ටිපි මහතා හා ටිපී පරිවර්තන සමයම !

ටිපි මහතා හා ටිපී පරිවර්තන සමයම !

ග්‍රීශ්ම ඍතුවේදී යුරෝපයේ පාසැල් නිවාඩු දෙන නමුත් කැමතිනම් නිවාඩු කාලීන ගිම්හාන පාසැල් වලට දරුවන් ඇතුල් කල හැකි බැවින් ජූලි මැද සිට අගෝස්තු අග දක්වා ටිපී මහතා යන්නේ එහෙම පාසැලකටය. ඒවායේ පොත් පාඩම් වැඩ උගන්නන්නේ නැති අතර ඒවා ඇත්තේ දරුවන්ට විනෝද වීම පිණිසය.

ගිම්හාන කඳවුරු , විනෝද සවාරි , ජල ක්‍රීඩා , පිහිණුම් ක්‍රීඩා , නිර්මාණශීලී අත් වැඩ ආදී එකී මෙකී නොකී බොහෝ වැඩ එහි ඇත්තේය. ටිපී මහතා පමණක් නොව සියළු දරුවන් මීට මනාපය. සිය නිවෙස් වල කරන්නට නොදෙන බොහෝ දඟ කම් මෙහිදී දරුවන්ට කළ හැකිය. මුළු පංති කාමරය පුරාම පත්තර කොළ කපා දැමුවත් , ගම් හැලුවත් ඒවාට මීක් කියන්නට හෝ අයෙක් නැති බැවින් මේවායේ දරුවන් බොහෝ නිදහස් ය. දරුවන් බලා ගන්නට සිටිනා ගුරුවරුන්ද ( බොහෝ විට මේ විශ්වවිද්‍යාල දරුවන් ය ) දරුවන් වගේමය. වෙනස වයස පමණය. ඉතින් මේ ගිම්හාන පාසැල්හි ටිපියාවරුන් ඉබ්බන් දියට දැම්මා සේය , එපමණම නිදහස් ය.

මින් දින දෙකකට පෙර ටිපී මහතාට ගිම්හාන පාසැලේ කාලසටහන අනුව තිබ්බේ පිහිණුම් තටාකයකට යන්නය. ඒ අනුව ඊට අදාල සියළු බඩු බාහිරාදිය ද ඔසවාගෙන ටිපියාවරුන් පාසැල් බස් රථ වල නැගී පිහිණුම් තටාක බලා ගියෝය. අයිස්ක්‍රීම් කන්නට යූරෝ දෙකක් ද ගේන්නට කියා දැනුම් දී තිබූ බැවින් ටිපී මහතා සතුව මුදල් ද විය. ඒ එතුමා මුදල් පරිහරණය කරනා පළමු වතාවද විය. හවස 4. වන විට යලි පාසලට පැමිණෙන ටිපියාවරුන් සිය දෙමාපියන්ට බාරදෙනු ලබන්නේ 4.30 ටය. ටිපී මහතාගේ මවට එදින හවස් වරුව වැඩ හේතුවෙන් එදින ටිපී මහතාව ගෙනෙන්නට ගියේ එතුමාගේ අත්තම්මාය.

සිනා මුසුව පැමිණි ගුරුතුමිය අත්තම්මා මහත්මියට ටිපී මහතාව බාර දී ඉතාලියෙන් මොන මොනවා හෝ කියා ඇති අතර ඈ කියූ කිසිවක් අත්තම්මා මහත්මියට තේරී නැත. එහෙත් ඇය ඔලුව වනා තේරුණ බව අඟවා පාසැලෙන් පිටතට පැමිණ මොනාද පුතේ ටීචර් කීවේ කියා ටිපී මහතාගෙන් ඇසූ කල්හි , ආ අත්තම්මෙ ඒ ටීචර් කීවෙ මම අද හොඳම හොඳට හිටියා කියලනෙ කියා ටිපී මහතා පෙරළා පිළිතුර ලෙසට දී ඇත. ඒ පිළිතුර ගැන එතරම්ම විස්වාසයක් අත්තම්මා මහත්මියට නොතිබූ බැවින් ඈ ටිපී මව නිවසට පැමිණි විගසම එය කීවෙන් ටිපී මහතාගේ මව හිනාවකින් මුව පුරවාගෙන සිය පුතා වෙත ඇදී ආගිය තොරතුරු කතාකරන්නට ගත්තාය.

අද කොහොමද පුතේ ?

අද නම් අම්මේ ශෝක් ම ශෝක් ! මම තනියම අයිස්ක්‍රීමුත් ගත්තනෙ සල්ලි දීලා .

ශා ශෝක්නෙ , ඉතින් ඉතින් ඔයා හොඳට සතුටු වුනාද

ඔවු ඔවු මං හොඳටම සතුටින් හිටියෙ අද , ඒත් පොඩී ප්‍රශ්නයක් තියනව !

ප්‍රශ්නයක් ඇයි මොකද වුනේ ?

නෑ මෙහෙමයි මම අද පොඩ්ඩක් නරක බබෙක් වුනානෙ. මම කොන්ඩෙ බූසි අර ආන්නා බෙල් ගෙ ඔලු ගෙඩියෙ අයිස්ක්‍රීම් දැම්මා. නෑ ඇත්තටම මට ඕන වුනේ එයාගෙ බූසි කොන්ඩෙට අයිස්ක්‍රීම් දැම්මම කොහොමද බලන්න ඒත් ඒකෙන් එයාට දුක හිතුනනෙ. පස්සෙ මම සමාවෙන්න කීවා.

ආ.. සමාවෙන්න කී එක නම් හොඳයි ! එතකොට මොනාද පුතේ ටීචර් අත්තම්මාට කීවෙ ?

ඒ කීවෙ ඒක තමා අම්මේ. මම නරක බබෙක් වෙලා ආන්නා බෙල්ගෙ බූසි කොන්ඩෙ බිත්තර දානව වගේ අයිස්ක්‍රීම් ගුලි දැම්මය ඒත් එයා අඬපු ගමන්ම මම ඒව අයින් කරල එයාගෙ කොන්ඩෙ හෝදල සමාවත් ඉල්ලුවය. ඉතින් පෝඩ්ඩක් නරක බබෙක් උනාට කෙවින් හොදයි කියල.

එතකොට ඔයා ඒක අත්තම්මාට කීවෙ කොහොමද ?

ආ මම ඉතින් ඔය ඕක්කෝම එයාට කියන්න ගියෙ නෑ අම්මේ. එයා දැන් වයසයිනෙ. ඒ නිසා මම කීවෙ මම අද හොඳම හොඳ බබෙක් කියල කීව කියල විතරයි ! ඔයාමනෙ අම්මෙ අප්පච්චීට තිස්සෙම කියන්නේ , දැන් අම්ම වයසයි ඔය එක එක හිත කරදර දේවල් එහෙම කියන්න යන්න එපා කියල. දැන් මම නරක බබෙක් කියල කීවනම් එයාගෙ හිත කරදර වෙනවනෙ! අනික එතකොට එයා ගෙදර එනකල්ම මට හොඳ බබෙක් වෙන හැටි කියා දෙනවනෙ !

ඒ ඇසූ මවට සිය පුත්‍රයාට දෙන්නට එක වර උත්තරයක් නොආ අතර ඇය තම සිනාව සඟවාගෙන
අහ්හ් , ඒකත් ඇත්ත ! ඒත් ඉතින් බොරුනං කියන එක හොඳ නෑ පුතේ ! කියමින් එතැනින් ඉවතට ගියාය. .


ප්‍රභානී තෙන්නකෝන්.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *