ඉකිගසන ලෝගුව

ඉකිගසන ලෝගුව

ඉද්ද මල් පිරුණු වට්ටිය වටේට සේපාලිකා මල් අතුරන තරුදී දිහා නිමන්ත බලන් හිටියේ හරිම ශෝකයෙන් .
”තව එක පාරක් හිතන්න අමාරු ද ?”

නිමන්ත ඇහුවා.

”මං සිය දහස් වතාවක් හිතුව නිමන්ත.
ජීවිතේ බොහොම දුර ගමනක්. ආපහු හැරෙන්න.ඔයාට ගොඩක් දුර යන්න තියෙනවා . ”

අන්තිම සේපාලිකා මල මල් වට්ටියෙ අතුරපු තරුදි කිව්වේ තමන්ගේ හිස් මට්ටමට ඉහළින් පිපිලා තිබුණු නිල් කටරොළු මලක් කඩා ගන්න ඇඟිලි තුඩුවලින් ඉස්සෙන ගමන්.

තරුදි සසංකා නානායක්කාර.මගේ උසස් පෙළ අමතර පන්තියක හිටපු නගරයේ තිබුණු බාලිකා පාසලක ඉගෙනුම ලැබූ යෙහෙළියක්. එ් වගේම එ් කාලේ අන්තර් පාසල් නෙට්බෝල් තරගාවලියේ හොඳම විදින්නිය වුනෙත් තරුදි. හීනි උස් සිරුරකුයි , කොටට කපපු මුරු කැරලි කොණ්ඩෙකුයි හිමි හරිම දඟකාර තරුදි ට අපි කිව්වේ තරුවා කියලා. ක‍්‍රීඩාවට වගේම අධ්‍යාපනයට නොමද දස්කමක් දක්වපු තරුදි විශ්ව විද්‍යාලයට තේරුනේ දිවයිනේ කුසලතාවයකුත් සමඟ.

රංගනාත් අයියා කියන්නේ තරූගෙ කවුද කියලා මට අදත් හිතා ගන්න බෑ. එයා අපිට වඩා අවුරුදු අටකට නවයකට වැඩි මල් වැඩිමල් සහෝදර පාසලක ආදි සිසුවෙක් වුන පිරිමි ළමයෙක් .තරුලගෙ ගෙවල් ගාව පදිංචි වෙලා හිටපු රංග බොහොම ආකර්ෂණීය පෙනුමක් තියෙන කෙනෙක් වුණත් එයාට තිබුණේ කුප‍්‍රකට පිළිගැනීමක්.

එක්තරා කාලයක සම වයසේ ළමයි අතර බොහොම ප‍්‍රසිද්ධ පේ‍්‍රම කතාවක, නැහැ පේ‍්‍රම ඛේදවාචකයක එක චරිතයක් එයා. එයාගෙ පේ‍්‍රම වියෝගය ලෝකෙට ඕනට වඩා පෙන්නන්න ද මන්දා එයා හැමදිස්සෙම අනවශ්‍ය දේවල් එක්ක පැටලූනා. නගරයේ තරුණ ළමයි අතර රණ්ඩුවක් නම් එයා අනිවාර්යෙන් එතන හිටියා. එ් වගේ ම පළාතේ ඕන තැනක පැවැත්වෙන සංගීත සංදර්ශනයක විනෝදයෙ අනික් පැත්තට නැඹුරු වුන බේබදු ගැටවු ගොඩ මැද මෙයා රජෙක් වගේ විරාජමාන වුණා.. කොටින් ම පිරිමි ළමයි හතර දෙනෙක් ඉන්න මෙයාගේ පවුලේ ව්‍යාපාරික දෙමව්පියෝ පවා මෙයාව අතහැරලා දාලා තිබ්බේ.

ඉස්සර හැම දාම සති අන්තය ඉවර වෙලා ඉරිදා උදේ පාන්දර යන කොළඹ බස් එකට තරුත් නගිනවා.
එ් මං වගේ ම නේවාසිකාගාරයට යන්න. උදේ 5.45 ට විතර ගෙදරින් අරන් එන්න පොත් මල්ලයි ඇඳුම් මල්ලයි කරේ එල්ල ගත්ත අපි දෙන්න එ් කාලේ ගෙදරින් හමුවෙන සලාක මලූ දෙක අතින් එල්ල ගෙන හෙමි හෙමින් පොඩි කතාවකින්ම බස් නැවතුම් පල පැත්තට එමින් හිටියා.නගරයේ පුරාම කලින් දවසක පැවැත්වුණු සංගීත සංදර්ශනයක සලකුණු ඉතිරි වෙලා තිබ්බා. හදිසියේම වැටුන පොද වැස්ස හින්ද මායි තරුයි දෙන්නම ඉක්මනට ගොඩ උනේ වුනේ කඩපිල අයිනේ තිබුන පියස්ස යටට. එක පාරටම අතේ තිබුණ මල්ල මගේ අතට දීපු තරු පියස්ස අයිනේන් කඬේ පිටි පස්ස පැත්තට ගියා.

”අනේ රංග අයියා”

ගිය වේගයෙන්ම ආපහු ආපු තරූ මගේ අත් දෙක අල්ලගෙන කිව්ව.. අතේ තිබුණු තිබුන රෙදි මලූ දෙක කඩ පිලේ අයිනේ තියපු අපි දෙන්න ඉක්මනට එයා ආපු පැත්තට ආපහු ගියා. වකුටු වෙලා බිම ඉඳගෙන ,කකුල් දෙක උඩ ඔලූව තියාගෙන , ඔලූව අත් දෙකෙන් තද කරල අල්ලගෙන බිම වාඩි වෙලා කැහැටු කළු ගුලියක් හිටියා. වේදනාව නිසා කෙඳිරි ගාන හඬත් , අත් ගොබ වල තිබුණු තුවාළ සළකුණුත්, මොකක් හරි බරපතළ රණ්ඩුවක මෙයා පැටළුණු බවට සාක්ෂි දැරුවා.

”අයියේ …අයියේ ,”

උරහිස හොල්ල හොල්ල තරූ එයාට කතා කළා. වේදනාවෙන් නිකුත් වෙච්ච වේදනාකාරී හඬක් එක්ක එයා මෙහෙම කිව්වා ..

”අතහරිනවා ඕයි උරහිස. උරහිස පැනලා ද මන්දා ”

”ඔයාට උදේ ලෙක්චර්ස් ද.”

මගේ දිහා බලපු තරු මගෙන් ඇහුවා ..

”නෑ…එ්ත් උදෙන් ගියොත් හොඳයි. ඔයා මොකද්ද කරන්න හදන්නේ ”

”මේ මනුස්සය මෙතන දාලා යන්න ද බං. හොඳටම ගහලා.”

එයාව එතනම තියලා අපි දෙන්න ඇවිදගෙන ගියේ නගරයේ පහල පැත්තට වෙන්න තියෙන තුන් රෝද රථ නැවතුම ගාවට. එතැන හිටපු තුන්රෝද රථ රියැදුරු සහෝදරයෙකුත් රැගෙන අපි ආවෙ ආයෙ අර කඩ පියස්ස යටට.

” ගුටි කාල විතරක්නම් මදෑ හොඳටම බීලත් .”

හිතේ තියෙන තරහටම මට කියවුණා. එයාගෙ අතේ තිබුණ අඩුම කුඩුම මල්ලත් මගේ අතට දීපු තරුදි රංගත් එක්කම රියට ගොඩ උනා. විභාග,සමීක්ෂණ,කෙටි වාර පරීක්ෂණ,ඔය කාලයත් එක්ක අපේ ජීවිතයත් ගෙවිලා ගියා.

එදා රෝහල් ගත කරපු රංගව බලන්න එයාගෙ ගෙදරින් ආවේ එයාගේ පොඩි අයියා විතරයි. හැම උදේකම අම්මා එයාට හදලා දෙන බත් එකත් අරගෙන තරු රංගව බලන්න ගියා. රෝහලෙදි ඉවත් කරන රංගගෙ ඇඳුම් අරගෙන විශ්ව විද්‍යාලයට එන එයා නේවාසිකාගාරයේ නාන කාමරය තුළ එ්වා හෝදලා වනලා හවස යනකොට අරගෙන ගියා. උරහිසත් පැනලා , දකුණු අතත් කැඩිලා හිටි රංග හරියටම සති දෙකක් රෝහල් ගත වෙලා හිටියා.

”කූඩැල්ලා මෙට්ටේ තියන්න පුළුවන්ද බං..”

මම තරුදිට හිනා උනා. එ්ත් මට වැරදුනා ද මන්දා. ඊට මාසෙකට විතර පස්සෙ පස්සේ විශ්වවිද්‍යාලය අසල බස් නැවතුමේ අතත් එල්ලගෙන රංග අයිය හිටියා. තරූ එනකන් බලාගෙන..

රංග හුඟක් වෙනස් වෙමින් හිටියෙ. හරියට කෙහෙල් මුවකින් කැනක් පීදෙනා වගේ.රස්තා මෝස්තරයට වවලා තිබුණ කොන්ඩෙ කොට වෙන්න කපලා තිබුනා. තැනින් තැන ඉරුණු කලිසම් , වෙනස් වෙලා සාමාන්‍ය කලිසම් වලට මාරු වෙලා තිබුණා. නගරයේ තැනින් තැන රස්තියාදු වෙමින් හිටපු රංග එ්ක හුඟක් අඩු කළා. එ්ත් එයාගෙ එ් වෙනසට එයාගෙ ගෙදරින් නම් කිසිම සහයෝගයක් ලැබුණෙ නෑ. රංග අලෙවිකරණය ඉගෙන ගන්න හරිම ආසාවෙන් හිටියා. එයා හරිම ආසාවෙන් එයාගෙ අම්මගෙන් එ්කට මුදල් ඉල්ලද්දි අම්ම කිව්වේ ,අමුතුවෙන් ඉගෙනගන්න දෙයක් නෑ කඩයට ඇවිත් උදව් කරන්න කියලා.අන්තිමේ රංගගේ ඉගෙනගැනීමේ හීනය වෙනුවෙන් කැප උනේ තරූගේ කරේ දිලිහුනු මාලේ.

කැලේ මාරු වුණාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නෑ කියනවා වගේ කාලෙන් කාලෙට තියෙන සංගීත සංදර්ශන වලදි රංග විසින් ඇතිකරගන්නා ගැටුම් වලින් නම් නිමක් වුණේම නැහැ. එක දවසක් එහෙම ගැටුමක් අවසාන රංග නැවතුණේ පොලිස් කූඩුවේ. තරූ එ් වතාවෙ රංගව ගලවගෙන ආවේ, අපේ ජේෂ්ඨ සිසු සහෝදරයෙක් වුණු ,ලඟදි දිවුරුම් දීපු නීතීඥ සහෝදරයෙක් ළඟ වැඳ වැටෙමින් ඔහුවත් රැගෙන ගිහින්. අන්තිමට තරූගේ ආදරේ නිසාම රංගගෙ ද ප‍්‍රචණ්ඩකාරී හැසිරීම් සම්පූර්ණයෙන්ම නැවතුණා. රංගගෙ අධ්‍යාත්මීය ඇතුලෙ ගැලූව ප‍්‍රචණ්ඩ ලෝදිය ගඟුල, තරූගේ ආදරේ කියන හිම නිසාම සිසිල් වෙලා ගියා. සමහර දවස් වල තරු දිහා බලන් ඉන්න රංගගෙ ඇස් වල ඇදෙන ශාන්ත ගතිය මට අදහන්නත් බැරි තරම්. සැරින් සැරේ ගල්මුල් වල හැපෙමින් විටෙක දෝනාවල සැඟවී යමින් ,නැවත නොහිතනම තැනකින් මතු වෙමින් රංගගෙ ආදරේ තරු වෙනුවෙන් ගලාගෙන ගියා.

රංග හිමි හිමින් වෙනස් වෙන්න ගත්තා. එක පාඨමාලාවක් ඉවරවෙලා තව පාඨමාලාවකට . තරූ ගේ ගුරුවරයෙක්ගේ උදව්වෙන් අලෙවිකරණ රැකියාවකට . ඔය විදියට එහා එයාගෙ දියුණුවේ තියෙන ඉනිමගේ බොහෝම ඉහළ නැග්ගා. ළඟ එයාගෙ දියුණුව කියන පඩිපෙලේ බොහොම ඉහළට නඟිද්දී එයාගෙ පවුලෙ අය ඊට විරුද්ධ පැත්තට ගමන් කළේ. අන්තිමට හිමින් හිමින් විසිරිලා ගිය රංගගේ පවුලේ සාමාජිකයෝ අවසානයෙ රංගගේ අසනීප වුන අම්මගෙ වගකීමත් රංගටම භාර කළා. රංගට අම්මව අරගෙන එයා එ් වෙලාවේ නැවතිලා හිටපු බෝඩින් කාමරයට යන්න පුළුවන් කමක් තිබ්බේ නෑ. රංගගේ අම්මගේ වගකීමත් බාර ගන්න උනෙත් එ් කාලෙ වෙද්දි විශ්වවිද්‍යාලය ගාව කුඩා ඇනෙක්සික පදිංචි වෙලා හිටපු තරූටමයි.

රංග නිසා දිනෙන් දින තරුට එකතුවෙන වගකීම් වැඩි වුනා මිසක් එ් ගොල්ලෝ ආදරේ කළාද මන්දා. මමත් මගේ සමකාලීන මිතුරියෝත් ,අපේ ආදරවන්තයොත් එක්ක යන චාරිකා එකකටවත් තරූට වත් රංගටවත් සහභාගි වෙන්න වුණේ නෑ. එකක් රංගගෙ අම්මගෙ වගකීමයි.. රංගට එ් විදිහට තරු එක්ක ජීවිතේ විදින්න වුවමනා වුණේ නැද්ද මන්දා .

විශ්ව විද්‍යාලයෙන් ඇනෙක්සිය ට, ඇනෙක්සියෙන් විශ්වවිද්‍යාලයට ගිය අපේ සාමාන්‍ය දින චර්යාවට වඩා තරූගෙ දින චර්යාව වෙනස් වුණා. ජීවිකාව ගැට ගහගන්න පොඞ්ඩක් අමාරුවෙද්දි උසස් පෙළ ශිෂ්‍යාවන්ට අමතර පන්ති කරන්න එ් ලමයින්ගේ ගෙවල් වලට ගියා. එ් වෙද්දි රංගගෙ අම්මට එක්ස් කිරණ ප‍්‍රතිකාර පටන් අරන් තිබ්බෙ..

සමහර දවස්වල උදේ පාන්දර පහට ඇනෙක්සියෙන් පිට වෙන තරූ ,උදේ පහමාරට විතර නිවසකට ගිහිල්ලා අමතරව පන්තියකුත් කරල ,ආයෙ විශ්වවිද්‍යාලයෙ දේශන වලට සහභාගි වෙලා, ආයෙත් හවස පහට රංගගෙ අම්මාව බලල, තවත් අමතර පංති දෙකක් කරල,? 10 විතර වෙනකොට රංගගේ පුංචි ස්කූටියෙ බෝඩිමට එනවා.

ඔහොම බොහොම කාලයක් ගෙවිලා තරූ කොච්චර මහන්සි උනත් ,රංගගේ අම්මව බේරගන්න නම් බැරි වුණා. සංසාරේ හැටි, බොහොම ආඩම්බරකාර කෝටිපති ගැහැනියක් වුණු රංගගේ අම්මා අවසානයේ අවසන් ගමන් ගියේ බොරැල්ල තිබුන බොහොම මිල අඩු මල් ශාලාවක..

එන එන හුළඟට ගසාගෙන යන රුවල් නැවක් වුණු, රංගගෙ ජීවිතයේ රුවල සැරින් සැරේ මසමින් තරූ මේ තරුණයාගේ ගමනට රුකුලක්ම උනා. රංග එයාගෙ රැකියාවෙන් බොහොම ඉහලට ගියා. මාසේ පඩිය තරු අතට ගෙනත් දෙන රංගට තරූ කියන්නෙ බැංකුවක්.

එහෙම ජීවන ගමනේ පඩියෙන් පඩිය එකිනෙක අත් අල්ලාගෙන නැගගෙන එ්ගොල්ලෝ බොහොම උඩට ගමන් කළා.
තරු රංගගෙ ජීවන නෞකාවේ නියමුවරියම උනා. ජනාකීර්ණ පෙදෙසක රංගගෙ නමින් ඉඩමක්, එ් ඉඩමේ ගලින් ගල බැඳෙමින් ගොඩනැගෙන නවීන පන්නයේ නිවසක්, හෙමි හෙමින් ඉදිවුණා.රංගගේ ව්‍යාපාරය පුළුල් වුනා. ස්කූටිය කාර් එකකට මාරු උනා.

එය අලූතින්ම ගත්ත වාහනෙන් රංගත් එක්ක ගිහින් කැලණි පන්සල වැඳලා ආපහු හවස බෝඩිමට ආපු වෙලාවේ තරු මට මෙහෙම කිව්වා .

”හසියා, මට හිතෙන්නෙ මන් නිකන් පියාඹනව වගේ. මහන්සියේ ප‍්‍රතිඵල ඇස් පනා පිටම දැන් තියෙනවා. ”

”ආව්ව් .ආව්ව්. එහෙනම් ෆයිනල්ස් වලින් පස්සේ අපිට කේක් කෑල්ලක් කන්න පුළුවන් වෙයිනේ.”

මං එයාට විහිළු කළා. එයා දිලිසෙන ඇස් වලින් මන් දිහා බලලා හිනා උනා. හැම කෙල්ලෙක්ගෙම වගේ හිතේ ඇඳෙන බලාපොරොත්තු හීන ගැන එයාගේ ඇස් මට සාක්ෂි සැපයුවා . එයා රංග එයාට ආදරෙයි කියන කම් බලාගෙන හිටියා. ඔහොම කාලේ ගෙවිලා යද්දී , තරූ අවසාන පරීක්ෂණයෙන් පස්සේ බොහොම දුර දුෂ්කර පාසලකට සීමාවාසික පුහුණුව සඳහා පිටත් වෙලා ගියා.

හැම තිස්සෙම ඉදිකට්ටයි නූලයි වගේ හිටපු තරු තමන්ගෙන් ඈත් වෙලා ඉන්න එක රංගට දරාගන්න බැරි වුණා. එයා එයාගේ ගිණුම් කටයුතු පවා අවුල් කරගත්ත. ප‍්‍රතිඵලය වුණේ , හැම සිකුරාදාවකම පැය අටක බස් ගමනකින් පස්සේ සෙනසුරාදාට එළිවෙන පාන්දර ඇනෙක්සිය ට එන තරූ , ඉරිදා ?ට පිටත් වෙන බස් රථයෙන් ආපහු ඇල්ලට යන්න පටන් ගත්ත එක.

රැකියාවේ යෙදෙද්දී සිදුවුන අපහසුතා කිහිපයක් නිසාත්, එයාගේ ව්‍යාපාරයට වැඩිපුර කාලය යොදවන්න තියෙන අවශ්‍යතාවය නිසාත්, රංග එයාගේ කාර්යාලයේ යාලූව ,නිමන්ත පාර්ශවකාරයෙක් කරගෙන එයාගේ ව්‍යාපාරයටම කාලය යොදවන්න ගත්තා. එයාලගේ මූල්‍ය උපදේශක වගේම ගිණුම්කාර සහායකයා උනේ තරූ. එයා එ් කාලේ හරිම කාර්යබහුල කාලයක් ගෙව්වා. නොපෙනෙන එහෙත් ස්ථීර සාර්ථක අනාගතයක් ගැන හීන මවපූ තරූ එයාගෙ වෙහෙස ගැන පොඞ්ඩක්වත් පසුතැවුනෙ නැහැ .

බොහොම කෙටි කාලයක් ඇතුළත තරූගේ අප‍්‍රමාණ කැපවීමත් නිමන්තගේ රංගගේ වෙහෙස මහන්සියත් හින්දා එයාලගෙ ව්‍යාපාරය සාර්ථකත්වයේ පෙරමගටම ආවා. රංගට ඕන වුණේ තමන් වෙනුවෙන් මෙච්චර වෙහෙස මහන්සි වෙන තරු වෙනුවෙන් විවේකයක් ලබා දෙන්න. එයාට පහසුවක් දෙන්න. එ් නිසා එයා අලූතින් කාර්යාලයක් කුලියට අරගෙන එහි ව්‍යාපාරය හා සම්බන්ධ පුංචි ආයතනයක් පටන් ගත්තා. එ්කට තවත් සේවිකාවෝ දෙදෙනෙකුයි සේවකයෝ දෙදෙනෙකුයි සේවයට බඳවා ගත්තා.

සතිපතා කොළඹ ආපු තරු සති දෙකෙන් දෙකට කොළඹ එන්න පටන් ගත්තා.අධික වෙහෙස මහන්සිය හින්දම හිටපු ශරීර ප‍්‍රමාණයෙන් බාගයක් වෙලා හිටපු එයා, විවේකය නිසා ම පොඞ්ඩක් මහත් වෙලා හරිම ආකර්ශණීය කෙනෙක් වුණා ,ඉස්සර වගේම.මේ වෙනකොට දික්වෙලා තිබුන පුංචි කැරලි ගැසුන කෙස් කළඹයි.දීප්තිමත් දිලිසෙන කාලවර්ණ දෙනෙතුයි, ඉන්න සෞම්‍ය පරිසරය නිසාම පාට වැටෙන ශරීරය යි , නිසා එයා පෙනුනේ සුර ලොවින් බට දෙවඟනක් වගේ.

බොහොම සාර්ථක ව්‍යාපාර ගමනක් යන නිමන්තයි ,රංගයි ,පුද්ගලික ජීවිතේ ගමන් කළේ පාරවල් දෙකක. බොහොම නිවුණු ඉවසිල්ලෙන් වැඩකරන හරිම කාරුණික කෙනෙක් වුණු නිමන්ත හරියට පතුල පැහැදිලිව පෙනෙන නිශ්චල දිය කඳක් වගේ. එයාගෙ ගැඹුර ඇත්තටම තේරුණේ නෑ. හරිම කාරුණික හදවතකුයි මානුෂීය හිතුවිලියි වලින් පිරිපුන් නිමන්තගේ රෝගී පියා ව එ් වෙනකොට බලාගත්තෙත් නිමන්තමයි. බොහොම කාලෙකට කලින්, මේ පුංචි පුතු පැටියාව තමන්ට ඉතුරු කරල ජීවිතයෙන් සමුගත්ත නිමන්තගේ අම්මගෙන් ඇතිවුණු අඩුව පුරවන්න උපරිම උත්සාහ කරමින් එ් තාත්තා නිමන්ත ව තනියම හදා ගත්තා. නිමන්ත ට හරිම ආදරණීය එ් වගේම කාරුණික හදවතක් ලබා දුන්න.

ලැබෙන කීර්තියයි, ලැබෙන ධනයයි නිසා හරිම සැහැල්ලූ ජීවිතයකට ආයෙ මුල පුරමින් හිටපු රංග , තමන්ට ආදරෙයි කියලා තමන් ව එයාගෙම කරගන්න දවස වෙනකන් තරූ ඇඟිලි ගනිමින් හිටියා. තමන් ආදරය කරන කෙනාට තුරුල් වෙලා අනාගතය ගැන හීනයක් දකින්න. සීතල සුළං හමන හවසක තණ පිටියක වාඩි වෙලා ඉර බැහැගෙන යන දිහා බලන් ඉන්න.කොයි කෙල්ල ද අකමැති. තරූටත් එහෙම හීන තිබ්බා. එ්ත් රංග ආදරේ කියල දැක්කෙ ඊට වඩා වෙනස් දෙයක්. එයාට ඕන වුණේ ,කන් බිහිරි කරවන සංගීතය මැද්දෙ එයා ආදරය කරන කෙල්ලට තුරුල් වෙලා නටන්න. එහෙම නැත්නං නැත්තං තරු එක්ක තනිවෙන්න. ඉස්සර ජීවිතේ ජයගන්න කාලේ ඕනතරම් තනියම එකම ඇනෙක්සියෙ රැයවල් ගෙවාපු එ් දෙන්නට එ් කාලෙ තිබුණු අරමුණුයි. ජීවිතය දිනුවට පස්සේ තිබුණු අරමුණුයි අතර පරස්පරතාව, එයාලගේ ළඟම හිතවතියක් වූ මාව කම්පනයට පත් කළා.

” ඇයි තරුව දැන් උඹලට බඳින්න බැරි”

”රංග මට තාම හරියට ආදරෙයි වත් කියලා නෑ බං .”

මං එයාගෙ අහපු ප‍්‍රශ්නයට එයා උත්තර දුන්නේ එහෙම. එකිනෙකට වෙනස් සම්බන්ධකම් වල හැඟීම් වල පරාසය වෙනස් නිසා මං ආයෙ ගැන කතා කරන්න ගියේ නැහැ. එ්ත් තරූ මොකක්දෝ හිස් කමකින් පීඩා විඳි බව නම් මට දැනුනා.

සමාගම් ලේකම්වරියක් විදිහට මම මුලින්ම බැඳුණු සමාගම අයිති වුණෙත් රංගටයි, නිමන්තටයි. ව්‍යාපාරය දියුණු වීමත් එක්කම එයාලට පුළුල් කාර්යාල සේවක අවශ්‍යතාවයක් ආවා.එහෙම ආපු ගිණුම්කරණ සේවිකාව තමයි රේශ්මා. ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබා බොහොම චතුර විදියට ඉංග‍්‍රීසි භාෂාව හසුරුවන එයා ඇඳ පැළඳ ගැනීමෙනුත් බොහොම සරාගී බවක් පෙන්නුම් කළා .
රැකියාවේ කටයුතුත් එක්ක මමයි රේශ්මයි නිතරම ගැටුනා.

සීමාවාසික පුහුණුව අවසාන වෙලා තරූ කොළඹට ආවේ ජනප‍්‍රිය බාලිකා පාසලක ක‍්‍රීඩා පුහුණුකාරිය විදිහට. එයා එ් කටයුතුත් එක්ක හරිම කාර්යබහුල වුණා. නමුත් හැමදේම බොහොම සමබරව කරපු තරූ ,රංග වෙනුවෙන් කාලය ගත කරන්න නම් අමතක කලේ නෑ.නමුත් රංගට නම් තිබුණෙ උතුරා යන කාර්යබහුලත්වයක්. එ්ක කොච්චර ද කියනවා නම් එයාට එ් මාසයේ යෙදුණු තරූගේ උපන්දිනයක් අමතක උනා. සුපුරුදු පරිදිම උපේක්ෂා සහගත හිනාවෙන් එයාගෙ දුක එළියට නොපෙන්නපු තරු හීන් හුස්මක් ගත්තා.

කාලෙකට පස්සේ ලැබුණ ධනයත් සැහැල්ලූවත් නිසා පෙරදී තරූ නිසා නිදි ගත්ත රංගගෙ අභ්‍යන්තරය හිටපු සෙල්ලක්කාරයා හෙමින් හෙමින් අවදි වෙන්න පටන් ගත්තා .සාර්ථක ව්‍යාපාරයක්..සුඛෝපභෝගී නිවසක්. සැලකිය යුතු මාසික ආදායමක්. නවීන පන්නයේ මෝටර් රථයක්. ඉතා පහසු ජීවිතයක් බලාපොරොත්තු වුණු ගැහැනියක වූ රේෂ්මා රංගගෙ සෙල්ලක්කාර කමින් ප‍්‍රයෝජන ගත්තා. වේගයෙන් ගෙවෙමින් පැවතුන සුඛෝපභෝගී ජීවිතයක් ඇතුලේ ,අරුමෝසම් සමාජයක් මැද්දෙ, සරාගී රේශ්මා රංගව ආකර්ෂණය කර ගත්තා. රංග කැමති ආකාරයේ නැටුම් සාද. සරාගී ඇමතුම් පැවතුම් රේශ්මවත් රංගවත් තවත් ලංකලා.

රංගගෙ මේ වෙනස් වීම තරූ වෙනස්ම කෙනෙක් කරලා තිබ්බා.

” අපි කවදාවත් ආදරේ ගැන කතා කතා කරල තිබ්බෙ නෑ..එ්ත් අපි අතර හොඳ හැඟීම් ගැන ගනුදෙනුවක් තිබ්බා. එයා හිතෙන දේ මට දැනුනා. මං හිතෙන දේ එයාට දැනුන කියල මම හිතාගෙන හිටිය.”

එයා හරිම වේදනාවෙන් මාත් එක්ක දුක බෙදා ගත්තා.

”මට හිතෙන්නෙ හරියට. මාව මුහුද මැද්දට ගෙනවිත් අතහැරියා වගේ. එයාගෙ ඉරුණු රුවල මහපු මං ,අන්තිමට රුවලක් ඕන නැති බෝට්ටුවක තනිවෙලා වගේ. ”

”මට හරියට රිදෙනවා හසියා. හරියට දවස ගෙවෙන් නැතුව නැවතිලා වගේ”

”මං මගේ හීන අමතක කළා.එයා නිසා.එයාගේ හිත රිදෙයි කියලා.මං මගේ හීන හංගගත්තා. මොකක්ද මගේ ආදරේ වෙච්ච අඩුව.”

විශ්වවිද්‍යාලයේ දෙවන වසරේදී ජාතික නෙට්බෝල් කණ්ඩායමේ සංචිතයට තේරුණු අවස්ථාව සිහි කරමින් එයා මගෙන් ඇහුවා.

” ආදරේ කියන්නෙ හරියට හුළඟ වගේ.ආදරේ පේන්නේ නෑ.සුලඟ වගෙ ආදරයත් දැනෙනවා විතරයි. මට එයාව දැනුනා හසියා.”

නිදි වර්ජිත රාත‍්‍රී ගණනාවක් , එයා ඔය වගේ මාත් එක්ක එයාගෙ දුක කියෙව්වා. හඬා වැටිලාම කළු පාට රවුම් හැදුනු දෑසකුයි..හැමතිස්සෙම හීල්ලෙන හදවතකුයි එක්ක ,එයා එන්න එන්නම ශරීරයෙන් පවා වෙනස් වෙන්න ගත්තා.
එ්ත් එයා පුළුවන් තරම් රංගව මග ඇරියා. රේශ්මා මුහුණු පොතේ එයාලගේ අලූත් ජීවිතේ ගැන විස්තර දමද්දී , එ්වා බල බලා එයා ඉකි ගගහ ඇඬුවා.

තරූ වේදනා විඳිනවා බලාගෙන ඉන්න බැරිම තැන.. මං රංගව හමුවෙන්න ගියා.කාර්යාලයෙ රංගගෙ කුටියේ එළියෙ හිටියේ රේශ්මා. ඇය මට රංග හමුවෙන්න අවස්ථාවක් ලබා දුන්නෙම නෑ . ඉවසගෙන ඉන්න බැරිම තැන මම රේශ්මව තල්ලූ කරලා ඔහුගේ කුටිය ඇතුලට ගියා. පරිගණකයට මූන ඔබාගෙන මොකක් හරි වැඩක් කර කර හිටපු රංග මාව දැකලා ගැස්සිලා පුටුවෙන් නැගිට්ටා. එහි තත්පර ගානට මාව එළියට දාන්න රේශ්මා ආරක්ෂක අංශයත් කැඳවලා. මාව ඉවත් කරන්න මගේ උරහිසට අත තියපු ආරක්ෂක නිලධාරිනියගේ අත පසෙකට කරපු මම රංග දිහා බලලා කිව්වේ එකම එකදෙයයි.

” උඹ එදා උදේ පාන්දර විජේසිරිය පිටිපස්සේ ගුටි කාල වැටිලා හිටපු වෙලාවේ , තරුවා උඹව ඉස්පිරිතාලෙ අරන් යන්න ලෑස්ති වෙනකොට , එ්කිට දෙකක් ගහල , කොළඹ බස් එකට නග්ග ගත්ත නැති වැරැද්ද ගැන මම අදත් දුක් වෙනවා.”

එහෙම කියලා , හිතේ තිබුනු තරහ ට රේශ්මගෙ මේස රෙද්ද පිටින්ම බිමට ඇදලා දාලා , ආපහු විදුලි වේගයෙන් එලියට එන මගේ පස්සෙන් රංග දුවගෙන ආවා…එහෙත් අධික කේන්තිය නිසා මං ගිනිගනිමින් හිටියේ්.

” හසියා ..ඇයි එයාට මොකද.”

”ඇයි උඹ දැන් ද අහන්නේ. දෙකයි පනහේ ගෑණුන්ව වාහනේ දාගෙන ටි‍්‍රප් යන කොට, එ් ගෑනු එ්වා සෝෂල් මීඩියා දානකොට, එ්කිට රිදෙනවා කියලා උඹ දන්නැද්ද බූරුවො.”

අපේ පිටිපස්සෙන් ආපු රේශ්මව දවා හළු කරන්න තරම් බැල්මකින් බලන ගමන් මට ඇසුණා. හරිම පරාජිත බැල්මකින් මං දිහා බලපු එයා

”එයා කෝ දැන්”

ඇහෙන නොඇසෙනන ගානේ ඇහුවා ..

”තාම පණපිටින් ඉන්නවා. හැබැයි අයි සී යූ එකේ ”

වියෝගය දරා ගන්න බැරි තරම් වේදනාවට පත්වුණු තරූ විෂාදයට ගොදුරු වෙලා තිබුන.එ් වගේම අධික රුධිර පීඩනයටත්. එ් නිසාම එයාව රෝහලේ විශේෂ රැකවරණය යටතට පත්කලා.තමුන් කඩා වැටිච්ච හැම වෙලාවකම තමන්ට අත් වැලක් වුණු තරූ තමන් නිසාම හේබා ගිය පරඬැලක් බවට පත් වෙලා ඉන්න විදිය දරාගන්න බැරි උනු රංග විසඳුම් සෙවූවෙ මත්වෙලා. මත්වෙලා ඉන්න රංගගෙන් ප‍්‍රයෝජනය ගත්තේ රේශ්මා. හවස පහට රෝගීන් රෝගීන් බලන වෙලාවට තරු බලන්න ගිහින් දරා ගන්න බැරි හර්දශාක්ශියෙ චෝදනාවෙන් ගැලවෙන්න බැරි ව මත් වෙන රංග නැවතුනේ රේශ්මා ගෙ යහනෙ..

තරූගෙ කඩා වැටීම නිසා ම , කඩාගෙන වැටුණු රංග ගෙන් අතපසු වන ව්‍යාපාරික කටයුතු නොකඩවා කරගෙන ගියේ නිමන්ත. එ් අතරේ එයා තරූ ගැන හරියට දුක් වුණා.

නිසි කලට වැටෙන බෙහෙත් වගේ ම මානසික ප‍්‍රතිකාරත්, විටෙන් විට හමන නිමන්තගෙ හිතමිතුරු හුළගත් නිසා තරූ හෙමින් හෙමින් යථා තත්ත්වයට පත් වෙන්න ගත්තා . ආයෙත් රංග තරු ගැන ඉස්සර වගේම ,සමහර විට ඉස්සරහටත් වැඩියෙන් හොයන්න බලන්න පටන් ගත්තා.එ්ත් තරූගේ දෙනෙත් වල ඉස්සර රංග දකිනකොට ඇති දිලිසීම කවදාවත් මම ආයෙ දැක්කෙ නෑ.එ්ක රංගටත් දැනුනා. ඔහුගේ විසඳුම වුනේ සිහි විකල් වනතුරු මත් වීමත් අවසන රේශ්මාගේ යහනේ නැවතීමයි. කැඩිලා බිඳිලා තියෙන්නෙ වීදුරු භාජනයක් වගේ සම්බන්ධයක් නැවත ගොඩ නගා ගන්න අසාර්ථක උත්සාහයක යෙදෙන රංග තරුට විවාහ යෝජනා කළා. එ් එයා කාලයක් අහන්න බලාසිටි ආදරේ ප‍්‍රකාශ කිරීමත් සමගම.

එයාගෙ ප‍්‍රතිචාරය වුනේ ශෝකාකූල හිනාවක් විතරයි. රංග එයාගෙ මුහුණු පොතෙත් එ් ගැන සටහනක් දාලා තිබ්බ.

”හසියා, ඔයා දන්නවද එක කාලෙක , මම එ් අවස්ථාව වෙනකම් හීන දැක්කා. එ්ත් මට ඇත්තටම එ්ක ඇහුනේ හීනෙන් අවදි වුණාට පස්සේ.”

තරූ ගෙවමින් හිටිය සංක‍්‍රාන්ති කාලයක්. රංග එයාලගේ බිඳුනු ආදරය ආයෙත් ගොඩනගන්න පිඹුරුපත් සකසමින් හිටියා.එ් ගැන බොහොම කලබල උනේ වුනේ රේශ්මා. රේශ්මා දැනගෙන හිටියා, තමන්ට කවදාවත් රංග ගේ හිතේ තරූ හිටපු තැන ලැබෙන්නේ නැති බව. එයා එයාගේ ඇස් ඉස්සරහ පෙනි පෙනී තිබෙන සුඛෝපභෝගී ජීවිතය රැක ගැනීමේ බලාපොරොත්තුවෙන් පිඹුරුපත් සැකසුවා. එ් සඳහා හැමදාම හවසට තරූගෙ වෙනස්කම නිසා හදවත හිස් කරගන්න මත් වෙන රංග ගේ දින චරියාව , රේශ්මා ප‍්‍රයෝජනයට ගත්තා.

රංග ගැන කෙසේ වෙතත් .තමන්ගෙ ම ජීවිතය ගැන උපේක්ෂාවෙන් බලමින් .හෙමින් හෙමින් හිත හයිය කරගන්න මාවතේ වැටි වැටි අඩිය තබමින් ඉඳපු තරූව , රේශ්මා එකම එක වචනයකින් ආපහු මහ පොළොවට ම වැතිරෙව්වා. එ් තමා රංග නමෙන් මවක් වීමට යන බව පැවසීමෙන්.

ජීවිතයේ එක්තරා කාලයක ඔහු වෙනුවෙන් තමා ගේ කුසේ වැඩෙන්නට සිටි බිලින්දා වෙනත් ගැහැණියක ගේ කුසේ වැඩෙන බව දැනගත් සැනින් ඇය අකම්පිතව සසල වුණා.හෙමින් හෙමින් අඩි තබමින් යළිත් ජීවන මග ඇය නොසිතූ ලෙස අවහිර වී තිබුණා. රංග තරූට මුහුණදිය නොහැකි වේදනාවකින් ලැජ්ජාවකින් පෙලූනා.

අවසානයේ ඇය තීරණයක් ගත්තා. බොහොම දුර ඈත දුෂ්කර කඳුකර පලාතකට මාරුවක් හදා ගත්ත එයා කොළඹටත් රංගටත් සදහටම සමු දුන්නා. වියවුල් මත ගැටීම් සහිත කාල පරිච්ෙඡ්දයකින් පස්සේ රංග රේශ්මාගෙ දරුවාගේ පීතෘ භාවය පිළිගත්තා. රේශ්මට එයා බලාපොරොත්තු සුඛෝපභෝගී ජීවිතය ලැබුණා. හැබැයි අසම්පූර්ණව.. තවත් ගැහැනියකගේ සතුට උදුරගන්න කිසිම ගැහැනියකට කිසිදිනක සතුට නොලැබෙනා සත්‍යය පසක් කරමින් ඇයට කවදාවත් රංගගේ හදවතේ රැජින වන්නට ලැබුණේ නැහැ .

සිදුවුණු වියවුල් සහගත තත්ත්වය සහ හදවතේ තරූ වෙනුවෙන් පිබිදෙනා පේ‍්‍රමයද සැලකීමට ගත් නිමන්ත , ඔහුගේ සිහින ගොවිපල නිර්මාණය කිරීම සඳහා කඳුකරය වෙත පිටත් වෙමින්, තමාගේ කොටස් විකුණා දමා ව්‍යාපාරයෙන් ඉවත් වුණා. රංගට නව කොටස්කරු හා ව්‍යාපාරය පවත්වාගෙන යාම එතරම් පහසු වුණේ නැහැ . ඔහුගේ ජීවිතයේ සූර්යයා ඔහු විසින් ම පලවා හැරීමෙන් පසු ඔහු බොහෝ සෙයින් මනසින් වැටුණා.. අවසානයේ රේශ්මාටත් ,රංගටත් උරුම උනේ පසු පසුතැවීම පමණමයි..

ගෙවී යන කාලය, කඳුකර පරිසරයේ ස්වභාධර්මය, ඇය ආශාවෙන් යෙදෙන රැකියාව ,තරුදිගේ හිත සුවපත් කරලා තිබ්බා.එහෙත් එයා හීන බලන්න නම් බය වුනා. ඇය නැවත ආපසු ලැබීමක් නොමැතිව ම නිමන්ත ගෙන් ලැබෙන පේ‍්‍රමය පිළිගන්නට බිය වී සිටියා. නමුත් කාලයේ ඔසුවලින් සුව වෙමින් අවසානයේ සුළං හමන බව ඇයට දැනුනා

නීතීඥ හසිතනී ජයරත්න

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *