සැමියාගේ දියුණුවට අත හිත දෙන්න (ලිපි පෙළේ අට වැන්න ) Dorothy Carnagie’s How to help your husband Get Ahead ඇසුරෙනි. 8. ප්‍රීතිමත් පෙරළෙන ගලක් වන්නේ කෙසේ ද?

සැමියාගේ දියුණුවට අත හිත දෙන්න (ලිපි පෙළේ අට වැන්න ) Dorothy Carnagie’s How to help your husband Get Ahead ඇසුරෙනි. 8. ප්‍රීතිමත් පෙරළෙන ගලක් වන්නේ කෙසේ ද?

තම සේවකයින් ස්ථාන මාරුකිරීම්වලට අනුගත නොවීම බොහෝ ආයතනවල පිරිස් කළමනාකරුවන් පෙළන ගැටලුවකි.

සමහර බිරින්දෑවන් තමාට හුරු පුරුදු පරිසරයෙන් ඈත්වන්නට මැලිකමක් දක්වති. මේ අඬන බබාලා තම සැමියාගේ දියුණුවට බාධාවක් ලෙස විධායක නිලධාරීන් විසින් සලකනු ලබයි.

එක් විධායක නිලධාරියෙකු පවසන පරිදි ඔහු යටතේ සේවය කරන දක්‍ෂ සේවකයෙකුට තමාට ලැබුණු උසස් නිලය භාරගත නොහැකි වූයේ  තම බිරිඳ ඔවුන් පදිංචිව සිටි නගරයෙන් බැහැර යන්නට අකමැති වූ හෙයිනි. ඇයට තම මිතුරියන්, හා ඇයගේ ප්‍රියතම රූපලාවන්‍යාගාරය! හැර යන්නට හිත හදාගන්නට නොහැකි විය.

පවුල යම් තැනක ස්ථාවර වන්නට පටන්ගන්නා විට සියල්ල අත්හැර දමා අන් තැනකට යාම අසීරු ය. එයට ධෛර්යය අවශ්‍ය වේ. එවැනි ප්‍රතිස්ථානගතවීමකට සාර්ථකව මුහුණ දීමට  හැකිවන්නේ විවාහයක් මූලික වශයෙන් ශක්තිමත් නම් පමණකි.  

නමුත් පවතින තත්ත්වයට අනුගත විය හැකි බිරිඳකට ආයාසයකින් තොරව ම මෙවැනි කඩුලු මතින් පැන යා හැකි ය.

එක්තරා සඟරාවකට ලියමින් කාන්තාවක් මෙලෙස තම අත්දැකීම් අනාවරණය කර තිබිණි.

“මගේ සැමියා වැඩ කළේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ. ඔහුට උසස්වීමක් සමග අනුරාධපුරේට ස්ථානමාරුවක් ලැබුණා. ජීවිත කාලය ම කොළඹ නගරාසන්නයේ ගත කළ මම හිතුවේ අනුරාධපුරය කියන්නේ ඈත පිටිසර තැනක් කියල යි. අපි අලුතින් සාදා පදිංචි වූ නිවසින් පිටවී අපේ පුංචි පුතාත් සමග තැනින් තැනට යන අහිකුණ්ටික ජීවිතයක් පටන්ගන්නට වෙන බව දැනුණු මට සිතුණේ වෙන්නට තිබෙන නරක ම දෙය අපට සිද්ද වුණා කියලා. ඉදිරිය මහා අවාසනාවන්ත කාල පරිච්චේදයක් කියලා මට හිතුණා.  මම ඔහු කැටුව ගියේ මට මහා අභාග්‍යයක් සිදුවුණා කියන හැඟීම හිත යට තියාගෙන.  

නමුත් ගිහින් මාසෙකට දෙකකට පස්සේ මම ඒ ජීවිතය ප්‍රිය කරන්න පටන් ගත්තා. අපට නිල නිවාස ලැබුණු නිසා සැමියාට දවල් කෑමට ගෙදර ඇවිත් යන්න පුළුවන් වුණා. ගමනට කාලය ගතවෙන්නේ නැති නිසා මාත් දරුවාත් එක්ක ගෙවන්න ඔහුට ඇති තරම් කාලය තිබුණා. අසල්වාසීන් කාර්යාල මිතුරු මිතුරියන් වීම නිසා හොඳ සමාජ ආශ්‍රයක්, දරුවාට සෙල්ලම්  සගයින්, යන මේ සියල්ල ඉතා යහපත් වුණා. අනුරාධපුර නගරය මම හිතපු තරම් පිටිසර තැනක් නෙවෙයි. හොඳට සැලසුම් සහගතව නිර්මාණය කරපු නගරයක්..

කොළඹ තිබුණු යම් යම් පහසුකම් නොතිබුණත් ඒවා නොමැති සරල ජීවිතයක වුණත් සතුට තිබෙන බව මම ඉගෙන ගත්තා. වසර පහකට පසුව මම අනුරාධපුරේ දාලා ආවේ දුකෙන්.”

හුරු පුරුදු පරිසරයෙන් ඈත්ව වෙනත් නුහුරු පරිසරයකට යන්නට ඔබට සිදුවුව හොත් මේ කරුණු සිතේ ධාරණය කරගන්න.

  1. ඔබ අලුතින් පදිංචියට යන ස්ථානය පළමු තැනට සමාන වනු ඇති යයි බලාපොරොත්තු වෙන්න එපා.

එක් එක් ස්ථාන හා රැකියා අවස්ථා ද මිනිසුන් මෙන් ම එකිනෙකට වෙනස් ය. ඔබේ සැමියාගේ කලින් සේවා ස්ථානයේ ඔහුට වැඩි ගෞරවයක් සැලකිල්ලක් තිබුණා යයි සිතා අධෛර්යය වන්නට එපා. නව සේවා ස්ථානයේ ඊට වඩා වෙනස් උසස් වීමේ අවස්ථා තිබෙන්නට පුළුවන්.

  • ඔබට හුරු පුරුදු පහසුකම් එහි නැතැයි තැවෙන්නට එපා.

පවතින පහසුකම් යටතේ ඔබට කළ හැකි උපරිමය කිරීමට දිරිය වඩවා ගන්න. අසීරු තත්ත්වයක් යටතේ ජීවත්වීමට ඔබගේ ඇති හැකියාව ගැන ඔබට විස්මය මුසු සතුටක් දැනේවි.

“වරක් අපට සිදුවුණා අලුතින් වැවක් ඉදිකෙරෙන තැනක සේවය කරන්නට. අපට ලැබුණේ කුඩා තාවකාලික ගෙවල්. නල ජල පහසුකම් තිබුණේ නැහැ.  සීලිමක් නැති වහලයක් තමයි තිබුණේ.

නමුත් මම එහි වාසි ගැන හිතුවා. නිවස කුඩා නිසා පිරිසිදුව තබා ගන්න පහසු යි. අපේ අසල්වැසියන් බොහොම සුහදශීලියි. සියලු අඩුපාඩුකම් මැද්දේ ඔවුන් තම කුඩා දරුවනුත් හදා වඩාගෙන ජීවත් වූ ලස්සන දැක මට මා ගැනම ලැජ්ජා හිතුණා. අපි විශිෂ්ට මිතුරු සබඳකම් ඇති කරගත්තා. ජීවන තත්ත්වය හා සතුට අතර අනුරූපතාවයක් නැති බව මම තේරුම් ගත්තා.” ඒ තවත් බිරිඳක් කියපු දේ.

  • කාලයත් සමග අලුත් සේවා ස්ථානය ගැන වටහාගන්නා තුරු නිගමනවලට එළඹෙන්න එපා.

මගේ මිතුරෙකුගේ බිරිඳ ඔහු කලක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි උසස් වීම සමග ලැබුණු නව සේවා ස්ථානයට ගොස් පැය විසි හතරක් තුළ එහි සිටීමට නොහැකි බව දන්වා ආපසු ගියා. අන්තිමට ඔහුට සිදුවුණේ නිවාස දෙකක නඩත්තු වියදම දරන්නට. දරු පවුල ගැන සොයා බලන්නට අවශ්‍ය නිසා ඔහුට නිතර කොළඹ යන්නට සිදු වුණා. එයින් ඔහුගේ සේවා ස්ථානයේ වැඩ අතපසු වුණා. අන්තිමට ඔහු තම උසස්වීම එපා යයි කියා පළමු තනතුරට ම යළිත් සේවයට ගියා. ඔහුගේ බිරිඳ ඉක්මන් තීරණයකට එළඹීම නිසා ඔහුට තම රැකියාවේ දියුණුව අහිමි වුණා.

  • නොලැබී ගිය ප්‍රස්තාවන් ගැන සිතමින් කාලය නාස්ති නොකර නව ප්‍රස්තාවන් හඳුනාගෙන උපරිම ප්‍රයෝජනය ලබන්න.

අලුත් ස්ථානයට හුරුපුරුදු වීම සඳහා නව මිතුරු මිතුරියන් සොයාගන්න. ඔබ  පෙරමුණ ගෙන මිතුරියන් හඳුනාගන්න. පුස්තකාලයකට බැඳෙන්න. පන්සලට හෝ පල්ලියට යන්න. වැඩිපුර උත්සාහ කරන්න. ඒ හරහා ඔබට හා ඔබේ පවුලට අනපේක්‍ෂිත ප්‍රස්තාවන් පවා උදාවිය හැකි ය.

මගේ මිතුරියකගේ සැමියාට හදිසියේ වෙනත් රටක තානාපති පදවිය භාරගන්න සිදුවුනා. ජීවිත කාලයක් මහන්සි වී  ගොඩනගාගත් නීතිඥ සමාගම අන් අයට පවරා දී ඔවුන් ඒ තනතුර භාරගෙන ගියේ වැඩි කැමැත්තකින් නොවේ. ඇයට තම වෘත්තියෙන් පවා සමුගන්නට සිදු වුණා.

නමුත් එහි දී ඇයට ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පිනියක හමුවුණා. ඇය හා මිතුරු වීමෙන් පසුව මගේ මිතුරිය ඇයගෙන් චිත්‍ර කලාව ඉගෙන ගත්තා. ඇගේ සැඟවී තිබුණු දක්‍ෂතාවය මතු වී එන්න වැඩි කල් ගියේ නෑ. ඇය ද දක්ෂ චිත්‍ර ශිල්පිනියක වුණා. ඇගේ චිත්‍රවලට දැන් වෙළඳපළේ හොඳ ඉල්ලුමක් තිබෙනවා.

ඉතින් ඔබේ සැමියා ගේ රැකියාව විසින් ඔබෙන් එය ඉල්ලා සිටින්නේ නම් පාසි නොබැඳෙන ප්‍රීතිමත් පෙරළෙන ගලක් වන්න.

මා පෙර හඳුන්වා දුන් මේ යෝජනා ඔබේ සිතේ රඳවා ගන්න.

  1. ඔබ අලුතින් පදිංචියට යන ස්ථානය පළමු තැනට සමාන වනු ඇති යයි බලාපොරොත්තු වෙන්න එපා.
  2. ඔබට හුරු පුරුදු පහසුකම් එහි නැතැයි තැවෙන්නට එපා.
  3. කාලයත් සමග අලුත් සේවා ස්ථානය ගැන වටහාගන්නා තුරු නිගමනවලට එළඹෙන්න එපා.
  4. නොලැබී ගිය ප්‍රස්තාවන් ගැන සිතමින් කාලය නාස්ති නොකර නව ප්‍රස්තාවන් හඳුනාගෙන උපරිම ප්‍රයෝජනය ලබන්න.

පාසි බැඳී එකතැන රැඳී සිටින ගලකට වඩා මැදී රවුම් වූ පෙරළෙන ගල ලස්සන නොවේ ද?

මානෙල් විජිතා ප්‍රනාන්දු

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *