කාන්තාවාදය 05

කාන්තාවාදය 05

පසුගිය ලිපි කිහිපය ඔස්සේ පුරුෂ මූලික පැරණි බටහිර සමාජය තුලින් මතු වූ කාන්තාවාදය, එහි වඩා ක්‍රියාකාරී අවධිය වන දෙවන කාන්තාවාදී රැල්ල බවට පත්වීම තෙක් ඉතිහාසය සාකච්ඡාවට බඳුන් කල අතර මෙතැන් සිට එකී කාන්තාවාදී අදහස් අනුකොටස් වෙත විභේදනය වෙමින් ලොව පුරා විවිධ කාන්තාවාදී දෘෂ්ටිවාදයන් බිහි කිරීමත් ඒවා වර්ධනය වීමත් පිලිබඳ සාකච්ඡා කරනු ලබයි.

දෙවන කාන්තාවාදී රැල්ලේ සිට නව සහස්‍රකය දක්වා බිහිවන කාන්තාවාදයේ අනු දෘෂ්ටිවාදයන් පහත ලෙස වර්ග කල හැක.

1. ලිබරල් කාන්තාවාදය

2. රැඩිකල් කාන්තාවාදය

3. කළු කාන්තාවාදය

4. මාක්ස්වාදී කාන්තාවාදය

5.පශ්චාත් යටත්විජිත හා තෙවන ලොව කාන්තාවාදය

6. අරාජික කාන්තාවාදය

7. පශ්චාත් නූතනවාදී කාන්තාවාදය

8. ස්වාධීන කාන්තාවාදය

9. පාරිසරික කාන්තාවාදය

10. බහුවාර්ගික කාන්තාවාදය

01.ලිබරල් කාන්තාවාදය

බෙටී ෆ්‍රීඩන් ගේ කෘතිය කෙතරම් කාන්තාවාදී මතවාදයන් වෙත බලපෑම් කලේ ද යත් එයින් ලිබරල් කාන්තාවාදය බිහිවීමට පදනම දමන ලදැයි සැලකේ. කාන්තාවාදී දෘෂ්ටිවාදයන් අතර පළමුව පැන නඟින්නේද මෙයයි. ලිබරල් දේශපාලනික දැක්ම මෙම කාන්තාවාදී දෘෂ්ටියට මූලික වන අතර ලිබරල්වාදය පුද්ගල නිදහස හා සමානාත්මතාවය අරමුණු කර ගනී.

සමාජීය හා ආර්ථික පාර්ශ්වයන්ට වඩා ලිබරල් කාන්තාවාදය, නෛතික හා දේශපාලනික අරමුණු කෙරෙහි වැඩි බර තැබීමක් තබා ඇත. සමාන රැකියා, සමාන වේතන කාන්තාවන් සඳහාද ලබා දිය යුතු බව ලිබරල් කාන්තාවාදීන් තර්ක කරති. එසේම ලිබරල් කාන්තාවාදීන් සම්ප්‍රදාය සමාජ විශ්වාසයන්ට ද පහර ගසයි. ගැහැණු නුවණ හා කාය ශක්තිය පුරුෂයන් අබිමුව ද්විතීක වන්නේය යන කාරණය ලිබරල්වාදීන් සපුරාම ප්‍රතික්ෂේප කරන අතර, සමාජීය පුද්ගලයෙකු ලෙස කාන්තාවට ද තමන් කල යුත්තේ කුමක්ද යන්න තීරණය කිරීමට කිසිවෙකුගේ බලපෑමකින් තොරව හැකි විය යුතු බව අවධාරණය කරති.

පුද්ගල නිදහස මූලික මිනිස් අයිතියක් ලෙස ලිබරල්වාදී කාන්තාවාදීන් පිළි ගනියි. මෙම නිදහස යන්න ඔවුන් දෙආකාර අර්ථ ගන්වා ඇත. එනම් පුද්ගලයෙකු ලෙස තම ජීවිතයේ අත්විඳින නිදහස සහ දේශපාලනික නිදහසයි. පුද්ගල නිදහස සමාජීය සාමාජිකයෙකු ලෙස සැකයකින් තොරව කැමති ලෙස හැසිරීම, ගමන් බිමන් යාම, කැමති ඇඳුමක් ඇඳීම ආදී තම ජීවිතය තමාට රිසි සේ පවත්වාගෙන යාම අදහස් කරයි. මෙහිදි පුරුෂාධිපති හිංසනයන් වැලකී සිටීමට කාන්තාවට ඇති හිමිකම, රැකියාවක් කර වේතන ඉපයීමට ඇති හිමිකම, සම්ප්‍රදායිකව කාන්තාව පිළිබඳ ඇති දැක්මෙන් මිදීමට ඇති හිමිකම යනාදිය නෛතික රැකවරණ ඔස්සේ පුද්ගල නිදහස ලඟා කර ගත හැකි බව ද ලිබරල්වාදී කාන්තාවාදීන් මෙම පාර්ශ්වයේ සිට අවධාරණය කරති.

දේශපාලනික නිදහස යන්නෙන් පුද්ගල නිදහස රිසි ලෙස භුක්ති විඳිය හැකි සමාජයක් නිර්මාණය කිරීම සඳහා සමාජ අධිපතිත්වය දැරීම අපේක්ෂා කෙරේ. මෙම මතවාදයන් සම්භාව්‍ය ලිබරල් කාන්තාවාදය ලෙස ද නම් කෙරෙන අතර, එහිම දිගුවක් ලෙස ස්වාධීන කාන්තාවාදය ද බිහිව තිබේ. දේශපාලනික නිදහසින් තොර සමාජයක පුද්ගල නිදහස පිළිබඳ අපේක්ෂාවන් පුස්සක් වන බව වටහාගන්නා ලිබරල් කාන්තාවාදීන් දේශපාලනික ක්‍රියාදාමයක් ඔස්සේ සමාජ ආකල්පයන් හි සිදුවන විප්ලවයකින් කාන්තාව නිවසට සීමා කිරීමට ඇති සම්ප්‍රදායික චින්තනයන් වෙනසකට ලක් කළ හැකි බව පෙන්වා දෙයි.

ලිබරල් කාන්තාවාදය ඇමරිකානු කාන්තාවාදී අදහස් මතින් බිහිවන්නක් වන අතර එය පසුව ප්‍රංශ හා බ්‍රිතාන්‍ය කාන්තාවාදී ව්‍යාපාරයන් වෙත ද මතවාදීමය දායකත්වය සපයා ඇත. එමෙන්ම ලිබරල් කාන්තාවාදය එතෙක් කාන්තාව පිළිබඳ සම්ප්‍රදායික දැක්ම වෙනස්කිරීම අරමුණු කරගනු ලබන බැවින් මනෝවිද්‍යාත්මක සංකල්ප හා දැඩි සමීපතාවයක් පෙන්නුම් කරයි.

ලිබරල් කාන්තාවාදය, ඉන් අපේක්ෂා කරන තරමට කාන්තා විමුක්තිය වෙනුවෙන් කටයුතු කිරීමට අපොහොසත් වූ බවට විවේචන ද එල්ල වේ. රැඩිකල් කාන්තාවාදීන් මෙන්ම කළු කාන්තාවාදීන් හා තෙවන පශ්චාත් යටත්විජිත කාන්තාවාදීන් මෙම විවේචනයන් දැඩිව එල්ල කරයි. රැඩිකල් කාන්තාවාදිනියක වන කැතරින් මැක්කිනන් ලිබරල්වාදීන් අරමුණු කරන ලිංගිකත්ව වෙනස්වීමෙන් තොර සමානාත්මතාව, කාන්තාවන්ට එරෙහිව නිරන්තර හඳුනාගත හැකි ලිංගික හිංසනයන් හා වෙනස්කොට සැලකීම් අබියස දියව යන බවට විවේචනය කරයි. එමෙන්ම ලිබරල්වාදීන් මධ්‍ය පාන්තික, විෂම ලිංගික අභිරුචීන් සහිත, සුදු හම සහිත කාන්තා සමාජය පමණක් මතුකරමින් තම මතවාදයන් ඉදිරිපත් කර ඇති බවට ද චෝදනා එල්ල වේ.

මෙනිසා සමාන ලිංගිකයන් කෙරෙහි ආකර්ශණය ඇති, පහළ සමාජ මට්ටම් හිමි, වර්ණභේදවාදයෙන් බැට කන, පශ්චාත් යටත් විජිත සමාජයන්හි දෙආකාරයෙන් අසාධාරණයට ලක් කෙරෙන ආදී එතෙක් කාන්තාවාදී ව්‍යාපාරයන් විසින් නොසලකා හැරි, පීඩිත හා ආන්තික කාන්තාවන් වෙනුවෙන් හඬ නැගීම අරමුණු කරගෙන 1960 දශකයේ අගභාගයේ දී රැඩිකල් කාන්තාවාදය පැන ගනියි. නමුත් ලිබරල් කාන්තාවාදය ද ආරම්භයේ සිට මේ දක්වා නිදහස හා සමානාත්මතාවය අරමුණු කරගනිමින් කාන්තාවාදී දෘෂ්ටිවාදයක් ලෙස පෙරමුණ ගනිමින් ද සිටී.

ලබන කලාපයට : රැඩිකල් කාන්තාවාදය

සජිනි උයන්ගොඩ විසිනි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *