කාන්තාවන්ට සහ දරුවන්ට එරෙහිව සිදුවන සුලභ සයිබර් අපරාධ වර්ග පිළිබඳව සටහනක්

කාන්තාවන්ට සහ දරුවන්ට එරෙහිව සිදුවන සුලභ සයිබර් අපරාධ වර්ග පිළිබඳව සටහනක්

ඉලෙක්ට්‍රොනික තැපෑල මඟින් කෙරෙන අඩන්තේට්ටම්

ඉලෙක්ට්‍රොනික තැපෑල මඟින් සිදු කෙරෙන අවමාන, තර්ජන, අයුතු බලපෑම් හා වංචාව යනාදිය ඇතුළත් වේ. ඉලෙක්ට්‍රොනික අතවර, සාමාන්‍ය ලිපි මඟින් කෙරෙන හිරිහැර වලට සමාන වුව ද ව්‍යාජ හැඳුනුම්පත් යොදා කෙරෙන සටහන් නිසා බොහෝවිට ප්‍රශ්න පැන නැඟේ.

සයිබර් අවකාශය හරහා රහසේ ලුහුබැඳීම

මින් අදහස් වන්නේ වින්දිතයා නිතර පරිහරණය කරන අන්තර්ජාලයේ දැන්වීම් පුවරු, චැට් කාමර (chat rooms) යනාදියෙන් බොහෝවිට තර්ජනාත්මක පණිවුඩ සටහන් කිරීම හා වින්දිතයා ඉලෙක්ට්‍රොනික හසුන් මාලා මඟින් වෙහෙසට පත් කිරීම වැනි ක්‍රියා මඟින් අන්තර්ජාලය පුරා කෙනෙකු යන එන ස්ථාන අනුව පසුපස යාමයි.

සයිබර් ආශ්‍රිත කාමෝද්දීපන නිරුවත් ප්‍රකාශන

කාමෝද්දීපන නිරුවත් ප්‍රකාශන සහිත වෙබ් අඩවි මීට ඇතුළත් වේ. බාගත කිරීම් වලදී මැල්වෙයාර්, වෛරස් යනාදියෙන් පරිගණකයට ඒවා සමඟ බාගත වීමට ද ඉඩ ඇත.

සයිබර් ආශ්‍රිත නොමනා ක්‍රියා

දරුවකු, පෙර යොවුන් වියේ හෝ යොවුන් වියේ කෙනෙකු තවත් එවැනිම කෙනෙකු සිටින අන්තර්ජාලය ඔස්සේ ඩිජිටල් තාක්ෂණය ඇසුරෙන් වද දීම, තර්ජනය කිරීම, හිරිහැර කිරීම, අපහසුවට පත් කිරීම හෝ වෙනත් අතවර වලට භාජනය කිරීම සයිබර් අයුතු බලපෑමක් සේ සැලකේ.

අපහාස කිරීම

පරිගණක හෝ අන්තර්ජාලය මඟින් අපහාස කිරීමෙන් මෙය සිදුවේ.කෙනෙකු වෙනත් අයකු අපකීර්තියට පත් කරන කරුණු වෙබ් අඩවියක පළ කිරීම නැතහොත් ඔහු හෝ ඇය පිළිබඳව අපහාසාත්මක තොරතුරු අඩංගු ඉලෙක්ට්‍රොනික ලිපි ඔහුගේ/ ඇයගේ මිතුරන්ට යැවීම.

මෝෆිං

එනම් අසම්මත පරිහරණය කරන්නකු හෝ ව්‍යාජ අනන්‍යතාවයක් ඇති අයකු හෝ චායාරූපයක් සංස්කරණය කිරීමයි

සයිබර් අපරාධ වලට අදාළ නීතියෙන් කොටසක් මීළඟට විමසා බලමු.

ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 2006 අංක 16 දරණ සංශෝධන පනතේ 266 (ආ) වගන්තියට අනුව

ළමයකු ලිංගික අපයෝජනය කිරීම වැලැක්වීම පරිගණක මඟින් සේවා සපයන අයකුගේ කාර්‍යයකි. පරිගණකයක් මඟින් සේවා සපයන අයකු විසින් ළමයකු ලිංගික අපයෝජනය කිරීම සම්බන්ධයෙන් වරදක් සංයුක්ත වන ක්‍රියාවක් සිදු කිරීම සඳහා එම පරිගණක පහසුකම භාවිතා නොකරන බවට සහතික වීමට අවශ්‍ය සියලු පියවර ගත යුතුය. එමෙන්ම ඉහත කී පරිගණක පහසුකම ළමයකු ලිංගික අපයෝජනය සඳහා භාවිත කරනු ලබන බවට දැනගත් විට ඒ බව ආසන්නතම පොලිස් ස්ථානයට දැනුම් දී වරදකරුගේ අනන්‍යතාව සම්බන්ධයෙන් තමා සතු තොරතුරු එම පොලිස් නිලධාරියා වෙත හෙළි කර යුතුය.

මෙසේ අදාළ පියවර නොගතහොත් අවුරුදු දෙකකට නොවැඩි කාලයක් සඳහා දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකට හෝ දඩයකට හෝ එම දඬුවම් දෙකටම ඔහු යටත් විය යුතුය.


2007 අංක 24 දරණ පරිගණක අපරාධ පනතෙන් ආවරණය වන පරිගණක අපරාධ වරද දෙවර්ගයකි.

1. පරිගණක හා බැඳුණු අපරාධ (පරිගණක උපයෝගී කරගනිමින් සිදුකරන සොරකම් හා වංචා වැනි සාපරාධී ක්‍රියා)

2. වෛරස් හා වර්මින් හඳුන්වා දීම ඇතුළුව පරිගණක පද්ධතියක හෝ ජාලයක ඒකාග්‍රතාව වෙත පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව සහ විශ්වසනීයත්වය කෙරෙහි බලපාන සැසීමේ අපරාධ

වැඩිදුර තො‍රතුරු ඉදිරි ලිපි වලින් බලාපොරොත්තු වන්න.

නීතිඥ ප්‍රියාශා රන්වල



Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *