පස්සෙ කකුල් හොඳට පිහදාලා nail clipper එකකින් නියපොතුවල වැවිලා තියෙන වැඩි කොටස ලස්සනට කපල ඉවත් කර ගන්න. ඇඟිල්ලේ මට්ටමින් එහා තියෙන ටික කැපුවම ඇති. ඇඟිල්ලේ මට්ටමෙන් එහාට කකුලේ නියපොතු වැවීම අනතුරුදායකයි.

ඉන් පස්සෙ ඒ කපපු නියපොතු nail ෆයිල් එකකින් ලස්සනට හැඩ කරගන්න. ගොඩක් වැවිලා නැත්නම් nail clipper එකකින් කපන්නේ නැතුව nail file එකෙන්ම හැඩ කරගත්තත් කමක් නැහැ.

ඉන්පස්සෙ cuticle softner (balm,oil, cream or serum ) එකක් නියපොතු වැවෙන්න පටන් ගන්න තැන දාලා හැම නියපොත්ත ම මිනිත්තුවක් පමණ මෘදු ලෙස සම්බාහනය කරන්න. මේකෙන් කියුටිකල් බුරුල් වෙනවා. මෙවා මොකුත් නැත්නම් ඔයාට පුලුවන් මේ සඳහා මී පැණි පාවිච්චි කරන්න.

ඉන් පස්සේ තියෙන්නේ නියපොත්ත වැවෙන්න පටන් ගන්න තැන තියෙන නියපොත්තට සම්බන්ධ වෙලා තියෙන සම cuticle pusher or orange stick එකකින් පිටුපසට මදක් තල්ලු කිරීම . මේ නිසා හොඳින් ලස්සනට ඔයාගේ නියපොත්තට වැවෙන්න පහසු වෙනවා.

ඉන්පස්සෙ ඔයාට අවශ්‍ය නම් පුළුවන් cuticle එක ළඟ තියෙන මැරුණු සම cuticle cutter එකකින් ඉවත් කරගන්.නියපොත්ත වටේ තියෙන මැරුණු සම පවා මේකෙන් පරිස්සමට ඉවත් කර ගන්න පුළුවන්. මෙහෙම කලහම කකුල් දෙකට හොඳ නැවුම් පෙනුමක් ලැබෙනවා.

ඊළඟට හොඳ foot cream , body oil or massaging cream එකක් පාවිච්චි කරලා කකුලේ යටිපතුල සහ ඇඟිලි හොඳින් සම්භාහනය කරගන්න. මේකෙන් කකුලේ සමට හොඳ තෙතමනයක් සහ උද්දීපනයක් ලැබෙනවා. You tube වල තියෙනවා ඒවා කර ගන්න හැටි.

ඉන්පස්සෙ පාවිච්චි කල ක්‍රීම් හරි තෙල් හරි සේරම හොඳට ටිෂු කඩදාසියකින් පිහදාලා nail polish ගාන්න පටන් ගමු. කකුලේ නියපොතු වර්ණ ගන්වනකොට හරිම පහසුයි toe seperator එකක් පාවිච්චි කිරීම. එතකොට එහෙ මෙහෙ ගාගන්නේ නැතුව ලස්සනට පාට කරගන්න පුළුවන්.

මුලින්ම base coat එක ආලේප කරලා ඒක වේලෙන්න විනාඩි පහක් විතර ඉන්න. නියපොතු වල ගාන පාට වලින් එන කහට නියපොත්තට වදින්නේ නැති වෙන්න තමයි මේක පාවිච්චි කරන්නේ.

මේ විදිහට කැමති පාටකින් ඔයාගේ නියපොතු වර්ණ ගන්වා ගන්න. මම නම් කැමති ලා පැහැයන් වලට. ඒක වේලෙන්නත් විනාඩි පහක් විතරවත් කාලය දෙන්න.

Top coat එකත් ගාලා ඒක වේලෙන්නත් විනාඩි පහක් විතර දෙන්න.

ඒවා සම්පූර්ණයෙන් වේලුනහම toe separator එක පරිස්සමෙන් ඉවත් කරගන්න

 සුරේඛා පෙරේරා

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *