සැමියාගේ දියුණුවට අත හිත දෙන්න

සැමියාගේ දියුණුවට අත හිත දෙන්න

Dorothy Carnagie’s How to help your husband Get Ahead ඇසුරෙනි.(ලිපි පෙළේ සය වැන්න )

6. නොකඩවා අධ්‍යාපන කටයුතුවල යෙදෙන ලෙස ඔහුව දිරිමත් කරන්න.

ඔබේ සැමියා ඊළඟ උසස් වීම සඳහා සූදානම් ද? එසේ නැත්නම් ඔහු ඒ ගැන ගන්නා ක්‍රියාමාර්ගය කුමක් ද?

ඔබ ඒ ගැන කර ඇත්තේ කුමක් ද?

රැකියාවට පළමුවෙන් එක්වන අවස්ථාවේදී වසර කිහිපයකට පසුව තමාගෙන් අපේක්‍ෂිත වෘත්තීය නිපුණත්වය ලද පුද්ගලයින් ඉතා විරල ය. අත්දැකීම් හා විශේෂ පුහුණු තුළින් තම වෘත්තීය දැනුම හා නිපුණත්වය වඩවා ගැනීම නිරන්තරයෙන් සිදු කළ යුත්තකි.

තමා සිටින තැනට වඩා ඉහළ තැනකට යාම සැම දෙනාගේම සිහිනයකි. එය කළ හැකි ප්‍රධාන ආකාර අතුරින් එකකි, අධ්‍යාපනය.

සමහර ආයතන තම වියදමින් සේවකයින්හට විශේෂ පුහුණු ලබාදෙති. කළමනාකරුවන් තම ආයතනයේ ප්‍රවර්ධනය උදෙසා තම සේවකයන්හට වෘත්තීය පුහුණුව ලබා දීම හා ප්‍රවර්ධනය ට අවස්ථාව සැලසීම මගින් තම ආයතනයේ උන්නතිය සලසයි.

අවශ්‍ය පුහුණුව තමා විසින්ම ලබාගැනීමට තරම් ස්වයංපෙළඹවීමක් හා තන්වැසි නුවණක් සහිත සේවකයින් සඳහා උසස්වීම් ලබා දීම අනෙකුත් ආයතන විසින් අනුගමනය කරනු ලබන ප්‍රතිපත්තිය වේ.

සමහර ඉතා උසස් වෘත්තිකයින් තම දියුණුව ලබාගෙන ඇත්තේ මෙම ආකාරයට අමතර කාලය අධ්‍යාපනය වෙනුවෙන් කැප කිරීමෙනි.

  • චාර්ල්ස් ෆ්රොස්ට් නම් සපත්තු නිෂ්පාදකයෙකු ප්‍රසිද්ධ ගණිතඥයෙකු වන්නේ දිනකට පැයක කාලයක් අධ්‍යාපනය සඳහා වෙන් කිරීම තුළිනි.
  • වඩු කාර්මිකයෙකු වූ ජෝන් හන්ටර්, ඔහුගේ රාත්‍රී නින්ද පැය 4 කට සීමා කරගනිමින් සංසන්දනාත්මක ව්‍යුහ විද්‍යාව හදාරා එම අංශයේ නිපුනයෙකු විය.
  • ජෝර්ජ් ස්ටීවන්සන් ඔහුගේ රාත්‍රී වැඩ මුරය තුළ දී ගණිතය හැදෑරුවෙකි. ගල් අඟුරු ඇදීම සඳහා පීලි රිය මුලින්ම නිපදවීමේ ගෞරවය හිමිවන්නේ ඔහුට ය.
  • උපකරණ නිෂ්පාදකයෙකු ලෙස සේවයේ යෙදෙමින් ලැබෙන අතරවාරයේ රසායන විද්‍යාව හා ගණිතය උගත් ජේම්ස් වොට් වාෂ්ප එන්ජිම නිපදවිය.

මේ මිනිසුන් ඔවුන්ගේ සාමාන්‍ය රැකියාවට සීමා වී උකටලීව කාලය ගෙවුවේ නම් ලෝකයට සිදුවන්නේ කෙතරම් පාඩුවක් ද? වැටුපක් ලැබීමෙන් පමණක් සංතෘප්තව ඉගෙනීම නතර කළ අයෙකුට මේ තරගකාරී ලෝකයේ ඉහළ නැගීමට වරම් නොලැබේ.

 රැකියාවේ උසස් වීමක් පතා ඉගෙනීමේ යෙදෙන අයෙකුගේ බිරිඳකට ඒ වෙනුවෙන් ඔහුට උදව් කළ හැක්කේ කෙසේ ද?

ප්‍රධාන වශයෙන් ඔබේ ආකල්ප, සිතුම් පැතුම් හා ක්‍රියාකාරකම් ඒ අනුව හැඩගස්වා ගැනීම යි.

වඩා වැදගත් වන්නේ කෙනෙකුට ඉහළ තලයකට නැගීම සඳහා ආත්ම-සංවර්ධනය අත්‍යවශ්‍ය බව වටහා ගැනීම ය. ඒ සඳහා යොදවන කාලය, ශ්‍රමය හා මුදල පවුලේ අනාගත දියුණුව සඳහා කරන ආයෝජනයක් බව සිතන්න.

රැකියාවෙන් පසු සතියකට දින කිහිපයක් අමතර පන්තිවලට ගොස් අධ්‍යාපනයේ යෙදෙන අයෙකුට ඔබ වෙනුවෙන් කැප කිරීමට ඇත්තේ සීමාසහිත වේලාවකි. ඒ බව වටහාගන්න.

එම සීමිත වේලාව ඔහු සමග ගැටුම් ඇතිකර නොගෙන ඔබ දෙදෙනාටම ප්‍රිය උපදවන අකාරයකින් ගෙවෙන ගුණාත්මක පැය කිහිපයක් බවට පත් කරගැනීමේ වගකීම ඔබ සතු ය.

එසේ නොකරන්නේ නම්, ඔබේ නොමනාපයන් නිසා ඔහුට අධ්‍යයන කටයුතු කෙරෙහි නිසි අවධානයක් යොමු කිරීම අපහසු වීමට ඉඩ තිබේ. සමහරවිට තනිකම පාළුව ගැන ඔබේ නිරන්තර කන්කෙඳිරිලි නිසා අධ්‍යාපන කටයුතු සම්පූර්ණයෙන් අතහැර දැමීමට පෙළඹීමට පවා ඉඩ තිබේ.

ඔබේ සැමියා රැකියාවේ උසස්වීම් නොලැබීමට තමා ගේ හැසිරීම් ද යම් පමණකට හේතුවන බව අවබෝධ කර නොගන්නා කාන්තාව ඔහුගේ නොහැකියාව දෝෂ දර්ශනයට ලක් කිරීමට පවා පෙළඹෙන අවස්ථා තිබේ.

සෙසු සාර්ථක මිනිසුන් දෙස බලන්න. ඔවුන් ඉපදී ඇත්තේ ඒ ආකාරයෙන් නොවේ. ඔවුහු තම අගය වැඩිකරගැනීම උදෙසා යම් වෘත්තීය නිපුනත්වයක් හා දැනුමක් ලබා ගැනීම සඳහා වෙහෙස වී වැඩ කළ අය වෙති. විවාහයට පෙර එම තත්ත්වයට පැමිණි අයෙකු වූවත් ලෝකයේ දැනට පවතින නැඹුරුතා, නව සොයා ගැනීම් ආදිය සම්බන්ධව තම දැනුම යාවත්කාලීන කරගැනීම අත්‍යවශ්‍යයෙන්ම කළයුත්තකි.

 එසේම ඔහු නොමැතිව ගෙවෙන කාලය ගතකිරීම සඳහා ඔබේම ක්‍රියාකාරකම් සොයාගන්න. එම කාලය ආත්මානුකම්පාවෙන් වෙලී, තැවෙමින් ගතකරනු වෙනුවට ඔබ ප්‍රියකරන වැඩක යෙදීමට ඔබ ලද මහඟු අවස්ථාවක් ලෙසින් සලකා භාරගන්න.

ඔබ ද යම් දෙයක් අධ්‍යයනය කරන්න. එය ඔබේ රුචිකත්වය අනුව සිදු විය යුතු ය. නිවසේ සිට යම් ආදායම් මාර්ගයක් පාදා ගැනීමට උපකාර වන යමක් එසේ නැත්නම් ඔබේ සැමියාගේ කාර්යයන් පහසු කිරීම සඳහා උපයෝගී වන දෙයක් ඉගෙනීමට ඔබට හැකි ය. දෙදෙනා එක්ව අමතර පන්තිවලට සහභාගී වීම විනෝදජනක ක්‍රියාවක් ද වනු නිසැක ය.

ඉගෙනීම සඳහා වැයකිරීමට තරම් මුදලක් ඔබ සතුව නැත්නම්  ප්‍රාදේශීය පුස්තකාලයක සාමාජිකත්වය ලබා ගැනීමෙන් ස්වයං අධ්‍යයනයක නිරතවිමටද ඔබට හැකි ය.

මල් වැවීම, එළවලු වැවීම වැනි දෙයට යොමුවීම තුළින් නිවසේ අලංකාරය, ඔබට සැනසීම මෙන් ම පවුලේ පරිබෝජනය සඳහා වස විසෙන් තොර ආහාර ලබාදීමටද ඔබට හැකිවනු ඇත.

ආත්ම සංවර්ධනය සඳහා කටයුතු කිරීමට,

  • ඔහුට ආධාර කරන්න.
  • ඔහුට මග පෙන්වන්න.
  • ඔහුට යෝජනා කරන්න.
  • ඔහුව පොළඹවන්න.

මානෙල් විජිතා  ප්‍රනාන්දු

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *