සජිනි උයන්ගොඩ

සජිනි උයන්ගොඩ

ජීවිතේ කියන්නේ හරිම අනපේක්ෂිත යමක්. ඒකෙ සතුට, දුක, වේදනාව, ඉවසීම, ආදරය, පරාජය යන මේ හැම දේම තියෙනවා. අද දවසේ අපි, ඊයේ දවසේ සිදුවීම් වල ප්‍රතිඵලයක්. නමුත් හෙට දවස කෙසේ වේවිදැයි නිශ්චිතව කියන්නත් බැහැ. නමුත් ඒ සියල්ල මැදින් අපි සියලු දෙනා ජීවිතයත් ඉදිරි බලාපොරොත්තු ගොඩ නගා ගන්නවා. සතුට, පිළිගැනීම, ආදරය, රැකවරණය ඉතා තදින් බදාගන්නවා. තවමත් මම කැමති අතීතයේ හිටි ඒ සියලු හැඟීම් බොහොම ප්‍රබල විදියට ජීවිතය තුල පුරවාගෙන හිටපු පුංචි දැරිය සේම සොදුරු සිතිවිලි ඇතිව ඉදිරි කාලයත් ගෙවන්න.

මම සජිනි උයන්ගොඩ. ඉපදෙන්නේ ගාල්ල ඉමදූව මූලික රෝහලේ 1985 වර්ෂයේ සැප්තැම්බර් 08 වෙනිදා මගේ දෙමාපියන් ගේ දෙවනි දරුවා විදියට. ඒ වගේම තමයි මම පවුලේ බාලයා. මට ඉන්නේ අක්කා කෙනෙක් විතරයි. මගේ තාත්තා හිටපු සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙක්. නම පේමසිරි උයන්ගොඩ. අම්මා තරුණ සේවා නිලධාරිණියක්. නම එම්. එච්. විමලාවතී. මගේ එකම අක්කා නිශාදි උයන්ගොඩ. ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක මායිමේ කනංකේ ප්‍රදේශයේ නලවන කියන සුන්දර ගමේ මගේ ළමා කාලය පරිසරය හා ඉතා සබැඳිව ගලා ගියා. ලියාරා හි ගමේ විත්ති ලියන්නට පසුබිම් වෙන්නේ ඒ සුන්දර අතීතයයි.

ප්‍රාථමික අධ්‍යාපනය මගේ දෙමාපියන්, සහෝදරිය සේම ගමේ පාසලෙන්, එනම් මාර/කනංකේ ආදර්ශ කණිටු විදුහලෙන් ලබනවා. ඒ කාලයේත් යම් තරමකට ශිෂ්‍යත්ව විභාගය තරඟකාරීව බලපැවැත්වෙන කාලයක්. නමුත් අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ මගේ උගත් දෙමාපියන් කිසිවිටක බල කලේ නැහැ තරඟයක නියැලෙන්න. ඉතා සැහැල්ලු සිතින් විභාගයට මුහුණ දීලා ඉන් සමත් වෙලා මම අවස්ථාව ලබනවා 1996 වර්ෂයේදී ගාල්ල ශ්‍රී හෘදය කන්‍යාරාමයට ඇතුලත් වෙන්න. ඒ වෙනකොට මගේ සහෝදරියත් ශිෂ්‍යත්වය සමත්වෙලා ගාල්ල රිපන් බාලිකාවේ ඉගෙනුම ලබනවා. අම්මාත් ගාල්ල නගරයේම තරුණසේවා සභාවෙහි සේවය කරනවා. නමුත් තාත්තගේ තීරණය මත අපි ගමේ පදිංචිය වෙනස් කරන්නේ නැහැ. මේ නිසාම ගාල්ලට දුරබැහැර සිට දිනපතා ඉර පායන්නටත් කලින් මීදුම මැදින් ස්කාෆ් බැඳගෙන පාසල් වෑන් රථයට ගොඩවෙන අපි නැවත ගෙදර එද්දී ඉර බැහැගෙන යන්නට ආසන්නයි. එදා ඒ ගමන දුෂ්කර විදියට දැනුනත් අද ඒ ගැන සිහිවෙන්නේ අත්දැකීම් ගොන්නක් ලැබූ අවස්ථාවක් ලෙස.

උපතින් බෞද්ධයෙක් උනත් පාසලේ කතෝලික ආගමික පරිසරය හා විවිධ ආගම්, ජාතීන්ට අයත් මිතුරියන් ඇසුරේ විනයවත් නමුත් සුන්දර පාසල් කාලයක් මම සිරිහද විදු පියසේ ලබනවා. 2004 වර්ෂයේ දී මම උසස්පෙළ විභාගයට පෙනී සිටිනවා කලා විෂයධාරාවෙන්. එයින් ලබන සාමාර්ථය මත රුහුණු විශ්වවිද්‍යාලයට සමත් වෙනවා. මේක මගේ ජීවිතයේ වගේම දෙමාපියන් ගේ ජීවිතයේ කඩඉමක්. 2010 වර්ෂයේ දී සමාජවිද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධිය දිනා ගන්නේ එම විෂයයෙන් ඉහලම ලකුණු ලබාගත් ශිෂ්‍යාව වෙමින්. උපාධි ප්‍රදානෝත්සවය දවසේ මගේ අම්මාටත් තාත්තාටත් මගේ උපාධි ඡායාරූපය සඳහා නැවත උපාධි ලෝගුව පළදින්නට අවස්ථාව ලබාදීම මගේ ජීවිතයේ මේ වන තෙක් ලබපු ඉහළම ජයග්‍රහණය විදියට මම සලකන්නේ. මම ඒ දෙන්නා ගැන ආඩම්බර වෙනවා වගේම ඒ දෙන්නාත් මම ගැන ආඩම්බර උනා.

2011 වර්ෂයේ මම අවස්ථාව ලබනවා රුහුණ විශ්වවිද්‍යාලයේම සමාජවිද්‍යා අධ්‍යනාංශයේ තාවකාලික කථිකාචාර්යවරියක ලෙස සේවය කරන්න. ඒ කාලය උගතුන් ඇසුරේ සමාජය පිළිබඳ පුළුල් හා සියුම් සංකල්පනා ඇති කල කාලසීමාවක්. වෘත්තිය ජීවිතයේ මම වඩාත්ම ආදරය කරන කාලයත් එයමයි. මේ කාලයේම මගේ විවාහය සිදුවෙනවා 2013.10.30 දින ලහිරු කුරුකුලසූරිය සමඟ වසර හතරක ප්‍රේම සබඳතාවයක් මල්ඵල දරමින්. ඔහු මොරටුව විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ වෙළඳ නාවික නිලධාරියක්. 2014 වර්ෂයේ රුහුණෙන් නික්ම යෑම ඉතා අපහසු කටයුත්තක් උනා. නමුත් ඒ සමගම සේව් ද චිල්ඩ්රන් ආයතනයේ ළමා හිමිකම් පිළිබඳ ජේෂ්ඨ ව්‍යාපෘති නිලධාරිනියක ලෙස පත්වීම ලබනවා. මේ කාලයේම මම කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යාව පිළිඹඳ ශාස්ත්‍රපති උපාධිය හදාරන්නට පටන් ගෙන සිටිනවා.

මගේ සැමියා විදේශගතව සිටියදී අනපේක්ෂිත ලෙස මගේ අම්මා 2014.06.08 දින අප අතහැර සදහටම දෙනෙත් පියාගන්නවා. ඒක මේ වන තෙක් මා ලබපු ඉහලම කම්පනයයි. එතැනින් මගේ ජීවිතයේ ඊලඟ භාගය ඇරඹෙන බව මා සිතනවා. ආදරය රැකවරණය පමණක් නොවෙයි මගේ අම්මා තමයි පුංචි කාලයේ සිට සාහිත්‍ය වෙත මා යොමු කලේ. මා දැකපු ප්‍රතිපත්තිගරුකම ගැහැණිය ඇයයි. ඈ  නැති වීමෙන් වසරකට පමණ පසු මගේ පළමු දරුවා කුසතුලම මිය යනවා. ඒ අතරේ රැකියාවන් අහිමි වෙනවා. සමහර රැකියා අත  හරිනවා. ඉතාම දුෂ්කර කාලපරිච්ඡේදයක් මමත් සැමියාත් ගත කරමින් සිටියදී මුහුණු පොතේ කවි මා අතින් ලියවෙන්නට පටන් ගන්නවා ආතතිය මැඩ ගැනීමට. ඒ තමයි ආරම්භය.

2016 වර්ෂයේ මම ගුරුවෘත්තියට පිවිසෙනවා. තිස්සමහාරාමයේ ඉතා දුප්පත් දරුවන් සිටින පාසලක තර්ක ශාස්ත්‍රයත්, සිංහලත් මා උගන්වනවා. ඒ අත්දැකීමත් මුහුණු පොතේ ලියන්නට අත්දැකීම් රැගෙන එනවා. 2018.06.22 දින මගේ පුතු පමිතු ජෙවෝන් කුරුකුලසූරිය කොළඹ ලංකා රෝහලේ දී උපත ලබන්නේ ඒ වන තෙක් මා ලබපු බොහෝ මානසික පීඩාවන් දියකර හරිමින්. නැවතත් මම මුහුණු පොතේ ලිවීම පටන් ගන්නවා සමාජීය කාරණා සම්බන්ධව. මේ ගැන බොහෝ සාධනීය ප්‍රතිචාර ලබන අතරේ මේ වසරේ මුල හංසනී හිදැල්ලාරච්චි, අපේ ප්‍රධාන කතෘතුමියගේ ආරාධනයෙන් ලියාරා වෙත සම්බන්ධ වෙනවා. නැවත මගේ ජීවිතය සුභ වෙමින් පවතිනවා. ඒ ලියාරා නිසා. අතහැර දැමූ අධ්‍යාපන කටයුතු, පෞද්ගලික බලාපොරොත්තු සියල්ලට නව ජීවයක් දෙමින් ශක්තිවන්ත මනසක් තනන්නට ලියාරා මේ කාලය තුල මට කළ පෙළඹවීම බොහෝමයි. කාන්තාවන්ට සුහදව ඉන්න බැරිය කියමන බොරු කරමින් විවධ ක්ෂේත්‍ර වල අප පවුලක් මෙන් එක්සිත් ඇතිව මේ ගමන යමින් සිටිනවා. ඒ වගේම ලේඛන ක්ෂේත්‍රයේ කටයුතු වෙනුවෙන් මගේ දයාබර සැමියා දෙන සහයෝගය නොවන්නට තිස්සමහාරාමයේ සිට මීට සම්බන්ධ වීම හීනයක් වන්නටත් තිබුණා. ඔහු ගේ විවේකය දිනයන් බොහෝ විට යෙදවෙන්නේ මගේ කටයුතු වෙනුවෙන්. ඒ වගේමයි වසරක් වයසැති මගේ පුතු පමී. පැසසුම් සේම අභියෝග, චෝදනා නැතුවත් නොවෙයි; මේ සියල්ල මැද ජීවිතය සමබරව ගලා යමින් තිබෙනවා. ඒ ගැන තෘප්තිමත්.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *