සමනළ පාරාදීසයේ තතු – 1

සමනළ පාරාදීසයේ තතු  – 1

පෙරවදන

සොබාදම යනු අපගේ  ජීවනාලියයි. එහි පැවැත්ම උදෙසා නේක විද  වූ දායකත්වයන් දරන්නෝ බොහෝය. පොළොව මත වසන සිවුපාවුන් , තුරු හිස් අරා පිය සලන කුරුල්ලන් , ඔබ මොබ සරන සමනළුන් ඇතුළු විවිධාකාර කෘමි සමූහයා ද ඉනිදු නොනැවතී අපේ දෑසට නොගැටෙන තරම් අන්වීක්ෂීය දිළීර ඇල්ගී ආදී සියලු ජීවීන්ද සොබාදහමේ තුලිතතාවය සහ පැවැත්ම උදෙසා ඉටු කරන්නේ අනුපමේය මෙහෙවරකි.

මිහිමත සිසාරා හමන පවන විඩාබර ගතට සැනසීමකි.  හරිත පැහැ ගත් තුරු ලතා , ඒ අතර සරනා සියොතුන් හා සමනළුන් නෙතට මෙන්ම සිතටද රසඳුනකි. දුහුවිලි ධූම වලින් පෙලෙන ගිනි ගහන තාර පාරවල් හි ගෙවෙන ගත  හිරු රැසින් දැවෙත එවිඩා නිවන්නට සමත් කිසිවක් සොබාදම තරමට නොමැත. එනමුදු , අප විසින් පෙළනු ලබන්නේද මෙම සොබදහමමය. අප විසින් දල්වන්නට තනන්නේද මෙම සොබාදහමේ චිතකයමය.

මදක් නැවතී මේ දෙස නෙත් යොමා බලන්නට එහි සඟවා ගත් බොහෝ දේ පිළිබඳව විවර වූ මනසකින් දකින්නට මද ඉසිඹුවක් හෝ අප හට නොමැති වී ඇති සෙයකි. මුදල් පසුපස හමායන අප කෙතරම් මානසික ආතතියකින් පෙලෙන්න්නේදැයි කිවහොත් අපි බොහෝ දෙනා විනෝදාංශ කිසිවක් හෝ නොමැති ගල් පිළිම බවට පත්ව ඇත්තෙමු.

අදින් ඇරඹෙන මෙම ලිපි පෙළෙහි අරමුණ බොල්ව ඇති විඩාබර මනස සොබාදහමේ අනුහසින් සුවපත් කිරීමය. එනම් සොබදහමම විනෝදාංශයක් කරගැනීමය. එමගින් මේ මිහිමත පැවැත්මට සහ සමබර තාව උදෙසා ඔබගේ දායකත්වය හැකි අයුරින් ලබාගැනීමය.

එහි පළමු පියවර ලෙස මා ඔබව කැඳවාගෙන යන්නේ අතිශය සුන්දර වූද නිකැළැල් වූද ලොවක් වෙතයි. එනම් සමනළ ලොව වෙතයි.

සමනළුන් අධ්‍යයනය ( butterfly watching) වර්තමානයේ ජනප්‍රිය වෙමින් පැවතින විනෝදාංශය කි. ඊට හේතුන් කිහිපයකි. ඒවා එකින් එක මා ඔබට පැහැදිලි කරන්නම්.

සමනළයෝ නිරන්තරයෙන් අපේ දෑසට හසු වන්නෝය. නමුත් මෙසේ නිතර දෙවේලේ දකින්නට ලැබෙන සමනළුන් මෙන්ම නිතර නොදකින සමනළුන ද බොහෝය. නිතර දකින්නන්ටද වඩා  නිතර නොදකිනනවුන් දැක ගැනීම මනස සතුටින් පුරවන්නට සමත් වන්නකි.

සමනළුන් අධ්‍යයනය  විනෝදාංශයක් වන්නේ කෙලෙසදැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන. එයට පිළිතුර ලෙස මා මෙසේ පවන්නම්. මගේ විනෝදාංශ බොහොමයක් අතුරින් එය මගේ ප්‍රියතම විනෝදාංශයයි . සමනළ බිත්තර දැමීමේ ක්‍රියාවලියේ සිට බිත්තර වලින් දළඹුවන් එලියට පැමිණීම ,වැඩීම , කෝෂ බවට පත් වීම අවසන සමනළුන් බවට පත්වීම අපූර්ව ක්‍රියාවලියක් නොවන්නේද?  නිවසේ වැඩකටයුතු සහ  රැකියාවේ  වගකීම් සමබර කරගැනීමට නිරන්තර මානසික  ඝට්ටනයක යෙදෙන ජීවිතයක මෙවන්  විනොදංශයකින්  මා ලබන්නේ විශාල මානසික සහනයකි. සොබාදහමේ රිද්මය ද  , එහි  සැඟවී සමනලුන් පිළිබඳව අපූර්ව රහස් ද සමග ගෙවෙන ජීවිතය පුදුමාකාර ලෙස සුන්දර වී ඇත.

ඉතින් අපි සමනල අධ්‍යයනය අරඹමු

ඒ සඳහා ඇවැසි දෑ කීපයකි. මහා ලොකු වියදමක් නැත. ඇවැසි වන්නේ කුඩා උපකරණ කිහිපයක් සහ තියුණු දෑසකි. සොබා දහමට විවර වූ මනසක් පැවතීමද අත්‍යවශ්‍ය කරුණකි.

ආරම්භයක් ලෙස ජර්නල්  සටහන් තැබීමට කුඩා පොතක් ලබාගන්න. එය වියදම් අධික එකක් විය යුතු නොවේ. එහෙත් එය ඔබගේ විනොදංශයේ ආරම්භයයි. එම නිසා එය සිත්ගන්නා සුළු ලෙස සැකසීම ඔබ සතු කාර්යයකි.

ඔබ සතුව පාට කිහිපයක පෑන් , පාට පැන්සල් කිහිපයක් ද තබාගන්න. ඒ ඔබ නොදන්නා  සමනළුන් පිළිබඳව රූප සටහන් තබා ගැනීමටය.

හැකි නම් දෙනෙතියක්  (binocular) සොයාගන්න. ඇතැම් සමනල් වර්ග අපේ දෙනෙතට හසුවන සීමාවට නොපැමිණ උස ගස් සිරස් ආශ්‍රිතව රැඳී සිටින අවස්ථා වල  , නැතහොත් අපට ලං විය නොහැකි දුරක සමනළුන් සිටින විට  දෙස හොඳින් බැලීමට එය උපකාර වේවි. එමෙන්ම එමගින් ඔවුන්ගේ වර්ණ සහ රටාවන් පැහැදිලිව හඳුනා ගැනීම ද පහසුවක් වේ.

එහෙත් වැදගත්ම කරුණ වන්නේ දෙනෙතියක් නොමැති වුවද අප සතුව දෙනෙතක් තිබීමයි. එය මැනවින් පුහුණු කිරීම දෙනෙතියක් භාවිතයට වඩා  වැදගත්ය.

ඇතැම් පුද්ගලයන් සමනළුන් ඇල්ලීම සඳහා දැල් භාවිත කරනු ලබයි. සොබාදහමේ දෑ සොබදහමේය. ඒවා අපගේ නොවේ. එම නිසා සමනළ  දැල් භාවිතය කිසි ලෙසකත් අනුමත කළ හැකි නොවේ.

සමනළ අධ්‍යයනයට මා  විසින් භාවිත කරන සටහන් වර්ග තුනකි. එකක් සමනලය දුටු දිනය , වෙලාව සහ ස්ථානය සටහන් තැබීමටය. අනෙක සමනළයාගේ ජීවන චක්‍රය තුළ සිදු වූ වෙනස් වීම් දිනය සමග  සටහන් තැබීමටය. තුන් වන වර්ගය වන්නේ සමනලුන් පිළිබඳව මට සිතෙන හෝ අසන්නට ලැබෙන ඕනෑම රසවත් කරුණක් සටහන් තැබීමටය.

මේ හැරුණ විට ලංකාවේ සමනලුන් පිළිබඳව ලියවුණ පොතක් තිබීමද වැදගත් ය. ලංකාවේ පොත් අතුරින් කිහිපයක නම් මම මෙහි සඳහන් කරන්නම්.

A pocket guide to the butterflies of Sri Lanka – Himesh Jayasinghe, Sarath Sanjeewa Rajapakshe, Chamitha de Alwis

The butterfly fauna of Sri Lanka – George Michael van der Poorten and Nancy E. van der Poorten

ඒ හැරුණ විට SLbutterlies.lk වෙබ් අඩවියද හොඳින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවියකි.

ඉතින් ඔබ සමනල අධ්‍යයනය සඳහා සූදානම්.

මල් පිපෙන බොහෝ තැන වල සමනල්ලු සිටිති. එමෙන්ම විවිධාකාර ශාක , ආදිය ඇති තැන වල ද දිය සීරා ඇති තැන වලද උන් සිටිති. එනම් අපේ නිවාස , රැකියා ස්ථාන  ආශ්‍රිත ඕනෑම පරිසරයක උන්ව දැකීමට අපට අවස්ථාවක් ඇත. නමුත් ලංකාවේ විවිධ දේශගුණික කලාප  වල දකින්නට ලැබෙන සමනළ වර්ග එකිනෙකාගෙන් ඇතැම් විට වෙනස් වේ. එම නිසා ඇතැම් විට සංචාර සඳහා ද ඉඩ ප්‍රස්ථා ලබා ගැනීමට උත්සහ කරන්න.

සංචාර සඳහාද ඔබට අවස්ථාවක් නොමැති යයි සිතමු. ඔබගේ නිවාස ආශ්‍රිතව සමනලුන් නැතැයි ද සිතමු.

එසේ නම් ඔබ වෙතට සමනලුන් ගෙන්වා ගත යුතුයි. ඒ සඳහා නම් ඔබ සතුව  යම් කිසි මැජික් බලයක් පැවතිය යුතුයි. එම මැජික් බලය ලබන්නේ කෙලෙසද?

ලබන කලාපයෙන් ඔබට ඒ පිළිබඳව පවසන්නම්.

එතෙක් ඔබට ඇති ගැටලු යොමු කරන්න. ඉදිරි ලිපි වලින් ඒ සඳහා පිළිතුරු ලබා දෙන්නම්.

සින්ධූපා සෙනෙවිරත්න

sindoopa@gmail.com

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *