කාන්තාවාදය 03

කාන්තාවාදය 03

පෙර ලිපියෙන් කාන්තාවාදය බිහි වීමේ මූලික පසුබිමත් ආදි යුරෝපීය හා පෙරදිග මතවාදයන් කාන්තාව කෙරෙහි බලපෑ අන්දමත් විග්‍රහ කෙරුණු අතර මේ ලිපියෙන් එම සමාජීය මතවාදයන් කාන්තාවාදය පිළිබඳ අදහස් තවදුරටත් ඉස්මතු වීමට උත්තේජනයක් ලෙස ක්‍රියා කල ආකාරය විග්‍රහ කරනු ලබයි. බටහිර සමාජය මෙහිදී මූලිකව නිර්ශනය කරගනු ඇත.

විසිවන සියවස ආරම්භය වන විට කාන්තාවාදී ඉල්ලීම් ඉතා දැඩි ස්වරුපයක් ගනු ලැබූ අතර දේපළ හිමිකම, දේශපාලනයට සහභාගීවීමේ අවශ්‍යතා, විවාහය හා දික්කසාදය පිළිබඳ තීරණ, දරුවන්ගේ භාරකාරත්වය, අධ්‍යාපනය වැනි ක්ෂේත්‍ර වෙත පුළුල් විය. ඒ අනුව කාන්තාව සමාජීය හා ගෘහ ජීවිතයේ යම් ස්වාධීනතාවයක් අපේක්ෂා කල බව පෙනේ. විශේෂයෙන්ම යුරෝපයට වඩා ඇමරිකාව තුල කාන්තාවාදී අදහස් හොඳින් පැලපදියම් වූ අතර නිදහස් මහද්වීපයක් ලෙසත් ආර්ථිකම කාරණා මූලික කරගැනීමත් නිසා කාන්තාවට ස්වාධීන අදහස් දැරීමේ සාපේක්ෂ නිදහසක් යුරෝපයට වඩා එහි විය.

ඒ වන විට යුරෝපය වික්ටෝරියානු රැජිනගේ ආධිපත්‍යයෙන් පැවති අතර විසි වන සියවස මුල් භාගය වන විට වික්ටෝරියානු රැජිනගේ මරණය සමඟ පාලන බලය බිඳ වැටුණද ඇය පල කල සුචරිතවාදී අදහස් සම්ප්‍රදායික යුරෝපය තුලට තදින් මුල් බැස ගෙන තිබුණි. ඒ කෙතරම් ද යත් එම අදහස් පෙරදිග යටත් විජිත සමාජයන්හි කාන්තාවන් වෙත පවා බලපැවැත්වුණි. වික්ටෝරියානු සුචරිතවාදය ගෘහීය කටයුතු, සැමියා, දරුවන් වෙනුවෙන් පමණක් කැපවූ කාන්තා භූමිකාව අගය කල අතර ඇයගේ බාහිර ආලේපයෙන් තොර සැරසීම, සන්සුන්, තැන්පත්බව කාන්තාවකට සමාජීය ගෞරවය ලැබීමට අතවශ්‍ය කරුණු ලෙස සැලකුණි. මෙනිසා පුරුෂයන් කෙරෙහි ආක්‍රමණ අදහස් සහිත කාන්තාවාදය වැනි අදහස් ගෞරවනීය කාන්තාවකට නොහොබිනා බවට අදහස් පළ වූ අතරඇතැම් සාහිත්‍යමය නිර්මාණයන් පවා වික්ටෝරියානු සුචරිතවාදී කාන්තාව අගය කෙරුණි. නමුත් මෙම පමණට එහා මැදිහත්වීම තවතවත් කාන්තාවාදී අදහස් පෝෂණය වීමට උත්තේජනයක් ලෙසද ක්‍රියා කරන ලදී. එංගලන්තයේ බ්‍රොන්ටේ සහෝදරියන්, එමලි ඩිකන්ස්, ජෝර්ජ් එලියට්, ජේන් ඔස්ටින් ආදීන් ගේ සාහිත්‍යමය නිර්මාණ කාන්තාව ගැන වඩා නිදහස් සමාජයක් පිළබඳ අදහස් පළ කරන ලදී.

මෙසේ ක්‍රමයෙන් වර්ධනය වූ කාන්තාවාදී අදහස් 1930 වන විට වැඩබිම් පරිසරය තුල කාන්තාවගේ තත්ත්වය ඉතා පහත් වීම පිළිබඳව පවා කතිකා කරන මට්ටමට දියුණු විය. 1940 වන විට දෙවන ලෝක යුද්ධයෙහි බලපෑමට ලොවටම ලක්වෙන්ට සිදු වූ අතර මෙනිසා කාන්තාව සමාජීය ආර්ථික කාරණා වලින් බැහැර කල නොහැකි ද විය. එමෙන්ම වැඩකරන කාන්තාවන් උදෙසා දිවා සුරැකුම් මධ්‍යස්ථාන, උපදේශන හා මාතෘ සායන ආදී විවිධාංගීකරණයන් බිහි වීමද මේ කාල සීමාව තුල සිදුවේ. මේ තත්වය කාන්තාවාදී අදහස් තවත් දියුණු කිරීමට හේතු විය.

මේ කාලසීමාවේ ප්‍රමුඛතාවය දැරූ කාන්තාවාදිනියන් ලෙස සිවිල් අයිතිවාසිකම් පිළිබඳ හඬ නැගූ ඇමරිකානු ජාතික මායා ඇන්ජෙලා සහ එලිසබෙත් ෆ්‍රීමන්,  කාන්තා ඡන්ද අයිතිය උදෙසා සටන් කල එංගලන්තයේ මාජරී කෝබෙට් ඇෂ්බි, ඇමරිකානු ලේඛිකා බෙටී ෆ්‍රීඩන්, මැඩලේන් ඇල්බ්රයිට්, ඔස්ට්‍රේලියානු  ජාතික තෙල්මා බේට් සහ තව බොහෝ අය වෙති. මෙම අදහස් කාන්තාවාදයේ ඊලඟ පියවරයන් වන වර්ණභේදවාදය, ලිංගිකත්වය, සංවර්ධනය ආදී මාතෘකා වෙත රැගෙන යයි.

සජිනි උයන්ගොඩ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *