දෙවන කාන්තාවාදී රැල්ල

දෙවන කාන්තාවාදී රැල්ල

දේපල හිමිකම සහ ඡුන්ද අයිතිය කෙරෙහි මූලික අවධානය යොමු කළ පළමු කාන්තාවාදී රැල්ලෙන් පසු දෙවන කාන්තාවාදී රැුල්ල ඊට වඩා ආන්දෝලනාත්මක මාතෘකා සම්බන්ධව පෙනී සිටියි. 1960 න් පසු පැන නගන මෙය කාන්තාවාදී ඉතිහාසයේ වඩාත්ම අවධානයට ලක්වන සමය බව ද හඳුනා ගත හැක. එමෙන්ම දෙවන ලෝක යුද්ධය හමාර වුව ද එහි උණුසුම තවමත් දැනෙන සමාජ වටපිටාවක යුරෝපය විසීම ද දෙවන රැුල්ලේ ආන්දෝලනාත්මක අදහස් වලට උත්පේ‍්‍රරක ලෙස හඳුනා ගත හැක. කාන්තාවාදිනියක ලෙස නම තබන බෙටී ෆ‍්‍රීඩන් ගේ දායකත්වය මෙම දෙවන කාන්තාවාදී රැල්ලට නොමසුරුවම ලැබේ.

දෙවන කාන්තාවාදී රැල්ල මූලිකවම ව්‍යාප්ත වන්නේ ඇමරිකානු මහාද්වීපය තුළයි. දශක දෙකක පමණ කාලයක් මතවාදීමය ලෙස බලවත් වන එය, පළමු කාන්තාවාදී රැල්ලට වඩා කාන්තාවගේ බහු ආංශික සංවර්ධනය අරමුණු කර ගනී. ලිංගිකත්වය, ප‍්‍රජනන අයිතිය, වැඩ පරිසරය, ගෘහස්ථ හිංසනය, භීෂණය වැනි කාන්තාව පුරුෂ සමාජය වෙතින් පීඩනයට පත් වන ආකාරයන් ගැන මෙහිදී වැඩි අවධානය යොමු කරයි. මේ අනුව දෙවන කාන්තා රැල්ල කාන්තාවට පුරුෂ මූලික සමාජ ක‍්‍රමය හේතුවෙන් අහිමි වන අයිතිවාසිකම් වලට වඩා ඇය ශාරීරික හා මානසික ලෙස සූරාකෑමට ලක්වීම පිළිබඳ අවධානය යොමු කරන බව දිස් වේ. මේ කතිකාවන් එකල සමාජය තුළ ඇතිවීමට හේතු ලෙස 1940 න් පසුව වන පශ්චාත් යුධමය පසුබිම දැක්විය හැක. ජනගහන හා ආර්ථික වර්ධනයට වැඩි අවධානයක් දීම එකල සමාජයට යුද්ධය කළ හානිය පූර්ණය කිරීමට අත්‍යවශ්‍ය සාධකයක් වූ අතර, මෙනිසාම ගැහැණුන්ට නිවස් වලට වී දරුවන් හදාවඩා ගැනීම යලිත් වෙන් විය. සාහිත්‍යමය හා මාධ්‍ය වැඩසටහන් ඔස්සේ ද පුරුෂයා පමණක් ආර්ථිකයටත් සමාජීය කටයුතු වලදී තීරණ ගැනීමටත් වැදගත්ය යන සාධකය හැඟවෙන අදහස් පැළපදියම් වෙමින් පැවතුනි.

පවතින සමාජ ක‍්‍රමය තව දුරටත් ගැහැණිය නිවසට සීමා කර තබමින් සමාජීය, ආර්ථික හා දේශපාලනික අවබෝධයෙන් දුරස්ථව තබන බව වටහා ගන්නා කාන්තාවාදී ක‍්‍රියාකාරිනියන් දෙවන රැුල්ල සඳහා මතවාදීමය වශයෙන් සන්නද්ධ වන අතර ප‍්‍රංශ ජාතික සිමෝන් ඞී බොවාරි ගේ ද්විතීක ලිංගිකත්වය හෙවත් සෙකන්ඞ් සෙක්ස් කෘතිය මෙම අදහස් පෘථුල වීමට හොඳ උත්පේ‍්‍රරකයක් ලෙස එම කාලසීමාවේ දී ක‍්‍රියා කරයි. බොවාරි කාන්තාවක දරන ප‍්‍රජනන කාර්යය, ළදරු පෝෂණය හෝ මාස් ශුද්ධිය ඇය සමස්ත සංවර්ධන ක‍්‍රියාවලියෙන් ඈත් කර තැබීමට තාර්කික හේතු නොවන බවත්, පුරුෂයා මධ්‍යගත මතවාදීමය මිථ්‍යාවේ කාන්තාව ද්විතීක පුද්ගලයෙකු කර තැබෙන බවටත් චෝදනා කරති. මේ කෘතිය බොහෝ භාෂාවන්ට පරිවර්තනය වූ අතර කාන්තාවාදිනියන්ට පුරුෂ සමාජයට එරෙහි කතිකා සඳහා හොඳ නිදසුන් ද සැපයීය.

1963 දී බෙටී ෆ‍්‍රීඩන් ගූඪ කාන්තාවාදය හෙවත් ෆෙමිනිස් මිස්ටික් කෘතියෙන් දෙවන කාන්තාවාදී රැුල්ලට නව පණක් ලබා දෙයි. නාගරික ඇමරිකානු ගෘහ ජීවිත විවරණය කරමින් හුදු නූතනත්වයක වෙසෙමින්, එහෙත් සම්ප‍්‍රදායික ගෘහණිය, මව, බිරිඳ ලෙස ජීවිතයේ පරිපූර්ණත්වය සොයා යන්නට බල කෙරෙන කාන්තාවන්ගේ අතෘප්තිකරභාවයන් ගැන ෆ‍්‍රීඩන් මෙහිදී පැහැදිලි කරන අතර එය එකල සමාජයෙහි ආන්දෝලනාත්මක අදහසක් විය. 1960 දශකයේ ඇමරිකානු සමාජය තුළ කාන්තාව වෙනුවෙන් වෙන් කළ ගුරු, හෙද වැනි රැුකියාවන්, එම වෘත්තීන් අරමුණු කරගත් අධ්‍යාපනය, කාන්තා පාරිභෝගිකයන් අරමුණු කරගනිමින් සිදු කෙරෙන වෙළඳ ප‍්‍රචාරණයන් ආදිය විස්තර කරමින්, ඇය නූතන සහ සුවපහසු ලෝකයෙහි තව දුරටත් නොසිතනා අන්දමින් පුරුෂ මූලික සමාජ ක‍්‍රමයෙහි කාන්තාව ආන්තික කර තබන්නේ කෙසේදැයි පැහැදිලි කරන්නීය. ෆ‍්‍රීඩන් ගේ මෙම අදහස් 1980 න් පසු හඳුනාගත හැකි දෙවන කාන්තා රැල්ලේ අගභාගයේ කතිකාවන්ට පදනම දමනු ලබයි.

ලබන කලාපයට : දෙවන කාන්තාවාදී රැුල්ලෙන් ඇති කළ සමාජ, ආර්ථික හා දේශපාලනික සංශෝධනයන්

සජිනි උයන්ගොඩ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *