ඇදුම රෝගය සහ ඔබේ දරුවාගේ වර්ධනය

ඇදුම රෝගය සහ ඔබේ දරුවාගේ වර්ධනය

ඇදුම රෝගය යනු ශ්වසන මාර්ගය ආශ‍්‍රිත කල් පවතින රෝග තත්ත්වයකි. මෙහි දී ශ්වසන මාර්ගය ආසාදනය වීම නිසාවෙන් ඇති වන ප‍්‍රදාහය නිසා ශ්වසන මාර්ගයේ ස‍්‍රාවයන් වැඩි වශයෙන් නිපදවනු ලබයි . එහි ප‍්‍රතිඵලය වන්නේ ශ්වසන මාර්ගය පටු වීමයි. එමඟින් කැස්ස හා ශ්වසන අපහසුතා ඇති වීමයි .ඇදුම රෝගය පිළිබඳ අප දැනුවත් වීම අවශ්‍ය වන්නේ කුඩා දරුවන්ගෙන් 15%-20%ක් මෙම රෝගයට ගොදුරු වන නිසාවෙනි .
මෙම කලාපයේ ලිපියෙන් මා සාකච්ඡා කීරීමට බලාපොරොත්තු වන්නේ ඇදුම රෝගය සෑදෙන ආකාරය , රෝග ලක්ෂණය ,ප‍්‍රතිකාර සහ වළක්වා ගැනීම පිළිබඳ නොවන අතර ඇදුම රෝගය නිසා ඔබ ඔබේ දරුවාට පනවා ඇති සීමාවන් කෙතරම් දුරට විද්‍යාත්මක ද යන්න සළකා බැලීම යි.
ඇදුම රෝගය වැළදී ඇති ඔබේ දරුවාට දිනපතා පාසල් යෑම ,වෙනත් පරිබාහිර ක‍්‍රියාකාරකම් වල නියැලීම අපහසු බව අපි දනිමු.මෙම ලිපියෙන් මා සාකච්ඡුා කීරීම ට බලාපොරොත්තු වන්නේ මීට අමතරව ඔබේ දරුවාට ඔබ විසින් සීමා පනවා ඇති ආහාර කිහිපයක් පිළිබඳව ය.
බහුතරයක් මව්වරු ඇදුම රෝගය වැළදී ඇති සහ වැළදීමේ අවදානමක් ඇති දරුවන්ට බිත්තර දීමට බිය වෙත . බිත්තර යනු අඩු වියදමකින් ලබා ගත හැකි පෝෂණ ගුණයෙන් අනුන ආහාරයකි .තම්බන ලද බිත්තර ග‍්‍රෑම් 100කට අන්තර්ගත කැලරි ප‍්‍රමාණය 155ක් වන අතර එහි ප්‍රෝටීන් ග‍්‍රෑම්13 ,කොලෙස්ටරෝල් ග‍්‍රෑම් 373 ,මේදය ග‍්‍රෑම් 11 , යකඩ 6% ක් හා අත්‍යාවශ්‍ය ඛණිජ ලවණ ද අන්තර්ගතය. බිත්තර විවිධ අයුරින් පිළියෙළ කර ගත හැකි බැවින් දරුවාට දීම ද පහසු ය.

බිත්තර ලබා දීමෙන් ඇදුම රෝගය උත්සන්න වීමක් වත් ,සෙම්ප‍්‍රතිශ්‍යාව ආශ‍්‍රිත රෝග වැළදීමේ අවදානමක් ඇති බව කිසි පර්‍යේෂණයක් මගින් සනාථ කර නැත . දයාබර මව්වරුනි, මෙවැනි මිථ්‍යා මත බැහැර කර ඔබේ දරුවාට නිසි පෝෂණයක් සපිරි ගුණවත් ආහාර ලබා දීමට නැණවත් වන්න.
කුඩා දරුවන් ප‍්‍රිය කරන තවත් රසවත් ආහාරයක් ලෙස යෝගට් හැඳින්විය හැක .යෝගට් ග‍්‍රෑම් 100 ක කැලරි 59 ක් අන්තර්ගත වන අතර ප්‍රෝටීන් ග‍්‍රෑම් 10 ,කාබෝහයිඩ්‍රේට් ග‍්‍රෑම් 3.6 ,මේදය ග‍්‍රෑම් 0.4ක අගයකින් ද පොහොසත් ය. මෙහි මිනිස් සිරුරට හිතකර ප්‍රෝබයෝටික් වලින් පූර්ණය.

ශීත කළ යෝගට් ලබා දීමෙන් ඔබේ දරුවාට ඇදුම රෝගය උත්සන්න විය හැක. එ් මන්ද යත් ශීත පරිසරය වයිරස් වර්ධනය හිතකර බැවිනි . යෝගට් ලබා දීමට පළමුවෙන් එය ශීතකරණයෙන් ඉවත් කර සාමාන්‍ය උෂ්ණත්වයට පත් වු පසු ඔබේ දරුවාට ලබා දෙන්න.
දයාබර මව්වරුනි, ඔබේ දරුවාගේ නීරෝගී වර්ධනය අපි අපේක්ෂා කරන්නෙමු. එම වර්ධනයට අවශ්‍ය යම් දැනුමක් මෙම ලිපියෙන් ඔබ ග‍්‍රහණයට නතු වු බව අපි සිතමු.

වෛද්‍ය කේ. එන් විජේසිංහ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *