One minute rule

One minute rule


වැඩ කල් දැමීමට හපන් අය අත උස්සන්න බලන්න …

ඒ පාර හැමෝම වගේ අත උස්සනව නේ …කමක් නැහැ. මමත් අත උස්සගෙන තමයි ඉන්නේ. ඒ කියන්නේ මමත් ඔයාලගෙ ගෝත්‍රයටම අයිති කෙනෙක්.

අද මම පැහැදිලි කරන්නේ  අපි කොච්චර දක්ෂ මිනිස් කොට්ඨාශයක් ද කියන එකයි. 

මේ වැඩ කල්දැමීමට විශේෂඥවරියෝ  එහෙමත් නැත්නම් procrastinating queens ල තවම දන්නේ නැහැ තමන් උපත ලබන්නේම අසාමාන්‍ය හැකියාවන් රාශියක් මිට මොළවාගෙන කියලා. ඒක ලේසි පහසු හැකියාවක් එහෙම නෙවෙයි. පොඩ්ඩක් කල්පනා කරල බලද්දී ඔයාලට තේරුම් ගන්න පුළුවන් මොන තරම් වටිනා කුසලතාවයන්  ද අපි උරුම කරගෙන තියෙන්නේ කියලා. 

ඉතිං මොනවද  මේ කුසලතා ? මම එකක් දෙකක් මතක් කරන්නම්කෝ.

අපිට ඉතා විශේෂ හැකියාවක් තියනවා අපේ ගෙදර සාලය විදුලි වේගයෙන් මිනිත්තු දෙක තුනක් ඇතුළත සම්පූර්ණයෙන් අස් කරන්න. ඒක අපට කජු කනව වගේ හරිම ලේසියි. කවුරු හරි මේ දැන් මග එනවා කියලා හදිසි call එකක් විතරයි එන්න ඕනේ. 

ඒ වගේම විභාගයකට අවශ්‍ය note එකක් විභාග ශාලාවට යන්න කලින්  විනාඩි 10 ක් වගේ සුළු කාලයකදී වේගයෙන් කියවා අවබෝධ කර ගැනීමත් සුළු කොට සලකන්න බැහැ. 

තව මොනවද ? රැයක් එක දිගට නිදි නැතුව සීඝ්‍රයෙන් assignment සහ භාර ගත් වැඩ නිම කිරීමේ හැකියාව ?   ඔයාලටත් තියනවද මේ විශේෂ දක්ෂතා ? ඔන්න මතක් වුණා නේද ?  

මමත් අවුරුදු තිස් හතරක්ම procrastination queen කෙනෙක් විදිහට කිරුළ දැරූ සාඩම්බර කාන්තාවක්. ඒත් අවාසනාවකට මගෙ දුව මටත් වඩා ඒ කිරුළට සුදුසුකම් ලබා ගනිමින් ඉන්න බව මම තේරුම් යන්න පටන් ගත්තම මම තීරණය කළා එයාවත් අඬගහගෙනම ඒ රාජධානියෙන් පිට වෙන්න. 

ඒත් ඉතිං රැජිනකට නිකං ම පැනල යන්න බැහැනේ. ඒ නිසා මට සිද්ධ වුණා නීති රීති වල වෙනස් කම් කීපයක් සිදු කරන්න. 

මේක තමයි පළවෙනි නීතිය. 

One minute rule 

” If a task takes less than a minute  to complete then do it it now “

මේ නීතිය ගොඩක් අයගේ ජීවිත වෙනස් කළ බව මම ඉස්සර ඉඳලම අහල තිබුණ. ඒත් ඒක කරල බලනකන් මට විශ්වාසයක් තිබුණේ නැහැ. 

මේ නීතියේ හැටියට තමන් ගෙදර එහා මෙහා යද්දී මොනව හරි වැඩක් තමන්ගේ ඇස ගැටුණු වහාම හිතෙන් ගණනය කරන්න ඕනේ ඒකට යන වෙලාව. ඒකට යන්නේ විනාඩියකට අඩු කාලයක් නම් තමන් ට බැහැ ඒක මග ඇරල පැනල දුවන්න. හැකිතාක් ඉක්මනින් ඒක කරගෙනම තමයි තමන් යමින් හිටපු තැනට යන්න ඕනේ. 

මේක පටන් ගත් මුල කාලේ නම් මට හිතුණේ මේක මහ මෝඩ නීතියක් කියලා. මොකද ඔළුව හරවන හරවන අත මට පේන්නේ මිනිත්තුවක් ඇතුළත කරල ඉවර කරන්න පුළුවන් වැඩ. තැන තැන ගලවල දාපු සපත්තු, මේස උඩ තියල ගිය කෝප්ප, අවුල් වුණ ඇඳන්…..bathroom එකේ ගලවල දාපු ඇඳුම්…

එහෙම බලද්දී යන එන අතර ඒව කර කරම  ඉන්න ගියොත් මට කවදාවත් මම ඇත්තටම කරන්න යන වැඩේ කරන්න වෙන්නේ නැහැ.

ඒත් දවසක් දෙකක් මේක උත්සාහ කරන්න ගත්තම මට තේරුම් ගියා මේක හරි ලේසියෙන් කෙනෙක්ට පුරුද්දක් විදිහට එකතු කර ගන්න පුළුවන් දෙයක් නේද කියලා. 

ඇත්තටම ස්වභාවයෙන්ම අතිශයින් පිළිවෙළට ඉන්න , ඇඳක එකම එක රැල්ලක් වත් තියනවා පෙනෙන්න බැරි  neat freak කෙනෙක් හරි දූවිලි පොදක් වත් කුණු බිංදුවක් වත් දකින්න බැරි clean freak කෙනෙක් හරි දැක්කම අපි හිතන්නේ 

“අනේ මේ වගේ එක්කෙනෙක් එක්ක අපි වගේ අය කොහොම ජීවත් වෙන්නද …මේ මනුස්සයගෙ ගෙදර අය හිරේ දාල වාගේ ඉන්නව ඇති ” කියලනේ . 

” අම්මෝ එයාට  OCD ( Obsessive compulsive disorder )” කියල අපි ඒ අයට අපහාසත් කරනවා.

ඒත් මම දිගටම මේ නීතියට ගරු කිරීමේ ප්‍රතිඵලයක් විදිහට මම තේරුම් ගත්ත වැදගත්ම දේ තමයි අපි අතින් ගෙදරක් අවුල් වෙන්නේ මේ විදිහට අපි මග හරින කල් දමන තත්පර හැටේ වැඩ නිසා කියලා. ඇත්තටම කිව්වොත් Neat freak ල ඒව දුටු හැටියේ කරනවා, ඒත් අපි ඒව දැක්කම ඉක්මනින් අහක බලාගෙන යනවා. ඒකයි අපේ   ” සුවිශේෂී වෙනස ” .

මම ගත්තොත් මට අවුරුදු ගණනක පළපුරුද්ද තියනව සෙල්ලම් බඩු ගොඩවල් උඩින් high jump , long jump හෝ ඕනෙම jump එකක් දාල මට අවශ්‍ය තැනට යන්න. ඒත් one minute rule එක practice කරන්න ගත්තම මට ඒ තරම් කරදර වෙලා කොඳු කඩාගෙන පිමි පනින්න අවශ්‍යතාවක් අවශ්‍යතාවයක් නැති තත්වයකට සෙල්ලම් බඩු කරදරය විසඳුණා. 

බිම වැටිල තියන සෙල්ලම් බඩුවක් දැක්ක ගමන් නැමිල ඇහිඳල ඒක කූඩයට දාල යන පුරුද්ද දැන් මගේ ඇට මිදුළු දක්වාම කා වැදිල. ඉස්සර එහෙම සෙල්ලම් බඩු අපේ ගෙදර සාලය පුරාම විසිරුණාම මගේ stress එකත් වැඩි වෙලා වචනත් නපුරු වෙනව. දැන් මගේ බබාලාටත් ඉක්මනින් අස් කරන පුරුද්ද ඇති වෙලා නිසා අපේ ගෙදර වතාවරණය බොහොම සාමකාමී වෙලා. අම්මගෙ කටින් ඩයිනෝසර්ලගේ වගේ ගින්දර පිට වෙන්නේ නැහැ. 

තත්පර ගණනකින් කරල නිම කරන්න පුළුවන් ඒ වැඩ අපි මග හැරියම ඒව එකතු වෙලා එකතු වෙලා පැය ගණනකින්වත් අස් කරල ඉවර කරන්න බැරි මහා අවුල් ජාලාවල් ගෙවල් ඇතුළත බිහි වෙනවා. 

තව තව කල් දමද්දී ඒ අවුල අපට තරහ, හදිසි කෝපය , තමන් ගැන කලකිරීම, ලැජජාව, බඩු නැති වීම නිසා ඇති වන අපහසුතා, පාඩු ..මේ වගේ ගැටළු රාශියක් ඇති කරවනවා. 

ඒ වගේම අපේ ජීවිතයේ දැනෙන වෙනසක් ඇති කර ගන්න නම් එකටම වෙන් කරපු සති ගණන් පැය ගණන් අවශ්‍ය නැතිබව දැන් මට හොඳටම වැටහෙනවා. එහෙ මෙහ යන අතර වැය කෙරෙන මිනිත්තු එකේ පුංචි කාල සීමා අපේ ගැටළු රාශියක් විසඳා ගන්න උදවු වෙනව.

මේ one minute rule එක දැන් මම ජීවිතයේ බොහෝ තැන් වලදී භාවිතා කරනව. මම මේක ඉගෙන ගත්තම මම හැදුව one minute chores list එකක්. ඒ කියන්නේ මට වැය කරන්න එකම එක විනාඩියක් තියනවා නම් මට කළ හැකි දේවල්.

ඔයාලටත් ideas ගන්න තත්පර හැටකින් අපට අනිවාර්යයෙන් නිම කළ හැකි දේ මම 10 ක් විතර ලියන්නම්.

1. Water filter එක සම්පූර්ණයෙන් පිරවීම.

2. නිදන ඇඳ පිළිවෙළ කිරීම.

3. Bathroom sink එක මැදීම

3. Phone memory එකේ අනවශ්‍ය photo  50 ක් delete කිරීම. 

4. Microwave oven එකේ ආහාර රත් වන අතර pantry cupboard , fridge හෝ spice bottles පිස දැමීම.

5. පොත් රාක්කයක් එක තට්ටුවක් කෙළින් කර පිළිවෙළකට හැදීම.

6. ඇදුම් 10 ක් පමණ වේගයෙන් නැවීම. 

7. Bathroom commode එක පිරිසිදු කිරීම.

8. Hand bag එකේ එකතු වෙන Bill ඉවත් කිරීම. 

9. හෙට අඳින ඇදුම් තෝරා වෙන් කර තැබීම. 

10. සපත්තු රාක්කයේ එක තට්ටුවක් පිළිවෙළට සකස් කිරීම.

ලියාගෙන යනවනම්  දාහක් වුණත් පුළුවන් …..චුට්ටක් කල්පනා කරල බලන්න.

පටන් ගනිමු නේද මේ වැඩෙත් 

කමනි සිරිවර්ධන

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *