ලවන්යා

ලවන්යා

පළමුවන කොටස

ඈත සිතිජය ගිනිජාලාවක් කරමින් මළ හිරැ බැස යන දෙස විවාන් බලා සිටියේ මාලානිකව ගිය නෙතින්ය. ලානිල්පැහැ කමිසයත් කලු කලිසමිනුත් සැරසි සිටි ඔහු මේ සිටින්නේ තවමත් පෙරදින කාර්යාලයට පිටත්ව යන්නට උදෑසන ඇදගත් ඇදුම පිටිනි. කොණ්ඩය අවුල්ව ගොස් රතු වු නෙතින් මෝටර් බයික් එකට හේත්තු වි වැල්ලවත්ත මුහුදු තීරය දෙස ඔහේ බලා සිටින ඔහු දුටු ඔනෑම අයෙකුට ඔහුගේ පපුතුරේ දැවෙන එ් වේදනාව පෙනෙයි. එහෙත් අහල පහල ඔහු දෙස බලමින් යන මිනිසුන් සිතන දේ ඔහුට අදාලම නැත. ඈත සිතිජයේ ගිනිගෙන දැවෙන ගිනි දැල්වලටත් වඩා ගිනිදැල් පපුවේ පත්තු වෙද්දි ඔහුට වෙන කිසිවක් ගැන සිතන්නට සිතේ ඉඩක් නොවුනි. ජිවිතයම ගිනිබත්ව යද්දි වෙන කිසිවක් ගැන ඔහුට සිතන්නට හිතේ ඉඩක් නැත. ජංගම දුරකථනය කිහිප වරක්ම නාද වුවත් ඔහු එයට පිලිතුරැ දෙන්නට සිතුවේ නැත. කිසිවෙකුට කිසිවක් පවසා ගත නොහැකිව උගුරේ යමක් සිරවි ඇත. යලි යලිත් ෆෝනය නාද වුයේ නොකඩවාමය. බැරිම තැන ඔහු කලිසම් සාක්කුවෙන් එය ඉවතට ගත්තේය. එහි තිරයේ සටහන් වුයේ ‘චුටි නංගි’ යනුවෙනි. එදෙස මදවේලාවක් බලා සිටියේ ඔවුන් අසන දේවලට දෙන්න පිලිතුරක් නොදැන කෙසේ නම් මේ ඇමතුමට කන්දෙන්නද සිතමින්ය. ෆෝනය විසන්ධිව ගියේ බොහෝ වේලාවක් නාද වීය. ඔහු සුසුමක් හෙලුවේය. මොහොතකින් ලැබුනේ කෙටි පණිවිඩයකි.

‘අයියේ අක්කා හොස්පිටල් ඇඩ්මිට් කරා. ඉක්මනින් මට කතා කරන්න’

එය දුටු විවාන්ගේ දෙපා අප්‍රාණිකව යන්නට විය. ඔහු වහා ගයේෂාගේ අංකය එබුවේය.

“හෙලෝ චුටි නංගි. මොකද වුනේ?”

ඔහු වෙව්ලන හඩින් අසද්දි නැගණිය හඩ අවදි කරේ හඩමින්ය. 

“අනේ අයියේ බලන්නකෝ අක්කාව වාහනේක හැප්පිලා. අනේ ඉක්මනට එන්න.”

එය ඇසෙද්දි ඔහුගේ ගතම වෙව්ලා යන්නට විය. ඔහු එක අතකින් කොණ්ඩය පිටුපසට කරමින් අසරණව පිස්සෙක් මෙන් වටපිට බැලුවේ කිසිවක් සිතා ගත නොහැකිවය.

“අයියේ!! අයියේ!”

ඔහුගේ නිහඩ බව නිසාම බියට පත්වදෝ ගයේෂා ඔහුට කිහිපවරක් ඇමතුවාය.

“නංගි කො…කො හෙද? කොහෙද හොස්පිටල් එක?”

ගයේෂා පෞද්ගලික රෝහලක නමක් පැවසු වහා ඔහු දෙවරක් නොසිතා වාහනයට නැගුනේ කඩිමුඩියේ හෙල්මටය හිසේ දමාගෙනය. පවනට බදු වේගයෙන් ඔහු මෝටර් බයික් එක පදවා ගෙන ගියේ ගැහෙන සිතිනි. ඇයට කුමක් හෝ නපුරක් සිදු වි ඇත්නම් මැරෙනතුරැ තම හෘදසාක්ෂියෙන් ඔහුට ගැලවුමක් නැති බව විවාන් දනී. ඊටත් වඩා ඇය නැති ලොවක ජිවත් වීමද සිතන්නට පවා අපහසුය. ඔහු බයික් එකේ වේගය වැඩි කර වාහන අතරින් එහෙන් මෙහෙන් දමමින් පැදවුයේය. 

රෝහල තුලට පිස්සෙකු මෙන් දිව ගොස් ඔහු නතර වුනේ රෝහල් කොරිඩෝවේය. නර්මදා තම දියණියන් දෙදෙනාත් සමඟ රෝහල් කාමරය අසල සිටගෙන බිත්තියට පිටදී සිටිනු ඔහු දුටුවේය. ඔහු වහා එතැනට දිව ගියේ නොඉවසිලිමත්වය.

“අම්මා!!”

විවාන්ගේ හඩට නර්මදා ගැස්සි ඔහු දෙස හිස හරවා බැලුවාය.

“කෝ එයා? හොදින් නේද?”

විවාන් නොඉවසිලිමත්ව සිය මවගේ දෙවුරින් අල්ලා අසද්දි ඇය සිය පුතුණුවන් දෙස බලා සිටියේ වේදනාවෙනි.

“ ලොකු අනතුරක් නැ පුතේ. වාහනේ යන්තමට වැදිලා. කකුල තුවාලයි”

“ඉතිං කෝ?”

“මේ කාමරේ ඇතුලේ”

“ලොකු දෙයක් නැත්නම් ඇයි ඇඩ්මිට් වෙලා ඉන්නේ?”

විවාන් කිවේ අම්මා තම සිත සන්සුන් කරවන්නට බොරැ පවසනවා යැයි සිතමින්ය. ඔහු වහා කාමරයට යන්නට යද්දි නර්මදා ඔහුගේ අතින් අල්ලා නැවැත්වීය.

“පුතේ”

ඔහු හැරි බැලුවේය. නර්මදා බැරැරැම් අසරණ බැල්මක් හෙලුවාය.

“කලබල කරන්න එපා. එයා අපි කාටවත් කාමරේට එන්න දෙන්නේ නැ. ගොඩක් තරහින් ඉන්නේ. ඉවසිමෙන් කතා කරන්න පුතේ. එයා ඉන්න තත්වේ එක්ක.”

“එ් කිව්වේ?”

ඔහු අසද්දිම කාමරයෙන් පිටතට වෛද්‍යවරිය පැමිණි නිසා සියල්ලන්ගේම අවදානය ඔවුන් වෙත යොමු විය. 

“ඩොක්ටර් මගේ වයිෆ්ට කොහොමද? එයාට අමාරැද?”

විවාන් කලබලයෙන් ඇසුවේ හදවත දැවෙද්දීය. වෛද්යවරිය ඔහු දෙස බැලුවේ සිනහසීය.

“කලබල වෙන්න එපා. ඔයාලා හරි ලකී. රිපෝට් නොර්මල්. නමුත් මෙයා ඉන්න තත්වේ එක්ක ටිකක් බෙඩ් රෙස්ට් කරන එක හොදයි. තව රිපෝට් දෙකතුනකුත් අරන් එ්වත් බලලාම ගෙදර යමු. බබාට කිසිම අනතුරක් නැ”

“බබා!!”

විවාන් වෛද්‍යයවරිය දෙස බැලුවේ විමතියෙන් නෙත් ලොකු කරගෙනය. එ් බැල්මම ඔහු නර්මදා වෙත යොමු කරද්දි ඇය ලේන්සුවෙන් නෙතට නැගෙන කදුලු පිසදමමින් ඉවත බලා ගත්තාය. මේ ආරංචිය අසා සතුටු වන්නදැයි දුක් වන්නදැයි කියා ඇයට නොවැටහුනි. 

“ඇයි ඔයා දන්නේ නැද්ද? ඔයාගේ වයිෆ් ප්රෙග්නට්. දැන් සති අටක්”

එය ඇසෙද්දි විවාන්ගේ පපුව සිරවි යන්නට විය. හුස්ම ගන්නට පවා අමතකව නෙත් බොදව යද්දි ඔහුගේ වේදනාබර මුහුණට යන්තමට සිනහවක් නැගුනි. තව මොහොතක්වත් ඔහුට මෙතැන රැදෙන්නට නොසිතුනි. ඇය දකින්නට වුවමනා විය. ඇය තුරැල් කරගෙන අතොරක් නැතිව සිපගන්නට වුවමනා විය. ඔහු වහා කාමරයේ දොර හැර එතුලට ගියේය. යහන මත ඔහේ දිගැදි අරමුණක් නැති මලානික නෙත  සදලු තලයෙන් එහා පෙනෙන නිල් අහස වෙත යොමා සිටින එ් රැව දුටු විවාන් වෙව්ලන දෙපා ඇය දෙසට තැබුවේය. ඇය වෙත ලංව යහන කොනක වාඩි වෙද්දිවත් ඇය ඔහු දෙස බැලුවේ නැත. එ් නෙත තිබුණේම එ් හිස් අහස ලගය. 

“ලවන්යා!!”

ඔහු මහත් ආදරයකින් සිය බිරිද දෙස බලා හෙමිහිට ඇයව ඇමතුවේය. ඒ හඩ දෙසවන් තුලට ගලා යද්දි ඇය නෙත් තද කරගත්තේ වේදනාවෙනි. ඇගේ නෙතින් කදුලු බිංදුවක් ගිලිහි කොට්ටය මතට වැටෙනු ඔහු දුටුවේය. විවාන් හෙමිහිට ඇගේ යහන මත වු අතක් මෘදුව අල්ලා ගෙන ඇගේ කුස දෙස බැලුවේය.

“ඇයි මට නොකිව්වේ?”

ඔහු හෙමිහිට අසමින් ඇගේ කුස මත අනෙක් අත තැබුවේ නොරිදෙන්නටය. ඇය නෙත් හැර යලි එ් අහස දෙසම බලා සිටියේ කිසිවක් නොපවසාමය. විවාන් ඇගේ මුහුණ දෙස බැලුවේය.

“අපි  පහුගිය එ් නපුරැ දේවල් අමතක කරලා අද ඉදන් ජිවිතේ අලුතින් පටන් ගමු”

එහෙත් ඇය නිහඩය.

“අපි අපේ දරැවා වෙනුවෙන් ආයේ ජිවිතේ ගැන හිතමු. මට ඔයාව ඔන ලවන්යා. මම ඔයාට ආදරෙයි. අපි දරැවා වෙනුවෙන් හැමදේම අමතක කරමු.”

විවාන් පවසද්දි තවත් ඇයට එය අසා සිටින්නට අපහසුවිය. ඔහු හෙමිහිට ඇගේ නලල සිප ගන්නට ලංවෙත්ම එ් හුස්ම පොද ඇගේ මුහුණට දැනුනි. වෙනදා මෙන් එ් හුස්ම පොදේ උණුසුමට නතුව ඔහුගේ ගතේ වෙලෙනවා වෙනුවට අද ඇයට ඇති වුයේ තරහකි පිළිකුලකි. ඇය එකවරම ඔහුව තල්ලු කර දමා යහනෙන් නැගිට බිමට බැස ගත්තාය. විවාන් තරහින් රතු කරගත් නෙතින් ඔහු දෙස බලමින් වේගයෙන් හුස්ම ඉහලට පහලට ගන්නා ලවන්යා දෙස බැලුවේ විමතියෙනි.

“ලවන්යා!!”

“එපා ඔය කටින් මගේ නම කියන්න. මට අහන්න ඔන නැ ඔය කටින් මගේ නම”

ඇය කෑගසා පවසද්දි විවාන් ඇය වෙත ලංවන්නට ගියේ වේදනාවෙනි. එහෙත් ඇය අඩියක් පිටුපසට තැබුවාය.

“අල්ලන්න එපා මාව. මට හිරිකිතයි තමුසෙව. ළගටවත් එන්න එපා.”

“මම දන්නවා ඔයාට මම කළේ වරදක්. එ්ත් දැන් අපි අපේ දරැවා ගැන හිතමු ලවන්යා. එයා වෙනුවෙන් එ් හැම දේම අමතක කරමු.”

“මොන ළමයෙක්ද? මට ඔන නැ. මට මේක ඔන නැ.”

“ලවන්යා!!”

විවාන් අකුණක් ගැසුවාක් මෙන් හුන් තැනම නතර විය. ඇගේ නෙතින් කදුලු ගලා යන්නට විය. එ් නෙත්වල පිරි තිබුණේ ඔහු වෙනුවෙන් වෛරයක්ම පමණක් බව විවාන්ට වැටහුනි.

“දරැවෙක් මේ ලෝකෙට එන්න ඔන ආදරයක් නිසා මිස කාගෙවත් අත් වැරදිමකට නෙමෙයි.”

“ඇයි අපි අතර ආදරයක් නැද්ද?”

“ආදරයක්!! කවදද එහෙම එකක් තිබ්බේ? වංචාව ,රැවටිල්ල බොරැව ඇරැනහම. මට ඔන නැ ඔයාගේ ලේ ඇගේ දුවන දරැවෙක් මගේ බඩින් වදන්න. ඊට හොදයි පාරේ යන හිගන්නෙක්ගේ දරැවෙක් හදනවා.”

“ලවන්යා!!!”

එවර ඔහුගේ හඩ මදක් උස්විය. 

“මට ඔන නැ මේක…මට ඔන නැ…”

ඇය වියරැවෙන් මෙන් කෑගසමින් බඩට පහර දෙද්දි විවාන් වහා පැන ඇගේ දෑත අල්ලා දෙපසට කර තද නර අල්ලා ගත්තේ වේදනාවෙනි.

“එ් වුනාට මට ඔන. මේ දරැවා වගේම ඔයාවත්.”

“මට හුස්ම ගන්න බෑ. මාව පිච්චෙනවා මේක බඩේ තියාගෙන ඉන්න මට බෑ.”

“ඔච්චර දරැණු වෙන්න එපා ලවන්යා. මගෙ වැරදි වලට මේ බඩේ ඉන්න අහිංසකට වෛර කරන්න එපා.”

“මට ඔන නැ. ඔව් මම දරැණුයි. නපුරැයි. මම තමුසෙට වෛර කරනවා. ඇහුනද විවාන් ජයතිලක අයිහේට් යු.”

ඇය එසේ පවසා කෑගසද්දි එ් වචන ඔහුගේ පපුව පසාරැ කරගෙන යන්නට විය. මහ හඩින් යලි යලිත් එ් වදන්ම පැවසු ඇයට හිස එකවරම දැඩිව රිදුම් දෙනු දැනුනි. ගතින් දහඩිය ගලා යද්දි තවත් වදනක්වත් පවසන්නට ශක්තිය නොමැතිව ඇය එහෙමම විවාන්ගේ ගතට කඩා වැටුනි. 

“ලවන්යා!!”

ඔහු කලබලයෙන් සිහිසුන් වු ඇගේ ගත ඔසවා වහා යහන මත තබා එතනම වු බොත්තම එබුවේය. 

හෙදියනුත් වෛද්‍යවරැත් කාමරයට ගිය පසු විවාන් ඉන් එලියට ආවේ පරාජිතයෙකු ලෙස හිස බිමට නැබුරැ කරගෙනය. ඔහුගේ එ් අසරණ පෙනුම දුටු නර්මදාටත් ඔහුගේ දෙසොහොයුරියන්ටත් ඇතිවුයේ වේදනාවකි.

“පුතේ!!”

නර්මදා ඇමතුවත් විවාන් එතනින් පිටව ගියේ ඔවුන් දෙස නොබලාමය. 

නැවත සිහි ලැබු පසු ලවන්යා කාමරයට කිසිවෙකුට එන්නට ඉඩ නොදෙන මෙන් හෙදියගෙන් ඉල්ලා සිටියේ තවත් හිත විඩාපත් කරගන්නට නොහැකිවය. ඇය කාමරයේ යහනේ ඇද වට්ටමට හේත්තු වි ඔහේ ඉදිරියේ වු හිස් සුදු බිත්තිය දෙස බලා සිටියාය. රාත්‍රිය උදා වී ඇත. ඇගේ නෙත්වලින් කදුලු පේලි ගලා යන්නට විය. තුවාලයේ වේදනාව දන්නේ තුවාල ලබපු කෙනාය. එලෙසටම ඇගේ හදවතේ වු එ් තුවාලයේ වේදනාව දන්නේ ඇයම පමණි. සියල්ල එකතු වි කල එ් දරැණු රැවටිම ඇයට දරා ගත නොහැකිය. එ් වේදනාව ඇයට දරා ගත නොහැකිය. ඇය හෙමිහිට උදරයට අතක් තැබුවාය.

“මගෙ වැරදි වලට මේ බඩේ ඉන්න අහිංසකට වෛර කරන්න එපා.”

ඇයට විවාන්ගෙ වදන් සිහිවිය. ලය පිලිස්සී යනු ඇයට දැනුනි. ඇය ඉකිගසා හැඩුනි.

තමා මොනතරම් නපුරැ ගැහැණියක්ද කියා ලවන්යාට හිතුනේ එවිටය.මේ ලෝකෙ එළියවත් නොදැකපු ඒ අහිංසකයාට තමා ඔහු නිසා වෛර බදී.දෛවය කලේ මොනතරම් දරැණු සෙල්ලමක්ද?

කලක් සමනලියක මෙන් නිදහසේ සැහැල්ලුවේ ජිවත් වු ඇගේ දිවිය මේ වගේ අපායක්ව යයි කියා ඇය සිහිනෙකින්වත් සිතුවේ නැත. මේ සියල්ල මෙසේ වුයේ කෙසේද? සියල්ල වැරදුනේ කොතනින්ද? එ් මීට වසරකට පෙරද? නැතිනම් ඊටත් පෙරද? ඇය කුස හෙමිහිට පිරිමදිමින් නෙත් හෙමිහිට පියා ගත්තාය.

මතුසම්බන්ධයි෴

චේතනා ද සිල්වා

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *