ගමේ විත්ති 03

ගමේ විත්ති 03

දොළ

දොළ පිහිටියේ ගම කෙලවරනි. ගම දෙපසින් වසාගත් රබර් වගා කල කඳු වැටි දෙක එකතුවන නිමිනයේ ඉහළින් දොළ ආරම්භ වූ අතර මදක් පහලට ඇදහැලී දෙපස කුඹුරු යායට දියවර සපයන ඇළ මාර්ග දෙකට ජලය සමසේ බෙදා දොළේ ගමන අවසන් කෙරුණි. ගල්කුළු මත හැපෙමින් වන ගහණය යටින් හෙමින් පල්ලම් බසින දොළ, ගමේ අතීතය, සිරියාව නිහඬව දරා සිටින්නියක් වැන්න.

දොළ ආරම්භවන්නේ රබරේ ඉහළින් බව පැහැදිලි වුවද ඒ කොතනදැයි කිසිවෙකු හරිහැටි දැන නොසිටියෝය. නමුත් දොළ හා නිරන්තර සබඳතා පවත්වන්නට එහි පරම්පරා විස්තරය අදාල නොවුණි. වතුර කරාම නොතිබූ ඒ කාලයේ ගැමියන් දියනෑම, රෙදි සේදීම වෙනුවෙන් දොළෙහි සේවය අනිවාර්යයෙන් ලබා ගැණුනි. කුඩාවුන් අපිට නම් දියනෑම හුදෙක්ම නෑමකට වඩා වතුරේ නැටීමක්ම විය. දොළ නිසා විපතට පත්වූවකු ගැන හෝ ඉතිහාසයේ කවරදාකවත් අසා නොතිබූ නිසාම කුඩාවුන් ගේ නිරන්තර දොළේ නැටීමට වැඩිහිටියන් ගේ බාධාවක් ද නොවුණි.

දොළට නාන තොටුපොළවල් පහක් විය. එයින් දෙකක් ගලින් වටවූ දිය වලවල් වූ අතර, දෙකක් නොගැඹුරු වැල්ල සහිත දිය තටාකයන් ද එකක් පිහිල්ලක් ද විය. මින් පළමු දෙක ප්‍රධාන විය. රෙදි සේදීම පහළ තොටුපොළෙන් කිරීමට බොහෝ ගැමි ගැහැණුන් වග බලා ගත්තේ ඉහළ රෙදි කුණු සේදුවොත් පහළ නානවුන්ට කුණු නාන්නට දීම පවකැයි සිතමිනි. පහල නාන තොටුපොලෙහි තරමක කුඩා දිය වලකි. දෙපස විශාල ගල් පතුරින් වට විය. සබන් ගා රෙදි ඇපිල්ලීමට පහසු වනු පිණිස කදිම පැතලි ගල් තලාවක්ද විය. දියවලෙන් පිට වෙන ජලය අඩු ගැඹුරු දිය කඩක් ඔස්සේ ගලා ගොස් ඇළ වලට ජලය බෙදන ඇනිකට් එකෙහි නොපෙනී යයි. අඩු ගැඹුරු ජල තලාව ඉතාම කුඩාවුන් ද ආරක්ෂිතව නෑවීමට හොදම තැනක් විය. මේ හේතූන් නිසාම පවුල් පිටින් දිය නෑමට එන බෝහෝ දෙනා ගේ තේරීම පහළ දියවල විය.

ඉහළ දියවල ඊට වෙනස් විය. විශාල හොර ගස් වලින් සෙවණ වූ දියසෙවෙළ සහිත ගල් කුළු වලින් වටවූ ඉහළ දියවල සීතල ජලය සහිත, ගුප්ත හා ගැඹුරු තැනක් විය. ඒ ගුප්තබවත්, ගැඹුරුබවත් සිත් ඇදගන්නා සුළුම විය. පහළ දිය වලෙන් නාන්නේ පොඩ්ඩන්ට  බවත් ඉහළ දියවල වැඩ්ඩන්ට බවත් සිතාවුන් ළමා කාලයේ මෙහි දිය නෑම එක අතකට ගෞරවයක් විය. ගැඹුරු දිය වලට ඉහළ සිට පැනිය හැකි තරමක උස ගල් කුළක් වීමත් දිය කෙලියේ දස්කම් දැක්වීමට තෝතැන්නක් විය. හොර ගස් වලින් වැටෙන හොර කුරුල්ලන් ඇහිදීමටත්, නම නොදත් වන මල් නෙලා ගල් කුළු අතරෙන් පහළ බසින හැටි නැරඹීමටත්, නාසා වසා ගෙන කිමිදී වල ගැඹුරටම ගිය වගට සාක්ෂ්‍ය පෙන්නීමට වල පතුලෙහි වටකුරු ගල් මතු පිටට ගෙන ඒමටත්, කුඩා පිහිළි තනා ඒවාට හිස් අල්ලාගෙන කුසීත සුවය විඳීමටත්, මඤ්ඤොක්කා කොළ මාලයන් ගෙලෙහි බැඳ වනමල් වලින් දෙඅත් සරසා වනලියන් හෝ වැද්දන් සේ රැඟීමටත් මෙතැන පරිපූර්ණ ස්ථානයක් විය.

දොළ ආරම්භ වන ගම කෙලවරම පිහිටියේ ඥාතී නිවෙසකි. ඊට ඉහලින් පරම්පරාවෙන් උරුම වූ ඉඩම් කැබැල්ලක් ද විය. ඉඩමෙහි තතු බැලීමට මෙන්ම නාන්නට එන බොහෝ දිනවල ඒ නිවෙසටත් ගොඩව උණුසුම් තේ උගුරක් තොල ගාමින් අල්ලාප සල්ලාපයේ යෙදීමට අම්මා ප්‍රිය කලාය. ඒ ගමන යෑමට මා ප්‍රිය කලේ රඹුටන්, පේර, උක්ගස්, ලෙමන් ආදිය නිසයි. පෙරලා ගෙදර එද්දී දෝතපුරා එවන් පලතුරක් රැගෙන එන්නට හැකි වන්නේය. ඒ හැරත් පහළ නාන තොටුපොල අසලින් හමුවන මීමන දළුත්, ඒ අසල අඩිපාරේ ජම්බු ගසත් අප එන දෙස නොබලා සිටින්නේ නැත.

ලොකු කුඩා ගල් වලවල් වලත් වැලි පතුලත ඇති නොගැඹුරු දිය සීරා වලත් මත්ස්‍යයින් බහුල විය. ඒ අතරේ ගං ඉස්සන්ද විය. ගල්වලට බැස නාන්නට බිය කළේ ඉස්සන් පමණක් නොව හුංගන්, මගුරන් වැනි දළ ඇති අනෙක් මත්ස්‍යයන් ය. ඉදහිටක නාහෙට අහන්නේ නැති පෝරිසාදයන් කිහිප දෙනෙක් මේ ගල් වලවල් හිස් කර ඉස්සන් හා ලොකු මාලුන් අල්ලන බවට ගම පුරා තටු ලැබ ආරංචිය යන්නේය. ඒ අසන ගැමි ගැහැණු බොහෝමයක් “අපෝ පව්කාරයන්” යැයි දෙස් දෙවොල් තබන්නෝය. වැලිගමින් එන මුහුදු මාලු කන ගැමියෝ ගමේ දොළෙහි, ඇළෙහි මාලුන් තිත්තකඩයන් ලෙස දකිමින් උන් ඇල්ලීම පවක් ලෙස සලකති. මේ කිසිදු ආදරයකට හෝ අනාදරයකට වගේ වගක් නැතුවාක් මෙන් දොළ සුපුරුදු පරිදිම පල්ලම් බසින්නේය.

වැසි කාලයට දොළ උතුරා පහළ කුඹුරු යායත් යටකරගෙන පල්ලම් බසී. බොහෝ නිසංසල දොළ එවිට ඉතා බිහිසුණු ස්වරූපයක් ගන්නේය. කුඹුරු දෙපස ඇළ දෙක දොළෙන් එන මඩ පැහැ වතුරෙන් පිරෙමින් පාරත් යටකරගෙන පොල් අතු මෝදර ගඟ කරා යන්නේ බැරි බරක් කරගහගත්තාක් මෙන් අසීරුවෙනි. ගංවතුර ගොවීන්ට විපතක් වුව ද වතුරේ නටන්නට රිසි කුඩාවුන්ට විනෝදයකි. ඒ ගැන පසුව වෙනම ලිවිය යුතු වේ. ගංවතුර බැස ගිය තැන මුළු දොළම පැහැදිලි නිල්වන් ජලයෙන් පිරී ඉතා පිරිසිදු ව දිස් වේ. ඒ පිරිසිදු දිය නැවත ඇගේ පහස විඳින්නැයි දොළ ආරාධනා කරන්නාක් මෙන් දිස් වෙයි.

ගමෙහි සුන්දරත්වය මෙන්ම කිසි දේක සදාකාලික පැවැතක් නොමැතිය යන අනියත දහමත් මෙහි සටහන් කළ යුතුම වේ. රබර උදුරා කටුපොල් වගා කිරීමෙන් ජල උල්පත් හිදීයාම මේ වන විට දොළෙහි පැවැත්මට බලපා තිබේ. එමෙන්ම නීතිවිරෝධී ජාවාරම් සැඟවී කිරීමට හොඳ ස්ථානයක් ලෙස පසුගිය කාලයේ පත්ව තිබීමත්, පිටස්තරයන් එහි යාම්ඊම් කිරීමත් දොළ සාමාන්‍ය ගැමියාගේ ඇසුරින් දුරස්ථ කර ඇත. ඊටත් වඩා දශකයක පමණ කාලයක ලංකා සමාජ පරිසරයේ වෙනස්කම් ගමට ද ප්‍රවේශ වීමත්, ජල කරාම හා නවීන නානකාමර භාවිතය ප්‍රචලිත වීමත් දොළ හා ගැමියා අතර අතීත සබැඳියාව බිඳ දමා ඇත.

සජිනි උයන්ගොඩ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *