සින්දූපා සෙනෙවිරත්න

සින්දූපා සෙනෙවිරත්න

මෙතුවක් ඩිජිටල් මාධ්‍යය හරහා පමණක් ඔබ හමුවූ ලියාරා , නවතම මුහුණුවරකින් මුද්‍රිත මාධ්‍යයක් ලෙසින් නුදුරේදීම එළි දකින්නට සැරසෙන මොහොතක මෙසේ සටහන් තබමින් ලියාරා කතු මණ්ඩලය හඳුන්වාදීම සඳහා ලියැවෙන මෙම කලාපයට මා පිළිබඳව කෙටි හැඳින්වීමක් සිදු කරමි.

මා ලියාරා හා මුලින්ම එක්වන්නේ “මගේ මන්නාරම” ලිපි පෙළත් සමගිනි.

වයඹ පළාතේ වෙන්නප්පුවේ ජීවත් වෙන මා පාසල් අධ්‍යාපනය හැදෑරුවේ වෙන්නප්පුව ශුද්ධවූ පවුලේ බාලිකා මහා විද්‍යාලයෙනි. එහි ලැබූ අධ්‍යාපනයේ ප්‍රතිඵලයක් ලෙසට ජයවර්ධනපුර වෛද්‍ය පීඨයට මම උසස් අධ්‍යාපනය සඳහා ඇතුළත් වීමි. මම මුද්‍රිත පුවත්පත් සඳහා ලිවීම ආරම්භ කළේ ඒ අවදියේදීය. ඒ විදුසර පුවත්පතේ ලිවූ “රෝහලේ විත්ති” හරහා ය.  ඉන් වසර පහකට පසුව මම සීමාවාසික වෛද්‍ය වරියක් ලෙසට මාරවිල රෝහලට පත්වීම ලද්දෙමි.

ස්ථීර පත්වීම් ලද වෛද්‍ය වරියක ලෙස මගේ පළමු පත්වීම ලැබුණේ මන්නාරම මහ රෝහලටය..

මන්නාරමෙන් පැමිණි පසුව මා මීගමුව මහරෝහලේ විශේෂ ප්‍රතිකාර නොමේරූ ළදරු ඒකකයේ සේවය කළෙමි. මේ වන විට මම පශ්චාත් උපාධිය සඳහා කොළඹ  වෛද්‍ය පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයේ අධ්‍යයන කටයුතු වල නිරත වෙමි.

ඇත්ත වශයෙන්ම මා දුර බැහැර අනිකුත් රෝහල් මගහරිමින් මන්නාරමටම යාමට ප්‍රධාන හේතුවක් වූයේ ලංකාවේ වෙනත් කිසිදු රෝහල් ආශ්‍රිත පරිසරයක දක්නට නොලැබෙන අන්දමේ පරිසරයක් මන්නාරමෙහි තිබීම මෙන්ම මගේ විනෝදාංශය වන සමනලුන් සහ කුරුල්ලන් පිළිබඳව බොහෝ සේ අධ්‍යයනය කිරීමට හැකියාව ලැබීමයි.  එමෙන්ම විවිධාකාර ස්ථාන වල සහ සතුන්ගේ චායාරූපය විශාල ප්‍රමාණයක් ගැනීමට හැකි වීමද මන්නාරමේදී මා ලද මහඟු අවස්ථාවක් විය.

වසර දෙකක් පුරාවට ශල්‍ය වාට්ටුවේ වෛද්‍යවරියක ලෙස මන්නාරමේ ගතකළ කාල සීමාව තුළ මා මන්නාරමට බැඳ තැබූ යම් බැඳීමක් වේද, ඒ පිළිබඳව සටහන් තබන්නට ලියාරා හමුවීම පිලිබඳව මම උදක්ම සතුටු වෙමි. 

එහෙත්,ලියාරා ඩිජිටල් සඟරාවට ලිවූ මන්නාරම පිළිබඳව ලිවීමෙන් ඔබ්බට ගොස්, ස්වභාවදහම පිළිබඳව ලියාරා මුද්‍රිත සඟරාව වෙත ලිවීමට බලාපොරොත්තු වෙමි.  ඒ සඳහා ආරම්භයක් ලෙස ,ලංකාවේ හමු වන සමනලුන් විශේෂ පිළිබඳව ලිපි පෙළක් ලබන කලාපයේ සිට ආරම්භ කෙරෙනු ඇත. එමෙන්ම, මම සිදුකරන සංචාර අතරතුර හමු වන අපූර්ව දෑ පිළිබඳව ද ලිවීමට අදහස් කරගෙන සිටිමි. මාගේ අනිත් විනෝදාංශ වන චායාරූප කරනයේදී ගන්නා ලද ,චායාරූපද මගේ ලිපි වලට ගැලපෙන ලෙස යොදාගනිමි.

සාහිත මගේ වැදගත්ම සැතපුම් කණුවක් පසු කරන , එනම් ඩිජිටල් මාධ්‍යයේ සිට මුද්‍රිත මාධ්‍යයක් බවට පත් වන, ලියාරා වෙත උණුසුම් සුබ පැතුම් එක් කරමි.

ඉදිරි කලාප වලින් හමුවෙමු

– සින්දූපා සෙනෙවිරත්න-

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *