ගමේ විත්ති 05 – කුඹුර

ගමේ විත්ති 05 – කුඹුර

දොළත් ඇළත් ගැන කියූ පසු ඒ දෙක හා සම්බන්ධ වන ගමේ සුවිශේෂම බිම් කඩ කුඹුරු යායයි. ගම මැද ඉඩෙන් වැඩි කොටස වෙන් කර ගෙන සිටින කුඹුරු යාය අසලක තිබූ ජඹුරේගොඩ යාය, දම්මත්තල යාය තරම් විශාල වූවක් නොවුණත් කුඩා වූවක් ද නොවීය. අඳ ගොවියන් කිහිපදෙනෙකු හැරුණ විට කුඹුරු යාය සින්නක්කර උරුමකරුවන් සතු විය.

වසරේ කන්න දෙකක වගා කරන කුඹුරු  වල පළමු කන්නය සිංහල අලුත් අවුරුදු සීමාවේ නිම වෙයි. ගම්වැසි කාන්තාවෝ අත්තමටත් කුලියටත් දෑකැති ගෙන උදෙන්ම පීදුණු ගොයමට බසිති. හරි හරියට වෙහෙස වී සකසුරුවමින් හසුරුවන දෑත් කුඹුර මැද ගොයම් ගොඩක් තනයි. ගැහැණුන් කපා දමන ගොයම් මිටි රැගෙන ගොයම් ගොඩෙහි රටාවකට රවුමට අතුරන්නේ පිරිමින් විසිනි.

කමත් භාෂාව භාවිත වෙන්නට තරම් පැරණිත් නොවූ යන්ත්‍ර පමණක් භාවිත කරන්නට තරම් නවීනත් නොවූ ඒ සමය අර්ධව මිනිස් හා යන්ත්‍රසූත්‍ර ශ්‍රමයන් ගොයමට යෙදවිනි. ගොයම් ගොඩෙන් වී වෙන් කරගන්නා කාර්යය ගොයම් මැෂිමට පැවරෙයි. විශාල රතුපාට තැපැල් පෙට්ටියක්  වැනි එය ගොයම් මැෂිම අත් ට්‍රැක්ටරයට සවි කර ක්‍රියාත්මක කල එකක් විය. එක පසකින් ගොයම් මිටි දමද්දී එක පසකින් පිදුරුත් අනෙක් පසින් කාටුව සමඟ මිශ්‍ර වී ඇටත් වැටෙයි. කාටුව සහිත වී වැටෙනා විවරයට වරින් වර වී ගෝනි අල්ලමින් පිරිමින් යුහුසුළුව වැඩ කරද්දී පසෙක එකතු වන පිදුරු ගොඩ ගැමි දරුවන්ගේ සෙල්ලම් ස්ථානය වේ.

පිදුරු ගොඩේ බ්රූස් පදමින්ද එකිනෙකාට පිදුරු වලින් ගහ ගනිමින්ද නටන නැටීම අවසන් වන්නේ අලුත් පිදුරු ගොඩේ කාටුව සිරුරු පුරා ගෑවී කසන්නට ගන්නා විටයි. ඇළේ දෙතුන් වර එබී සබන් ගා හොදට සෝදාගත් පසුවත් නොයන ඒ කැසීම හොඳවන්නේ ගෙවල් වල පිදුරු ගොඩේ නැටීමට යස පාඩමක් ලෙස කෝටු පාර එක දෙක වැදෙන්නට ගන්නා විටයි.

ඊලඟ දවස් එන්නේ වී හුලං කිරීමටයි. වැඩිහිටියෝ විශාල සුළං පංකා ඉපනැල්ලේ අටවාගෙන වී හුලං කරද්දීත් පොඩිහිටියන් යලිත් පිදුරු ගොඩේත් ඉපනැල්ලේත් කාර්යබහුල වෙති. ගම පිස හමා යන හුළඟේ දැවටී එන ඉපනැලි සුවඳ තරම් නවමු බවක් දෙවෙනි වන්නේ කාෂ්ඨක වූ පොළවකට වැටෙන පළමු දියවරකින් පසු නැගෙන සුවඳට පමණි. නිදහසත්, වෙනසත්, ප්‍රබෝධයත් යන සියළු හැඟීම් කැටි කල සුවඳකි එය.

ඉපනැල්ල ගැමි දරුවාගේ කෙලි බිමයි. අලුත් ඉපනැල්ල ඇවිදින්නට අපහසු වන්නේ එහි තියුණු බව නිසයි. සතියක් දෙසතියක් ගිය පසු කූරු මෙන් ඇණුන ගොයම් ගස් ශේෂයන් හේබා ගොස් පොළවට සමාන්තර වන විට රිදුමකින් තොරව ඉපනැල්ල පුරා දිව යා හැකි වෙයි. එල්ලේ, ක්‍රිකට්, වච්චි පැනීම, බැඩ්මින්ටන්, වොලිබෝල් ඔය කොයිකත් කරන්නට ඉපනැල්ල තරම් නිදහස් හා ඉඩකඩ ඇති තැනක් තවත් නොවෙයි.

තැන තැන පිදුරු ගොඩවල් වැසි වැටී ඒවා ඇතුලේ පිදුරු හතු පුබුදන්නට වෙන කාලය ගමේ කාට කාටත් කටට රහට බත් කටක් කෑ හැකි කාලයක් වෙයි. ගොරවා වහින වැස්සෙන් පසු කුඹුරු වේලි දිගේ මාවැලි හතුත්, වැලි හතුත් සමඟම පිදුරු ගොඩවල පිදුරු හතුත් එකතු කිරීම එකලට හවස් යාමයන්හි සුලබ දසුනක් වෙයි. තෙලට, කිරට, මිරිසට ඔය කොයි ලෙසටත් හදන හතු ව්‍යාංජනයක් හා බත් මැරිය හැකි වෙයි.

කාලය ගෙවී පිදුරු යලි කුඹුරට පස් වන හෝ ගිනි තැබෙන කාලය වන විට නැවතත් ගොවීන් කුඹුරට බහින සමය උදා වේ. ඒ සමය යනු ගැමි දරුවන් ද නැවත ලෑන්ඩ් මාස්ටර් පසු පස එල්ලී හිනා කටවල් පුරෝගෙන යන සමය ද වේ. තැන තැන පිලිස්සූ පිදුරු ගොඩ වල දුමාරයන් ගම පුරා අවේලාවේ ඝන මීදුම් තට්ටු තනයි. ඒ මැදින් හුස්ම නාල්ලා දිව යාම එකල අපේ අමුතුම විනෝද ක්‍රීඩාවක් විය.

නැවතත් කුඹුරු මඩ කරන්නට පෙර පෙර අස්වැන්නෙන් බිත්තර වී වෙනුවෙන් අරන් තැබූ වී මලු වතුර වල බහා ගොඩට ගෙන පුවක් අතු ආදියෙන් ආවරණය කොට පැල වෙන්නට හැර බිත්තර වී හදා ගනියි. අත් ට්‍රැක්ටර් මඟින් කුඹුරු හාන්නට ගන්නේ ඉන්පසුයි. පාරේ නැවැත්වූ ට්‍රැක්ටරයේ ටේලරය ගැමි දරුවන්ගේ සෙල්ලම් පිටි වන විට කුඹුරේ හඬ නගමින් දිවෙන ට්‍රැක්ටරය පසු පස කණකොකුන්, කිරි කොකුන් රෑන් පිටින් පණුවන් අහුලමින් කුඹුරු වටේ සැරිසැරීමත් එවකට පෙනෙන අපූරුම දසුනකි.

කුඹුරු මඩ කර දුන් පසු ගොවියාගේ උදළු වලට වැඩ ලැබෙන්නට පටන් ගනී. නියර බදින්නත්, ලියැදි හදන්නත්, බිත්තර වී ඉහින්නට සුදුසු ලෙස මඩ තට්ටුව පිළියෙල කරන්නත් උදැල්ල උවමනාය. ගම පුරා මඩෙහි නැවුම් සුවඳ මෙවිට හමා යන්නේ ගමම යලි කොළ පැහැ වෙන්නට සූදානම් වන පණිවිඩය ද ලබා දෙමිනි.

ඊලඟ මාස කිහිපය ගොයම රැක ගන්නට ගොවියාට දුක් දෙවයි. රංචු පිටින් කුඹුරට පාත් වෙන ගිරවුන් පොල්කටු වල පිට පැත්ත එකට එක ගසා සද්ද කර එලවීම කුඩාවුන්ට අයිති කාරියක් වේ. නියර බිඳින ඌරු මීයන් ද පැල ගොයම් පාගමින් සරුංගල් ලුහු බඳින කොල්ලන් ද යනෙන මගක අවස්ථාව ලද සැනෙක කිරි රසැති ගොයම ට හොස්ස ඔබන හරකුන් ද මේ සමයේ කුඹුරු හිමියන්ට හිසරද හදන උන් වන්නේය.

හෙමි හෙමින් කොළ දමමින් නිල්ල ගහන ගොයම ගමේ සිරියාව තවත් තීව්‍ර කරන්නේය. උදේ පින්නේ තම කුඹුරු වල තතු බලන්නට යන කුඹුරු හිමියන් නියර දිගේ අවුත් මඩ වැකුණු දෙපා ඇළෙන් සෝදා ගනු උදෑසන සුලබ දසුනක් වෙයි. වක්කඩවල් අසල දිය හීන් රාවයක් නගමින් ගලා හැලෙයි. පිරිසිදු පාටින් පෙනෙන ඒ වතුර පහර දෙපයට ගෑවෙන්නේ තද සීතලක් දෙමිනි. ගම පිස හමා යන සීතල සුළඟත් පොද වැස්සත් අතරින් නිල්ල ගහන ගොයමේ දසුන නෙතට මවන චමත්කාරයත් ගතට දෙන සනීපයත් කීමට මේ ලියමනේ අකුරු අපොහොසත්ය.

කොළ පැහැය කෙමෙන් කහ පැහැයකට හරවමින් අහස බලා සිටි නොඉඳුල් වී කරල් කෙමෙන් මහ පොළොව දෙසට බර වෙන්නට ගන්නේ යලිත් ගොයම් කපන්නට කාලය ලඟ ලඟම එන බව කියන්නටයි. අහේතුකව එන ගංවතුරකින් විපතට පත් නොවුණ හොත් ගැමි ගැහැණුන්ගේ දෑතට හසුව කැපී මැෂින් වල ඇඹරී එකිනෙක වෙන් වෙන්ව මලු වල ඇසිරෙන තුරු පැසුණු වී කරලෙහි ඇට එකිනෙකට සමීප සුහුඹුලන් මෙන් හමන මද පවනට සිහින් සර සර හඬක් නගමින් හිදියි. වී ඇට හොරෙන් ගෙන යන්නට වී කුරුල්ලන් එකා දෙන්නාගෙන් ඇරඹී ගොයම පුරා රංචු වී ඉගිලෙන්නට එන කාලය වන විට එක් කන්නයක අවසානය ලඟ ලඟම එන බව ගැමියන් වටහා ගනියි. ආයෙත් යාය පුරා ඊලඟ ගොයම් කැපීම ඇරඹෙයි. මේ සිදුවීම් වලින් දශක දෙකකට පසු ගමත් ගොවිතැනත් බොහෝ වෙනස් වී ඇත්තේය. උදැල්ල තබා අවුවෙන් බේරීමට පන්තොප්පි හිස පැළඳ අත් දිග කමිස ඇඳ අර්ධ පිරිමි හැඩයෙන් දෑකැති ගෙන කුඹුරට බැසි නවීකරණය වූ ගැමි ලියෝ වත් දැන් එහි නැත. සියල්ල මුදලට හා යන්ත්‍ර මගින් පහසුවට කරන ගොවිතැනක් දැන් දකිය හැක. නමුත් තවමත් එක කුඹුරකුදු හෝ අත්නොහැර වගා කිරීමත්, ඉතිරි වූ කාලය නියර පුරා ගෘහස්ත පරිභෝජනය පිණිස එළවළු වැවීමටත් වැය කිරීම නිසා තවම ගම කොළ පැහැයෙන් දිදුලමින් පවතින්නේය. එහෙත් ට්‍රැක්ටර් පසු පස දිවූ, පිදුරු ගොඩේ අත් පා කසන තුරු නැටූ, ඉපනැල්ලේ බෝල ගැසූ කොලු කුරුට්ටන් නම් අද නැත

සජිනි උයන්ගොඩ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *