තරු පන්තියේ මුලුතැන් ගෙයි රහස් සොයා… නොයෙක් විදියට නොයෙක් රසට හැදෙන බිත්තරේ

තරු පන්තියේ මුලුතැන් ගෙයි රහස් සොයා… නොයෙක් විදියට නොයෙක් රසට හැදෙන බිත්තරේ

මං අද කියන්න යන්නෙ ඔයාල අපි හැමෝටම හුගක් සමීප එක්කෙනෙක් ගැන. ඒ තමයි බිත්තරේ. බිත්තරේ කියන්නෙ මට හුගක් සමීප කෙනෙක්. මොකද මගෙ අක්කි පොඩි කාලෙ මට ආදරේට කියපු නම් වලින් මුලින්ම හිටපු අයගෙන් එක්කෙනෙක් තමා බිත්තරේ.

මන් කියන්නෙ කිකිළි බිත්තර ගැන .ඒත් ලිහිණි, වටු , පාත්ත, තාරා, කළු කුම්, ගිනි කිකිළි බිත්තරත් කෑමට ගන්නව.

මුලින් ම බිත්තර තෝරගන්න කොට බලන්න හැඩය ගැන. මුදලාලිගෙ තට්ටෙ ට බිත්තරෙන් තට්ටවක් දාල බලන්න හයියද කියල. තට්ටෙ නෙවේ .බිත්තරේ. කටුව ටිකක් හයියයි නම්, තුනී නැත්නම් ,ටිකක් රළු ගතියක් තියෙනව නම් ඒ බිත්තර අලුත්. වතුර වීදුරුවකට දැම්මම යට යනවනම් ඒ බිත්තර අලුත්. බිත්තර වලත් සයිස් තියෙව. S, L ,M , XL කියල. ඒ ඒ බිත්තර වල ග්‍රෑම් ගාන අනුව.

S= 42-49
M=49-56
L=56-63
Xl= 63-73
Jumbo= 73 වැඩි

මේකත් රටවල් අනුව චුට්ටක් එහා මෙහා වෙනව. ඉතින් මෙහෙම කිවුවෙ දැන ගන්න. අද ගිහින් මුදලාලිගෙන් කිලෝ ගානට බිත්තර ඉල්ලන්න එපා. මුදලාලි මාව හොයන් එයි.බිත්තර ගබඩා කරද්දි වෙනම තියන්න. ෆ්‍රිජ් එකේ දාන්න. කල් තියාගන්න එපා. ලංකාවෙ ඕනෙ තරම් අලුත් බිත්තර ගන්න පුලුවන්.තම්බල කටුව අයින් කරන්න අමාරු බිත්තර හුගක් අලුත්. මොකද අලුත් බිත්තර ඇතුලෙ වාතය අඩුයි. බිත්තර වල තියෙන්නෙ සැල්මොනෙල්ලා බැක්ටීරියාව.

* මයොනීස්, හොලන්ඩේස් වගේ සෝස් හදනකොට බටර්,තෙල් විනාකිරි එහෙම ඔක්කොම එකට එකතු වෙන්නෙ කහ මදේ (yolk) නිසා. කහ මදය ට පුලුවන් සෝස්, කස්ටර්ඩ් වර්ග තික් කරන්නත්.

* ඒ වගේම පාන් බනිස් වර්ග හදනකොට අවන් දාන්න කලින් එග් වොශ් කරන්නෙ මෙයාගෙන්. මේකට කහ මදේ විතරක් ම නේවේ සුදු මදෙත් ගන්න පුලුවන්. සුදු මදෙන් පාටත් ,කහ මදෙන් දිස්නෙත් දෙනව. බිත්තරේ හොදට විස්ක් එකෙන් හරි ගෑරුප්පුවකින් හරි බීට් කරල බ්‍රශ් එකකින් අවන් දාන්න කලින් ගාගන්න.

* අපි කන ස්පොන්ජ් කේක් වර්ග, සූෆ්ලේ (souffle ) සොෆ්ට් එකට එන්නෙ බිත්තර නිසා. අපි බිත්තර බීට් කරල ඒකට ඊලගට පිටි එහෙම දානවනම් පිටි දැම්මට පස්සෙ ආයෙ බීට් කරන්න එපා ෆෝල්ඩ් කරන්න. නැත්නම් ඒ බරට අර බිත්තර වලින් හැදුන මිලියන ගානක් පෙන කැඩිල ගිහින් කෑම එකේ සොෆ්ට් ගතිය නැති වෙයි. බිත්තර බීට් කරන්න කලින් කෙලින්ම ෆ්‍රිජ් එකෙන් අරගන්නෙ නැතුව කාමර උෂ්ණත්වයට ආවම බීට් කලාම වැඩේ ඉක්මන් . ප්‍රමාණයත් වැඩියි .

බිත්තර කටුව හැදිල තියෙන්නෙ කැල්සියම් කාබනේට් වලින්. මේක දිය කරන්න බිත්තරේ වීදුරුවක දාල විනාකිරි හරි coca cola හරි බිත්තරේ වැහෙන්න දාල ප්ලාස්ටික් එකකින් කවර් කරන්න. (Cling film). Fridge එකේ දාල තියන්න. පැය 24කින් තාම දිය වෙලා නැත්නම් විනාකිරි එක මාරු කරන්න.

*ගෙදර කට්ටිය වැඩි නම් , එක්කෙනාට දෙක ගානෙ හදන්නෙ නැතුව බිත්තර තුනක් වගේ බීට් කරල, කිරි ,ලුනු බටර් දාල බීට් කරල පාන් පෙති පොගවල බදින්න.( ෆ්‍රෙන්ච් ටෝස්ට් වගේ ෆ්‍රෙන්ච් ටෝස්ට් නම් ටිකක් ස්වීට්). ගෙදර වියදම් පිරිමහගන්න මේ පුංචි දේවල් ඔයාලට වැදගත් වෙයි.

* බිත්තර , පෑන් කේක් වගේ හීනියට තුනියට හදල සැන්ඩ්විච් හදන්න.

* සමහර සුප් වර්ග ක්ලියර් කරන්න බිත්තර අත්‍යවශ්‍යයි .

*බිත්තර beat කරන එකෙත් stage තියෙනව. Soft peak , medium peak , full(stiff ) peak කියල.

*සුදු මදේ ප්‍රෝටීන් බහුලයි, කහ මදේ මේදය හා යකඩ අඩංගුයි.

බිත්තර හදන විදි ගැන ටිකක් බලමු.

1.හැමෝම දන්න තම්බපු බිත්තර

*කවදාවත් බිත්තර විනාඩි 20වඩා තම්බන්න එපා. කහ මදේ වටේ ඔයාල දැකල ඇති තද අලු පාටට හුරු කොල පාට සිවියක් .ඒ අයන් සල්ෆයිඩ් (iron sulfide ) මෙහෙම් වෙන්නෙ බිත්තර හුගක් වෙලා තැම්බුවම. තම්බපු බිත්තර හුගක් වෙලා තිබ්බම ත් මෙහෙම වෙනව. බිත්තර තම්බනකොට ඩෝං ගාල අතාරින්නෙ නැතුව හැන්දක් පාවිච්චි කරන්න. බිත්තර වැහෙන්න වතුර තියෙන්න ඕනෙ. සමහරු ආසයි බාගෙට තම්බපු බිත්තර(soft boil) කන්න. නටන වතුරට දාල විනාඩි 4-6 කින් අරන් අයිස් වතුරට දාල නිවල ගන්න. හොදටම තම්බපු බිත්තර නම් (hard boil) විනාඩි 10-12 තැම්බුවම හොදටම ඇති.

*ඇල් වතුර එක්ක බිත්තර ලිපේ තියනවනම් විනාඩියක් දෙකක් අඩු කරන්න.

* බිත්තර ඇල් වතුර එක්ක ලිපේ තියල වතුර නටන කොට ගින්දර වහන්න. බිත්තරත් එක්කම පෑන් එක විනාඩි 3ක් වහල තියල සොෆ්ට් බොයිල්ඩ් එග් ගන්නත් පුලුවන්. විනාඩි 15 තියල හාඩ් බොයිල් බිත්තර ගන්න පුලුවන්.

*බිත්තර තම්බල දෙකට කපාගෙන කහ මද වෙන් කරගන්න. ඒකට මයොනයිස් ලුණු ,ගම්මිරිස් එකතු කරල කලවම් කරල පයිපින් බෑග් එකකට පුරවගන්න. නැතනම් හැන්දක් පාවිච්චි කරල සුදු මද වලට ලස්සනට පුරවගන්න .

මයෝ එක්ක බේකන්, රාබු, ඔලිව්, මාලු, ගර්කින්, තක්කාලි වගෙ ඔයා කැමති දෙයක් චූටියට කපාගෙන එකතු කරගන්න පුලුවන්.

*බිත්තර විනාඩි 5ක් විතර හොලවන්න. කහ මදෙයි සුදු මදෙයි ඇතුලෙ හොදට කලවම් වෙනකන්. ඊට පස්සෙ තම්බන්න. තනි ලා කහ පාට තම්බපු බිත්තරයක් එයි.

*බිත්තර තම්බන වතුරට ලුනු /විනාකිරි ටිකක් දැම්මම කටුව ගැලවෙනව.

* බඹරෙ කැරකෙනව වගේ බිත්තරේ කැරකෙනව නම් ඒක හාඩ් බොයිල්ඩ් එග් එකක්.

ඉස්සර අපෙ ලොකු අම්ම බිත්තර හොදට හෝදල බත් එක උයද්දි එකට දානව තැම්බෙන්න. ගෑස් , දර ,භූමිතෙල් ,වෙලාව ඉතුරු වෙන නිසා.

2. බිත්තර බැදුම් (fried egg)

ඔයාල දන්නව මේකෙත් එක එක නම් තියෙනව. 
*Fried egg කියන්නෙ දෙපැත්තම හොදට බැදල ගන්න බිත්තර වලට.

*Sunny side up (bull’s eye) එකේදි බදින්නෙ බිත්තරේ එක පැත්තයි. මතක තියාගන්න බුල්සායි නෙවේ. බුල්ස් අයි. ඇස් දෙක කුක් වෙන්නෙ නැතුව කහ මදේ අමුවට තියෙන්න ඕනෙ.

*over easy egg- සනි සයිඩ් අප් එක අනිත් පැත්ත හරවල ඉක්මනට ලිපෙන් ගන්න ඕනෙ. හැබැයි බිත්තරේ උඩ අමු වෙන්න ඕනෙ.

*සමහරු ආසයි බිත්තර බාගෙට බැදල කන්න. පෑන් එක තෙල් /බටර් ගාගෙන රත් කරල බිත්තර දෙක කඩල දාන්න. බිත්තර වල යට පැත්ත කුක් උනාම වතුර තේ හැදි දෙකක් වගේ බිත්තරේ වටේට පෑන් එකට දාල ඉක්මනට පියනකින් වහල ගින්දර වැඩි කරන්න. වතුර වල ස්ටීම් එකට බිත්තරේ උඩ කුක් වෙයි.තත්පර 8ක් 10 ක් තියල ගින්දර වහන්න. මේකත් ඕවර් ඊසි එග් වගේ තමා .

3.ඔම්ලට් (Omlette)

ඔම්ලට් වලත් ජාති ගොඩයි. ඕවල් , ෆ්ලැට් , සූෆ්ල් ඔම්ලට් වගේ,

*එවගේම ඔම්ලට් එකට දාන ද්‍රවය අනුව රට රට වල් වල ඔම්ලට් වෙනස්.

*මෂ්රූම්, බෙල් පෙපර් ,හැම්, ලූනු, කොත්තමල්ලි කොල,ඔලිව් , අමු මිරිස් , තක්කාලි , චීස් වගේ දේවල් එකතු කරන්න පුලුවන් .
ඔම්ලට් එකට බිත්තර තුනක් එන්න ඕනෙ. අපි කැමති දේවල්. ලූනු, මිරිස්,බෙල් පෙපර්, තක්කාලි, ලුනු ගම්මිරිස් දාගෙන බිත්තරේ හොදට බීට් කරගන්න. ගෙදර non-stick පෑන් එකක් තියාගන්න. නන්ස්ටික් පෑන් නොවුනත් සමහර පෑන් හොදට පදම් උනාම තෙල් නැතුව උනත් බදින්න පුලුවන්. බිත්තර ,පෑන්කේක් ,තෝස වගේ දෙවල් වලට වෙනම පෑන් එකක් තියාගන්න. හැන්දෙන් හූරන්න එපා. හෝදනකොට හූරන්න එපා.

දැන් පෑන් එකට තෙල් ටිකක් ගාගෙන රත් උනාට පස්සෙ. (පෑන් එක රත් වෙන්න ඔනෙ ගානට. රස්නෙ වැඩි නම් ලිපෙන් අරන් ටිකක් අඩු කරගෙන ඉන්න) දැන් ගහගත්ත බිත්තර තුන ඩෝං ගාල අතාරින්න.

රබර් ස්පැචුල එකක් හෝ ලී හැන්දක් පාවිච්චි කරන්න. නැත්නම් ගෑරුප්පුවක්. පෑන් එක හීරෙන් නැති වෙන්න බිත්තර එක සෙට් වෙන සෙට් වෙන එක මැදට තල්ලු කරල අමු ටික එතනට දාගන්න.(බාගෙට සෙට් වෙනකන් කලවම් කරන්න. )

දැන් පෑන් එක ටිකක් හොලවල බලන්න මුලු බිත්තර ඔක්කොම එකට සෙට් වෙලාද කියල. හරියට සෙට් වෙලා නම් ඔම්ලට් එක පෑන් එකේ එහාට මෙහාට වෙයි. දැන් හෙමින් සැරේ උඩ දාල අනිත් පැත්ත හරවල කැච් එක ගන්න .

සිවිලිම ට යනකන් විසි කරන්න එපා. ගෙදර අයට කන්න වෙන්නෙ සිවිලිමට බෙදාගෙන.

*ඔම්ලට් එක කහ පාට වෙන්න ඔනෙ. දුඹුරු වෙනකන් ඉන්න එපා. සොෆ්ට් වෙන්න ඕනෙ. හොදට බීට් කලාමයි මුලු ඔක්කොම එකම පාට ට එන්නෙ.

ඕවල් ඔම්ලට් එක නවන්නෙ දෙපැත්තෙන් මැදට. ඒක පෑන් එකේදිම එක පැත්තක් නවල පිගානට දානගමන් අනිත් පැත්ත නවන්නෙ.

*Souffle omlette – සුදු මදේ පෙණ වගේ වෙනකන් විස්ක් කරල. බීට් කරගත්ත කහමදේ එකතු කරල හෙමින් කලවම් කරල , ඔම්ලට් එක හදාගන්න. මේකෙ සුදු මද පෙණ නිසා හුගක් සොෆ්ට් , ස්පොන්ජ් වගේ.

*cloud egg – මේ වගේ සුදු මදේ පෙණ වෙනකන් බීට් කරල අවන් ට්‍රේ එකක දාල විනාඩියක් දෙකක් බේක් කරගෙන එලියට අරන් මැදින් කහ මදේ තියල තවත් විනාඩියල් බේක් කරල සනි සයිඩ් අප් වගේ හදාගන්නත් පුලුවන්.

4.හුමාලයෙන් තැම්බීම( steamed egg).

* ලුනු ගම්මිරිස් දාල බීට් කරපු බිත්තර පොඩි කප් එකකට දාල හොදට වහල නටන වතුරෙ බස්සන්න. නැත්නම් ඉඩ්ලි හදනව වගේ ස්ටීම් කරන්න ත් පුලුවන්.

* අපෙ අම්ම ඉස්සර බිත්තර වලට ලූනු අමු මිරිස් උම්බලකඩ තක්කාලි එහෙම දල , කට පොඩි මුට්ටියකට වතුර නටන කොට රෙදි කෑල්ලකින් වහල බිත්තර ටික ඒ රෙදි කෑල්ලට දාල පියනෙන් වහනව. හුමාලෙන් තැම්බෙන්න. ඊට පස්සෙ ඒක කෑලි කපල බිත්තර කරි හදනව. 
ඒ අම්මගෙ දුව බිත්තර 5,6 වගේ ඔම්ලට් මිශ්‍රණය හදාගෙන non-stick pan එකක දාල ලොකුවට ඔම්ලට් එක හදාගෙන කෑලි කපල උයනව.

*කේක් එකක් සයිස් ඔම්ලට් එක හරවන්න ලේසි කොහොමද? මෙහෙම ලොකුවට ඔම්ලට් එක හදාගෙන හරවගන්න බැරි නම් ස්පැචුල එකකින් එහෙට මෙහෙට තල්ලු කරගෙන එක පැත්තක් සෙට් උනාට පස්සෙ පෑන් එක හොලවල ෆ්ලැට් පිගානකට ගන්න. දැන් අමු පැත්ත උඩ සෙට් උන පැත්ත යට. දැන් අර පෑන් එකෙන් පිගාන උඩ තියෙන ඔම්ලට් එක වහන්න. දැන් දෙකම එකට අල්ලල අනිත් පැත්ත හරවන්න. දැන් අමුපැත්ත යට. ඒකත් තප්පර 30 වගේ කුක් කරගෙන ලිපෙන් බාල කෑලි කපාගන්න.

මෙහෙම බිත්තර මිශ්‍රණය අවන් දාල අරන් කෑලි කපල උයන්නත් පුලුවන්.

5. ස්ක්‍රැම්බල්ඩ් එග්(Scrambled egg)

*ගෙදරදි ඔම්ලට් එක සෙට් උනේ නැත්නම් අපි ඒක කඩල කඩල කඩල ගන්නවනෙ . ස්ක්‍රැම්බල්ඩ් එග් එකත් ඒ හැඩේ.ඒ කියන්නෙ හැඩයක් නෑ. හරියට හදනව නම් මේක ඩබල් බොයිල් කරන්න ඕනෙ.බිත්තර කඩල බාජනේට දාගෙන ඒක නටන වතුර එකකට බස්සල සැරින් සැරේ කලවම් කරන්න ඕනෙ. ලුනු ,බටර් ,කිරි එකතු කරන්නත් ඕනෙ. හරියට හැදුව නම් කහ පාටට සොෆ්ට් එකට පොප් කෝන් වගේ හැඩ වලට එන්න ඕනෙ මේක.

ලිපේ කෙලින්ම තියල හදනවනම් අඩුම ගින්දරෙන් හදන්න අඩි අල්ලන්න දෙන්න එපා.

6. පෝච්ඩ් එග් (Poached egg)

නටන වතුර එකකට විනාකිරි ටිකක් දාල හැන්දෙන් කරකවන්න. වතුර එක සුලියක් වගේ කරකවන්න. ඒ ගමන් කඩාගෙන පැත්තකින් තියාගත්ත බිත්තරේ අර සුලියට දාගන්න. ලස්සනට බෝලෙ වගේ බිත්තරේ එයි කැඩෙන්නෙ නැතුව. කහ මදේ අමුවට ඇතුලෙ රවුමට තියෙන්න ඕනෙ. ඒක වට කරගෙන සුදු මදේ ඉන්න ඕනෙ. හෙමින් සැරේ තෙල් හැන්දෙන් වතුර පෙරාගෙන toast කරපු පාන් පෙත්තක් උඩින් තියාගන්න.

සුලියක් හදාගෙනත් බිත්තරයට එන්නෙ නැත්නම් බිත්තරේ හැන්දකට කඩා ගන්න. හැන්දත් එක්කම විනාකිරි දාපු නටන වතුරට බස්සල හදාගන්න.

* පිලිපීනයේ ඔම්ලට් එකක් හදනව වම්බටු වලින් . වම්බටු කරල පිටින් පුච්චනව ගින්දරෙන් . පස්සෙ නැට්ට ගලවන්නෙ නැතුව පොතු අයින් කරල ගෑරුප්පුවකින් පොඩි කරල පැත්තකින් තියාගන්න.

බිත්තර දෙකක් වෙනම ,ලුනු ගම්මිරිස් ලූනු, අමුමිරිස් එක්ක බීට් කරල ඒකට වම්බටු ටික දාල ඔම්ලට් වගේ බැදගන්න.

කුස්සියේ රහස් එක්ක කෑම පිසීම පිලිබද දැනුමෙන් ඔයාගෙ දැනුම පොත පුරවන්න සරල විදියට ලියාරා එක්ක ඉදිරිපත් කරන මං

නිසංසලා සායක්කාර

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *