පැහැපත් නීරෝගී දෑසක් සඳහා අක්‍ෂි අභ්‍යාස

පැහැපත් නීරෝගී දෑසක් සඳහා අක්‍ෂි අභ්‍යාස

සියලූම ඉන්ද්‍රියන් අතර ‘‘ඇස්’’ අපගේ ශරීරයේ වටිනාම ඉන්ද්‍රීයයි. ලස්සන දීප්තිමත් නිරෝගී දෑසක් හිමි කර ගැනීමට අප හැම දෙනාම කැමතියි. අද කාලයේ බොහෝ දෙනෙකු කණ්ණාඩි පළඳියි. කුඩා ළමුන්ගේ සිට වැඩිහිටි පුද්ගලයන් දක්වා මෙම තත්වය දැකිය හැකියි. වයස් ගත වීමේදී හතළිස් ඇදිරිය ඇසේ සුද ආදී රෝග ඇතිවිය හැකි වුවත් යෝගා ක‍්‍රමයට අනුව නිවැරදි ජීවන රටාවක් හා ආහාර රටාවක් සමඟ ඇස් දෙක ආදරෙන් බලා ගන්නේ නම් කිසි විටෙකත් අක්‍ෂි රෝග සඳහා ප‍්‍රතිකාර හෝ ශල්‍ය කර්ම කිරීමෙන් වැළකී කණ්ණාඩි නොපළඳා සිටිය හැක. විශේෂයෙන් හඨ යෝගීන් කිසි විටෙකත් කණ්ණාඩි නොපළඳියි. මාත් යෝගා හැදෑරීමට පෙර කියවීමේදී කණ්ණාඩි භාවිතා කළත් දැන් මට එහි අවශ්‍යතාවයක් නැත. එනම් නිරෝගී දෑසක් තිබීම හඨ යෝගියෙකුගේ අනිවාර්ය අංගයකි. එනිසා අප හදාරන යෝගා ක‍්‍රමය වන හඨ යෝගා වලදී ඇස් වල නිරෝගීකම පිළිබඳ විශේෂ සැලකිල්ලක් දක්වයි. මේ නිසා ඇස් හා සම්බන්ධ විශේෂ යෝග අභ්‍යාස ක‍්‍රමයක් ඇත. එය ‘‘ත‍්‍රාටක’’ ලෙස හඳුන්වයි.

මෙම අභ්‍යාසය අක්ෂි රෝග ඇති අයට මෙන්ම එසේ අක්‍ෂි රෝගයක් නැතත් නිරෝගී දෑසක් බලාපොරොත්තු වන ඕනෑම අයෙකුට සිදු කළ හැක.

දැන් අප ත‍්‍රාටක අභ්‍යාස පිළිබඳ විමසා බලමු. මෙම අභ්‍යාසය උදෑසනම අවදි වී සිදු කිරීම වඩා සුදුසුය. කාර්යාලයේදී වුව වැඩ කරන අතරතුර කෙටි විවේකයක් ගෙන සිටින තැනම හිඳ මෙම අභ්‍යාසය සිදු කළ හැක. නිවසේදී සිදු කරන විට පහසු භාවනා ඉරියව්වකින් හිඳ හෝ පුටුවක වාඩි වී සිදු කළ හැක. ඔබ කණ්ණාඩි පළඳින්නේ නම් මුලින්ම එය ඉවත් කර මෙම අභ්‍යාසයේ යෙදිය යුතුය.

  1. මුලින්ම ඇස් මට්ටමට අඩි 10 පමණ දුරින් පිහිටි එක් ලක්ෂ්‍යක් දෙස ඇස් වෙහෙසට පත් වන තෙක් ඇස් පිල්ලම් නොගසා ඇස්වලට කඳුළු උනන තෙක් බලා සිටින්න. කඳුළු ඉනූ පසු ඇස් දෙක පියා ගන්න. විවර කරන්න.
  2. දැන් ඔබේ ඇස් හෙමින් වමට ගෙනියන්න. නැවත දකුණට ගෙනියන්න. මෙය එක් පසකට වාර 10 බැගින් කරන්න.
  3. දැන් ඇස් ඉහළට හා පහළට සෙමින් වාර 10 බැගින් ගෙනියන්න.
  4. ඊළඟට දෑසින් වම් දිශාවෙහි ඉහළ හා දකුණු දිශාවෙහි පහළ, නැවත දකුණු දිශාවෙහි ඉහළ වම් දිශාවෙහි පහළ ලෙසින් කතිරයක් ආකාරයට ඇස් ගෙනියන්න. වාර 10 බැගින් කරන්න.
  5. ඊළඟට වමේ සිට දකුණටත් දකුණේ සිට වමටත් වාර 10 බැගින් ඇස් රවුමට කරකවන්න.
  6. දැන් ඇස් තෙරපෙන ලෙස තදින් පියා ගන්න. මෙහිදී ඇස් වටා ඇති මාංශ පේශීන් උපයෝගී කරගෙන හොඳින් තෙරපෙන ලෙස ඇස් තද කළ යුතුය. දැන් දෙ අත්ල උණුසුම් වන තුරු හොඳින් සම්භාහනය කර වසා ඇති දෑස් මත තබා ගන්න.
  7. දැන් අත් දෙකේ මහපටැඟිලි හා දබරැුලි පමණක් ගෙන ඇස් දෙක වටේට හෙමින් සම්බාහනය කරන්න. (වි. 3 පමණ)
  8. අනතුරුව ඔබේ අත් දෙකේ පිහිටි ඇසේ ක‍්‍රියාකාරීත්වය හා සම්බන්ධ නිලයන් වි. 5 පමණ හොඳින් සම්බාහනය කරන්න.

මීට අමතරව පහත ප‍්‍රතිකාර ක‍්‍රම ද ඇස් වල දෝෂ ඉවත් කර ගැනීමට උපකාර වේ.

1 ත‍්‍රිපලා ජලයෙන් ඇස් සේදීම.

2 උදෑසන අවදිව කොළ පාට ගසක් දෙස ඇස්පිල්ලන් නොගසා බලා සිටීම ඇසට අපහසුවක් දැනෙන විට ඇස් පියා, හැර නැවත බලා සිටීම. හැකි නම් කාර්යාලයේ තම මේසය මත කොළ පැහැති කුඩා පැළයක් තබා ගෙන වැඩ කරන අතරතුර පැය 1/2 ට වරක් එදෙස බැලීම.

3 වතුර වීදුරු 10 ක් වත් දිනකට පානය කිරීම.

4 ඉරමුසු, රණවරා, බෙලිමල් වැනි පාන වර්ග වලට හුරුවීම.

5 එමෙන්ම ඇස් වල නිරෝගීභාවයට පශ්චිමොත්සන, සර්වාංගාසන, ශිර්ෂාසන වැනි යෝග ආසනවල යෙදීම යහපත්ය. (මේ පිළිබඳ ඉදිරි කලාප වලදී සාකච්ඡුා කෙරේ.)

ඇස් දුර්වලවීමට බලපාන හේතු සාධක ගැන අප මීළඟට විමසා බලමු.

1 මානසික ආතතිය.
2 දියවැඩියාව / අධි රුධිර පීඩනය වැනි කායික රෝග
3 අධික ලෙස ඇස් වෙහෙසීම (උදා : පරිගණකය දෙස දිගු වේලාවක් බලා සිටීම
4 දැඩි හිරු එළියට නිරාවරණය වීම.
5 ව්‍යායාම් රහිත වීම හා එළවළු පළතුරු අඩුවෙන් ආහාරයට ගැනීම.
6 වයස්ගතවීම
7 මත්පැන් හා දුම්වැටි භාවිතය

ඉහත සඳහන් හේතු වළකා ගැනීමෙන්, යහපත් ආහාර රටාවක්, හොඳ පුරුදු මෙන්ම ඇස් සඳහා වන අභ්‍යාස හා ප‍්‍රතිකාර පවත්වා ගැනීමෙන් ඔබට නිරෝගී ලස්සන දෑසක් ජීවිත කාලයටම ලබාගත හැක.

ඔබ සැමට දීර්ඝායු වේවා
දුලිනි ද වාස් ගුණවර්ධන
සෙත්සඳ යෝග නිකේතනය

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *