සැමියාගේ දියුණුවට අත හිත දෙන්න (ලිපි පෙළේ සිව් වැන්න ) Dorothy Carnagie’s How to help your husband Get Ahead ඇසුරෙනි

සැමියාගේ දියුණුවට අත හිත දෙන්න (ලිපි පෙළේ සිව් වැන්න ) Dorothy Carnagie’s How to help your husband Get Ahead ඇසුරෙනි

ඔහුගේ අභිවෘද්ධියට (දියුණුවට) හැකි පමණින් උදව් වෙන්න.

ඔබේ සැමියා ගේ දියුණුව වෙනුවෙන් ඔබට කළ හැකි දේ බොහෝ ය.

ඒවා ගැන අවධානයෙන් ක්‍රියා කරන්න. ජීවිතය ගොඩ නගා ගැනීම ඔබ දෙදෙනාම එක් ව කළ යුත්තකි.

ඔබ ඔහුගේ රැකියාව ගැන විෂයානුබද්ධ කාරණා නොදන්නවා විය හැකිය. නමුත් ඔහුට පහසුවක් වන පරිදි ඔබේ බුද්ධිය මෙහෙයවා කළ හැකි සුළු වැඩ කොටසක් සොයා ගැනීම අපහසු නැත.

එදා මහනුවර – කොළඹ නගරාන්තර පුද්ගලික බස් රථයට නැගුණු මගීන් මවිතයට පත් වූයේ බස් රථයේ නියාමක ලෙස සුන්දර තරුණියක් සේවය කරනු දැකීමෙනි. ඇය යුහුසුළුව තම කාර්යයේ නිරත වූවා ය. නමුත් ඒ රැකියාවක් ලෙස නොවේ. තම සැමියා කොරියාවේ වසර ගණනාවක් දුක්විඳ ඉපයූ මුදලින් මිලට ගත් මේ බස් රියෙන් නිසි පල ලැබීමට නම් විශ්වාසවන්ත අයෙකු නියාමක ලෙස ක්‍රියාකළ යුතු බව තරයේ විශ්වාස කළ බැවිනි. රියැදුරු ලෙස වැඩ කළේ ඇගේ සැමියා යි.

සුමිත් මුළුතැන්ගේ උපකරණ හා ඉවුම් පිහුම් භාජන අලෙවියට අත ගැසුවේ ය. ඔහුගේ බිරිඳ ප්‍රවීනා ඔහු සමග අලෙවි ප්‍රදර්ශනවලට සහභාගීවන්නට පටන්ගත්තේ විවිධ උපකරණ භාවිතා කරන අයුරු ප්‍රදර්ශනය කරමින් කෑම පිසිමිනි. එය බොහෝ දෙනෙකුගේ ආකර්ෂණය දිනා ගත් අතර ඔවුන්ගේ අලෙවිය දෙගුණ තෙගුණ විය.

රක්ෂණ ඒජන්තවරයෙකු වූ ෂෙහාන් තම සේවාදායකයින් හමුවන්නට ගෙයින් පිටව යද්දී වත්සලා අන්තර්ජාල සමාජ ජාලා තුළ ඔහුගේ සේවාදායකයින් ගේ පැමිණිලි, අවශ්‍යතාවනට සවන් දී ඒවා පිළිබඳව ෂෙහාන් දැනුවත් කළා ය. ෂෙහාන්ගේ සේවාදායකයින් පිළිබඳ තොරතුරු ගොනුවක් පවත්වාගෙන යමින් ඇය ඔහුට අවශ්‍ය තොරතුරු සපයා දුන්නා ය. කෙටිකලකින් ෂෙහාන්ට ආයතනයේ දක්ෂතම ඒජන්තවරයා ලෙස සම්මාන ලැබීමට මෙසේ වත්සලාගේ සහාය ඍජු ලෙස බලපෑවේ ය.

තමරාගේ සැමියා වූ හේමන්ත පරිසර විද්‍යාඥයෙකි. නිවසට පැමිණි පසුවද ඔහුගේ කාලය ගතවුණේ විවිධ වාර්තා සකස් කිරීම උදෙසා ය. වාර්තාවේ අඩංගු විද්‍යාත්මක කරුණු සකස් කිරීමට වඩා එහි අක්ෂර වින්‍යාස හා ව්‍යාකරණ නිවැරදි කිරීම් සහ එය නිසි ආකෘතියට නිමකිරීම සඳහා වැඩි කාලයක් ගතවන බවට ඔහු නිතර මැසිවිලි නගන්නට විය. ඒ ගැන වැඩිදුරටත් කල්පනා කළ තමරා ඒ පිළිබඳ පරිගණක පාටමාලාවක් හැදෑරුවා ය. ඉන්පසු හේමන්තගේ වාර්තාවල අක්ෂර හා ව්‍යාකරණ දෝෂ නිවැරදි කිරීම් හා නිසි ආකෘතියට අනුකූලව නිමවීම භාර වූයේ තමරා ට ය.

මෙසේ වඩා වැඩි කාර්යක්ෂමතාවයකින් හා ප්‍රමිතියකින් යුතුව කලට වේලාවට තම වාර්තා සකස් කිරීමට හේමන්තට හැකි වීමෙන් ඔහුගේ සේවය පතා උපදේශක මණ්ඩලවලින් වැඩි වැඩියෙන් ආරාධනා ලැබෙන්නට විය.

එසේම නිවසේ දී තම රාජකාරි කටයුතු සඳහා වැය කෙරෙන කාලය අවම වීම නිසා ඔවුන්ගේ පවුලට තම විවේකයන් විනෝදයෙන් එකිනෙකා ගේ ඇසුරේ ගත කිරීමට හැකිවීමෙන්  නිවසේ ප්‍රීතිය හා සෙනෙහස වර්ධනය විය. දැන් ඔවුන් ඉතාමත් ප්‍රීතියෙන් ජීවත්වන පවුලකි.

ප්‍රකට ලේඛක ලියෝ ටෝල්ස්ටෝයි ගේ යුද්ධය හා සාමය නමැති සර්වකාලීන ග්‍රන්ථය දකින හැම වරක් පාසාම මට සිහියට නැගෙන්නේ ඔහුගේ බිරිඳ එහි අත්පිටපත සත් වරක් තම අත්අකුරින් පිටපත් කළ බවයි.

ඉතින් මා ඔබට කියන්නේ,

·        ඔබට හැකි පමණින් ඔහුගේ රැකියාව ගැන තේරුම් ගන්න.

·        ඔහුට උදව්වක් වශයෙන් ඔබට කළ හැකි සුළු සුළු දේවල් ඔහු වෙනුවෙන් ඉටු කර දෙන්න.

·        ඉතාමත් අඩු වශයෙන් ඔහුගේ සහායට නිරතුරුව ඔබ සිටින බව ඔහුට හැඟෙන පරිදි හැසිරෙන්න.

·        ආතතිය අවම වූ වාතාවරණයක් නිවසේ ඇති කරන්න.

මානෙල් විජිතා ප්‍රනාන්දු

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *