කීකරු දරුවන් යනු හැමවිටම නිරෝගී දරුවන් නොවේ.

කීකරු දරුවන් යනු හැමවිටම නිරෝගී දරුවන් නොවේ.

නිවෙසක..පාසලක…සමාජයේ කොහේ කොතනක වුවත් කීකරු දරුවන් සිටිනවාය යනු වැඩිහිටියනට ඉතාමත් සතුටු විය හැකි කාරණාවකි. එයට හේතුව ඔවුන්ව ඉතා පහසුවෙන් තම පාලනයට නතු කර ගැනීමට හැකි වීම මත තම අපේක්ෂාවන් ඔවුන් හරහා මුදුන්පත් කර ගැනීමට වැඩිහිටියනට ලැබෙන හැකියාව නිසාය.

එහෙත්…ඔබ විසින් නිර්මාණය කරන මෙම කීකරු දරුවා සැබැවින්ම නිරෝගිමත් දරුවෙක් විය හැකිද?

ඔබ විසින් කෘතිමව නිර්මාණය කරන කීකරු දරුවා සමහර විටෙක කායිකව නිරෝගී දරුවෙක් විය හැකි නමුදු මානසිකව බිඳුණු, දුර්වල පෞරුෂත්වයක් සහිත දරුවෙකු වීමේ සම්භාවිතාවය ඉතා ඉහළය.

දරුවෙකුගේ පෞරුෂත්ව සංවර්ධනයේ අවධීන් පහක් සිග්මන්ඩ් ප්‍රොයිඩ් නැමැති මනෝවිද්‍යාඥයා විසින් පෙන්වා දෙන ලද අතර දරුවෙකුගේ මුල් ලමා වියේ සිදු වන කිරි උරා බීමේ ක්‍රියාවලිය හා වැසිකිලි භාවිතය ආශ්‍රිත ක්‍රියාවලීන් මෙහිලා විශේෂයෙන් අවධාණයට ලක් වේ. අවම වශයෙන් අවුරුදු දෙකක්වත් දරුවාට මව්කිරි ලබා දිය යුතු අතර ඇස් යොමුව එනම් දරුවාගේ ඇස් දෙස සෘජුව බලා ගෙන මව විසින් මව් කිරි ලබා දීම දරුවාගේ පෞරුෂත්ව සංවර්ධනයේදී ඉතා වැදගත් වේ. දරුවා විසින් මවගේ තණ පුඩුව උරා බීම,සැපීම වැනි ක්‍රියාවන් තුළින් දරුවාට තෘප්තිමත් වීමට උපරිම අවස්ථා ලබා දීම වැදගත්ය. එසේ ම වැසිකිලි පුහුණුවේදී දරුවා තමාගේම මලමූත්‍රා සමඟ ක්‍රීඩා කිරීම ද සාමාන්ය දෙයකි. එහෙත් දෙමාපියන් විසින් දරුවාගේ මව් කිරි උරා බීම හා වැසිකිලි භාවිතය අනවශ්ය ලෙස පාලනය කිරීමට යාම ,අධික පිරිසිදුභාවය හා පිළිවෙල ආදිය දරුවාට අනවශ්ය මානසික පීඩනයක් නිර්මාණය කරයි.එය දරුවාගේ පෞරුෂත්ව සංවර්ධනය කෙරේ අහිතකර ලෙස බලපායි.

අනතුරුව එලඹෙන නිලීන අවධියේදී දරුවා තුල ඊගෝ සංකල්පය දැඩි ලෙස ඉස්මතු වන අතර විරුද්ධ ලිංගිකයන් හා මුසු වීම සම්පූර්ණයෙන්ම ප්රතික්ෂේප කරයි.මෙය තේරුම් නොගන්නා වැඩිහිටියන් පිරිමි දරුවන් හා ගැහැණු දරුවන් සහෝදරත්වයෙන් එකිනෙකා හා මුසු කරවන්නට දරන උත්සාහය ද දරුවා තුළ නිර්මාණය කරනුයේ අනවශ්ය මානසික පීඩාවකි.

මේ අවධි තුනම පසු කරන දරුවා අනතුරුව නව යොවුන් වියට එලබීමත් සමග වෙනත් පාර්ශ්වයක් වෙත ලිංගිකව ආකර්ෂණය වීම සිදු වේ. මෙය හුදෙක් ලිංගික ක්‍රියාවලිය නොව දරුවාගේ ලිංගික ආකර්ෂණයක් පමණක් බව වැඩිහිටියා තේරුම් ගත යුතු අතර ම එය දරුවාට ද තේරුම් කර දීමට ද තරම් වැඩිහිටියා බුද්ධිමත් හා දරුවාට සංවේදී විය යුතුය. එනම් දරුවාගේ හැඟීම් තමාට ඒ අයුරින්ම වැටහෙන බව දරුවාට දැන විය යුතුය. දරුවන්ගේ ප්‍රේම සබඳතා නිසා ඉතා කලබලයට හා කෝපයට පත් වන වැඩිහිටියන්ගේ ඇතැම් ක්රයා කලාපයන් නිසා බරපතල ගැටලු රාශියක් නිර්මාණය කරන ආකාරය ද දැක ගත හැකිය. මේ අවධියේ දී නව යොවුන් දරුවන් තුල එවන් හැඟීම් ඇති නොවන්නේ නම් එය මනෝවිද්‍යාත්මක වශයෙන් ගැටලුවකි. එසේ ම සමහර විටෙක දරුවා විරුද්ධ ලිඅංගිකයෙකුට ආකර්ෂණය නොවී තමාගේ ම සමාන ලිඅංගිකයෙකුට ආකර්ෂණය විය හැකිය. මේ කුමන අවස්ථාවක වුවද වැඩිහිටියෙකු වශයෙන් අපගේ වගකීම වන්නේ අපගේ අභිලාෂයන් වෙනුවෙන් දරුවාගේ පෞරුෂත්වය බිද දැමීම නොව දරුවාට සංවේදී වෙමින් බුද්ධිමත්ව දරුවා හා සබඳතා පැවැත්වීම තුළින් දරුවාගේ පෞරුෂත්වය සංවර්ධනය කිරීමයි.

 ඉතින් මෙසේ සිතන්න. මඩ ගොඩක සිට වූ ඉන්නක් කෙබඳු විය හැකිද?එය හැම පැත්තට ම වැනේ. දුර්වල පෞරුෂත්වයක් සහිත දරුවාද එබඳුය.  බොහෝ කීකරු දරුවන් ඉතා ඉක්මනින් ම අපයෝජකයන්ගේ ගොදුරු බවට පත් වේ.එයට හේතුව ‘නැහැ’ ‘බැහැ’ ‘මට එය කල නොහැකියි’ කියන්නට තරම් ඔවුනගේ පෞරුෂත්වය ශක්තිමත් නොවීමයි. කීකරු දරුවා හැම විටෙම වැඩිහිටියන්ට කීකරුය. කිසිදු ලෙසකින් බොරු නොකියයි.අන් අයගේ සිත් නොරිදවයි. තර්ක නොකරයි. ඒ නිසා ම ඉතා පහසුවෙන් තවකෙකුගේ ගොදුරක් බවට පත් වේ.

එසේ නම් අප කල යුත්තේ කුමක්ද? අපි ඉතා කීකරු දරුවෙක් වෙනුවට පෞරුෂත්වය ශක්තිමත් නිරෝගී දරුවෙක් තනමු.

කුඩා කල සිට ම දරුවාට අභියෝගවලට මුහුණ දෙන්නට ඉඩ හරින්න.ජීවිතයේ සිදු වන පරාජයන් හා බිද වැටීම් උපේක්‍ෂාවෙන් දරා ගන්නටත් හැකි සෑම විටෙක ම එයට එරෙහිව නැඟී සිටින්නටත් අපි දරුවාගේ මනස ශක්තිමත් කරමු. ජීවිතයට ප්රශ්න හා ගැටලු පැමිණෙන්නේ අපව තලා පෙලා විනාශ කර දමන්නට නොව අප තුල සැඟවී සිටින ශක්තීන් හදුනා ගන්නට බව දරුවාට කියා දෙමු.

‘පාරිසරික වෙනස්කම්වලට අනුව අනුවර්තනය වන ජීවීන් ස්වකීය පැවැත්ම තහවුරු කර ගන්නා අතර එසේ නොවන ජීවීන් විනාශ වේ.’

මේ සනාතන ධර්මතාවය ඔබේ දරුවාට කියා දෙන්න.කීකරු දරුවෙක් වෙනුවට පෞරුෂත්වය ශක්තිමත් නිරෝගී දරුවෙක් නිර්මාණය කරන්න මේ මොහොතේ සිට අරඹන්න.

-අමාලි අලකොළංග-

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *