සීතලෙන් ගල් ගැසෙන නුවර එළිය බලා

සීතලෙන් ගල් ගැසෙන නුවර එළිය බලා

සංචාරය විනෝදාංශය වුනු අපි දෙන්නාගේ සංචාරක ජීවිතේ තවත් එක් දවසක්.සති අන්තයක උදේ පාන්දරම නොවුනත් 6.00 වගේ වෙද්දී අපි නිවසින් පිටත් වුනේ උදේ කෑමත් සුදානම් කරගෙනයි. අපි තෝරා ගත්තේ කළුතර සිට හොරණ දක්වාත් එතැන් සිට පාදුක්ක හංවැල්ල ඔස්සේ අවිස්සාවේල්ල හරහා කිතුල්ගල දක්වාත් A 7 මාර්ගය ඔස්සේ ගමන් ගත්තා. නිවාඩු දිනයක් වූ බැවින් කිතුල්ගල රාෆ්ටින්ග් ක්‍රීඩා ව සඳහා සැලකිය යුතු පිරිසක් ඒ වන විටත් පැමිණ තිබුණු අතර මාර්ගය තරමක තදබදයක් ගෙන තිබුනේ වල නොකැඩී කිතුල්ගල දෙසට පැමිණෙමින් තිබුණු වාහන නිසයි. අප කිතුල්ගල ප්‍රධාන ජල ක්‍රීඩා ප්‍රදේශ පසු කරමින් ඉදිරියටම ගමන් කලේ කිතුල්ගල හරහා වැටී ඇති කැළණි ගං කොමලියගේ එක සුන්දර ස්ථානයක් නැරඹීමටයි. 

ක්‍රමයෙන් අපගේ ගමන් මාර්ගය A 7 මාර්ගයෙන් B 328 මාර්ගයට වෙනස් කල අප පිවිසී තිබුනේ ලක්ෂපාන ලෙස නම් කල මාර්ගයක් වෙතටයි. ලක්ෂපාන කියූ සැනින්ම අපගේ සිහියට නැගෙන්නේ සුප්‍රසිද්ධ විදුලි බලාගාරයයි. නමුත් අද දිනයේ අපගේ අරමුණ ලක්ෂපාන බලාගාරය නොව එයට මුලාශ්‍ර වූ සුන්දර ලක්ෂපාන දියඇල්ල නැරඹීමට යාමයි. උසින් මීටර 126 වන ලක්ෂපාන දියඇල්ල ශ්‍රී ලංකාවේ 08 වෙනි උසම දියඇල්ල වන අතර ලෝකයේම 625 වන ස්ථානයේ පිහිටි දියඇල්ල වනවා. මෙයට ජල මුලාශ්‍ර සපයනුයේ මස්කෙලි ඔය බව ප්‍රකට කරුණක්. පැරණි ජන ප්‍රවාද වලට අනුව බුදුරජානන් වහන්සේ ශ්‍රී පාදස්ථානයට වැඩම කල අවස්ථාවේ සිය සිවුරේ ඉරුණු ස්ථානයක් පිරියම් කර ඇත්තේ මෙම ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව බව දැක්වෙනවා. මීට අමතර ලක්ෂ යන්න යපස් වලින් බිඳී ආ වදනක් බවත් පාන යනු පාෂාණ වලට වැහැරූ වදනක් බවත්  එය විකසනය වී ලක්ෂපාන ලෙස නම් ලැබුණු බව ජනශ්රුති වල සඳහන් වනවා. 

ලක්ෂපාන ජලාශය ආශ්‍රිතව මේ වන විට නව ලක්ෂපාන බලාගාරය, කැන්යොන් බලාගාරය සහ පොල්පිටිය සමනල බලාගාරය නිර්මාණය වී ඇති අතර මේ වන විට ලක්ෂපාන දිය ඇල්ලේ ජලය විශාල වශයෙන් අඩු වීමට එය හේතු වී තිබෙනවා. මෙම විදුලි බලාගාර වල බලපෑම නිසා කිතුල්ගල ආශ්‍රිතව ඇති ගංගාවේ ජලය විශාල වශයෙන් අඩු වී ඇති බව අප අත්දැකීම් වලින් දුටු කරුණක්. කිතුල්ගල ආශ්‍රිතව මේ වනවිට චීන රජයේ අනුග්‍රහය ඇතිව ඉදි වන නව ජාල විදුලි බලාගාරය හේතුවෙන් කිතුල්ගල ආශ්‍රිතව සොබාව  සෞන්දර්යයේ ඉතා සීග්‍ර විනාශයක් අප ඇත දැක්කේ පසු ගිය වසර තුලයි. මීට අමතරව කිතුල්ගල සංචාරකයන් ඉලක්ක කොට ගෙන ක්‍රියාත්මක වන අප රටට විශාල විදේශ විනිමයක් ලබා දෙන white water rafting ක්‍රීඩාව සඳහා මේ වන විට අවක්කාශ කෙමෙන් කෙමෙන් අවම වී යන්නේ ඉහත සඳහන් කල ජල විදුලි බලාගාර වල ප්‍රතිපලයක් ලෙසයි. නිසි පරිදි තාක්ෂණයක් යොදාගෙන සම්පත් මනා ලෙස කලමනාකරකනය නොකෙරුවොත් හෙට දිනයේ අපට මේ සුන්දර ස්ථාන අහිමි වී යනු නිසැකයි. 

අපි පිවිසී තිබු B 328 මාර්ගය එතරම් නඩත්තුවට ලක් නොවී තිබුණු මාර්ගයක් වුනු අතර ගමන ආරම්භදී මාර්ගය තරමක හොඳ තත්වයේ පැවතුන මුත් එන්න එන්න මාර්ගය ක්‍රමයෙන් කඩතොළු සහිත වුනා. නමුත් මාර්ගය දෙපස සුන්දරත්වය නම් කිසිදු මොහොතක අඩු වුයේ නෑ. විටෙක ජන ශුන්‍ය ප්‍රදේශයන්ද විටෙක තේ වතු සහ ජනාවාස මැදින්ද අපගේ ගමන් මග වැටී තිබුණා. විටෙක පාර ඉතාමත් කඩතොළු සහිතව දුෂ්කර වුනු අතර වාහනය විටෙක නවතා පාරේ මද දුරක් ඉදිරියට පයින් ගමන් කොට මාර්ගයේ තව දුරටත් යා හැකි දැයි තහවුරු කරගැනීමට අපට සිදු වුනු අතර ක්‍රමයෙන් තැනිතලාවක තිබුණු මාර්ගය කන්දක් බවට පරිවර්තනය වුනේ  නොදැනීමයි. එක්  ස්ථානයකදී කාරය එක වරම පසු පසට ඇදී ගිය අතර තිරිංග තද කිරීමෙන් සිදු වුයේ තව දුරටත් බොරළු සහිත පොළොවේ ලිස්සා යාමයි. එම ස්ථානයේ මාර්ගය බෙහෙවින් කැඩී බිඳී තිබුණු අතර එහි තිබු කඩතොළු ස්වාභාවය නිසාම ගමන් කිරීම අපහසු වුනා. 

අපව තවත් අධෛර්යයට පත් කලේ එම ස්ථානයේ නවතා තිබු සැලෝන් රථයක්. එය එම ස්ථානයේ නවතා තිබුනේ තව දුරටත් එම මාර්ගයේ යාමට නොහැකි බැවින් යයි වටහා ගැනීමට අපට අපහසු වුයේ නැහැ. 

අපට ඒ මොහොතේ කල හැකි කාර්යන් දෙකක් තිබුණු අතර එක්කෝ අපි වාහනය හරවන් නැවත ආ මාර්ගයේ ගමන් කොට කිතුල්ගල සිට නොටන්බ්රිජ් දක්වා A 7 මාර්ගයේ ගොස් නොටන්බ්‍රිජ් සිට නැවත අනෙක් දිශාවෙන් මෙම මාර්ගයට පැමිණිය යුතුව තිබුනා. නැතහොත් කෙසේ හෝ මෙම ස්ථානය තරණය කල යුතු වුනා. මේ වන විට අප ගමනින් භාගයක් පමණ දුර පැමිණ අවසන්. ඉදිරියට ගොස් බලු විට මාර්ගය හිතු තරම් කඩතොළු වී නොමැති බවත් මෙම ස්ථානය කෙසේ හෝ පසු කලොත් අපට ඉදිරියටම ගමන් කල හැකි බවත් අපට සිතුනු බවින් අප දෙවන අදහස ක්‍රියාත්මක කලේ මාර්ගය අවට තිබු ගල් කිහිපයක් යොදා තරමක් සකසා ගැනීමෙන් අනතුරුවයි.

ගල් ගැලවී තිබුණු මාර්ගයේ අප ඉතාමත් ප්‍රවේසම් සහිතව රිය ධාවනය කලේ අවට සුන්දරත්වයත් නරඹමිනුයි. කොළ පහන් වැසී ගත් තේ වතු නෙතට සොඳුරු දසුනක් මවා පෑවා. මාර්ගයේ ඉතාමත් කලාතුරකින් ගමන් ගත මෝටර් සයිකලයක් අපට හමු වුනු අතර ඊට අමතරව වෙනත් වාහන හමු නොවුණු තරම්. මෙම මාර්ගයේ ගමන් කිරීමට වඩා සුදුසු වන්නේ ෆෝවීල් රථයක් බව අවදාරණය කල යුතු වන අතර එදිනෙදා භාවිතා කරන මෝටර් රථ වලින් ගමන් කිරීම මදක් අපහසු වනවා. 

තවත් කිලෝමීටර හයක් පමණ ගමන් කිරීමෙන් අනතුරුව අප කුඩා කදමන්දියකට සේන්දු වුනු අතර එතන රිය නතර කලේ ලක්ෂපාන දියඇල්ල පිළිබඳව තොරතුරු දැනගැනීමටයි. එහි තිබු එක කඩයටක ගොඩ වැදුණු අප සිසිල් බීම බෝතලයක් මිලදී ගත්තේ ඒ වන විට කාරයේ ගමන් කල ආකාරය නිසා අප බෙහෙවින් විඩාවට පත් වී සිටි නිසායි. කඩයේ මුදලාලි සමග කතාවට වැටුණු අප විමසුවේ ලක්ෂපාන දියඇල්ල තව දුරද යන්නයි. ඔහු ඉතා සුන්දර සිනහවකින් අපට සංග්‍රහ කර කඩයට මෑතින් තිබුණු විදුලි කණුවක් දක්වා පැවසුවේ මේ කනුව ලඟින් පහලට ගියාම ලක්ෂපාන ඇල්ල මුණ ගැසෙනවා යනුවෙනුයි. කොපමණ දුරක් ගමන් කල යුතු දැයි අසු විට ඔහුගේ පිළිතුර වූයේ කිලෝමීටරයක පමණ දුරක් පහලට බැසිය යුතු බවත්,වාහනය සිය කඩය අසල දමා ගියාට කමක් නැති බවත්ය. ඔහුට ස්තුති කොට අපි ලහි ලහියේ ඔහු පෙන්වූ මාර්ගය ඔස්සේ ඉදිරියට යන්නට ගමන ආරම්භ කලේ කැමරා අම්පන්නත් රැගෙනයි. 

මාර්ගය ආරම්භ වුයේ කඩයකින්. මද වෙලාවක් ගමන් කිරීමේදී එළවලු පාත්ති කිහිපයක් මැද තනි වුනු නිවසකින් සහ වගාවක යෙදෙන පිය පුතු දෙපළක් පසු කරමින් අප ඉදිරියටම ගමන් කළා. ගමන පහසු වීම සඳහා පඩි පෙළ තනා තිබුණු අතර සුපුරුදු ලෙස පටු උසින් වැඩි පඩි  පන්ති තනා තිබුණා. දෙපස තැනින් තැන නිවාස කිහිපයක් පිහිටා තිබුණු අතර නිවාස නොමැති ප්‍රදේශ සම්පූර්ණයෙන්ම වාගේ වැසී තිබුනේ තේ ගස් වලින්. ස්ථාන දෙකක ලක්ෂපාන ඇල්ලට යනුවෙන් දැන්වීම් දමා තිබුණු අතර තේ වත්ත අතරින් වෙනත් දිශාවන් වලට යාමට තිබු මාර්ගයන්වල ගමන් කොට මාර්ගය වැරදීමේ අවස්තාව ඉන් අවම  වුනා. මෙම මාර්ගයේ තැනින් තැන කරල් වලින් පිරුණු කරාබු ගස් මග දෙපස සුවඳවත් කළා. අප ටිකින් ටික පහලට බසින විට අපට පෙර ඇල්ල නැරඹීමට ගොය කුඩා කණ්ඩායමක් අප පසු කර ගමන් ගත අතර ඔවුන්ගේ විඩාබර මුහුණු ඇල්ලට ඇති දුර අපට පෙන්වූවා. 

අප මේ වන විට පසු කරමින් සිටියේ ලක්ෂපාන රෙස්ට් නමින් හැඳින්වුණු නවාතැන සහ අලෙවි හලයි. එම අලෙවි හලේ නොයෙකුත් වර්ගයේ බීම වර්ග තිබුණු අතර නවාතැන්පලේ නම් කිසිවෙකු නතර වී සිටින බවක් දක්නට තිබුනේ නැහැ. 

දිගින් දිගටම ගමන් කල අප ඉන්පසුව තුන්මන් හන්දියක නතර වුයේ එතනින් එහාට යායුතු මාර්ගය තීරණය කර ගත නොහැකිවයි. එතනින් කෙලින්ම පහලට පඩි පවතී අතර දකුණත දෙසට තැනිතලා මාර්ගයක් පිහිටා තිබුනා. පඩි බැස  ගිය පසු අපට හමු වුයේ එක වත්තේ පිහිටි නිවාස කිහිපයක්. එම නිවාස වලින් ඇසූ  විට අප යායුතු වන්නේ අනෙක් මාර්ගයේ යයි ඔවුන් පැවසුවා. ඒ අනුව පඩි සහ මාර්ගය හමු වන ස්ථානයේදී දකුණට හැරී තැනිතලා මාර්ගයේ ගමන් කල යුතු වනවා. එම මාර්ගය තැනිතලා වන්නේ මද දුරක් පමණයි. නැවතත් සුපුරුදු ලෙසට පඩි ආරම්භ වන්නේ තව දුරටත් පහතට බැසීම සඳහායි. මෙහි මදක් දුර ගමන් ගනිද්දේ ඈතින් ජලය ගලා හැලෙන ශබ්ධය ඇසීමට ආරම්භ වන අතර දැන් දැන් දියඇල්ල ළඟම ඇතැයි සිතුනද චායාවක් හෝ දැක ගත හැකි වන්නේ තව ටික දුරක් පහලට බැසීමෙන් අනතුරුවය. 

සේලයක් සේ කඩා හැලෙනා දිය ඇල්ලේ ඉහල කොටස අපට යාන්තමට දර්ශනය වීමට ආරම්භ වන්නේ ඉන්පසුවයි. තවත් පඩි දහයක් පමණ යන විට දිය ඇල්ලේ මද කොටස පෙනී එක මොහොතක දියඇල්ල සම්පුර්ණයෙන්ම නොපෙනී යයි. තවත් පහතට බලු විට එක ස්ථානයකින් අපට නැවත සම්පූර්ණ දියඇල්ල සහ දිය ඇල්ල පහතට කඩා වැටෙන ස්ථානය සහ තටාකය මනාව දර්ශනය වන්නේ ඉතාම අලංකාර දර්ශනයක් මවා පාමිනි. සුරංගනා කතාවල සඳහන් වන සුරංගනාවන් වෙසෙන දියඇල්ලක් සහිත ප්‍රදේශයක් ලෙස මෙම දර්ශනය ඈතින් බලු විට දිස්වේ. 

දැන් අප පිවිසී සිටින්නේ දිය ඇල්ලෙන් ගලා හැලෙන ජලය සෙමෙන් බැස  යන ස්ථානයටයි. අපගේ දකුණු දිශාවෙන් ඉතා ඉහල සිට අපූරුවට කඩා හැලෙන සුන්දර ජල දාරාව දිස් වුනු අතර හුස්ම ගැනීම පවා මොහොතකට අපට අමතක වුයේ එම ජල කඳ වැටීමේදී විසිරුණු පිනි අවට පරිසරය පුරාවටම ඉතා සීරුවට පැතිරී ගිය අපූරුව දැකීමෙන්. පසු ගිය දින වලදී වර්ෂාවේ යම් අඩුවක් තිබුණු නමුත් ඇල්ලේ ජාල ධාරාවන් විශාල ලෙස අවම වී තිබුනේ නැහැ. අප සිටි ස්ථානයේ සිට දියඇල්ල පාමුලට ගල් කුළු මතින් තරමක දුෂ්කර ගමනක් යාමට සිදු වුවත් අපි හිමින් හිමින් එදෙසට යන්න තීරණය කලේ දිය ඇල්ලේ සුන්දරත්වය වඩාත් සමීපව චායාරූපගත කර ගැනීම සඳහායි. 

මේ වන විට තවත් පිරිසක් දියඇල්ල වෙත ලඟා වෙමින් තිබුණු අතර ඔවුන් වයසින් අඩු මුතුරු මිතුරියන් පිරිසක් වුනා. දිය ඇල්ලේ සුන්දරත්වය විවිධ කෝණ වලින් සුන්දරත්වයට නැගු ඔවුනට එතන සුන්දරත්වය සිත් සේ විඳගැනීමට ඉඩ දී අප එතනින් නැවතත් ඒමට පිටත් වුයේ මෙය අපගේ එක ගමනාන්තයක් පමණක් වූ බැවින්. 

අද දිනය අප වෙන් කොට තිබුනේ ශ්‍රී ලංකාවේ සුන්දරම දිය ඇලි කිහිපයක් නරඹන අතර නුවර එලිය බලා යාමටයි. ලක්ෂපාන ඇල්ලෙන් සමුගත් අප අඩියෙන්  අඩිය නැවතත් පඩි පේලියේ ඉදිරියටම ගමන ආරම්භ කළා.  

හංසනී හිදැල්ලආරච්චි

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *