– ගබ්සාව –

–  ගබ්සාව –

        රුවිනි කඳුළු අතරින් ආයේමත් සැරයක් තමන් අතේ ගුලිවුනු කවරේ දිහා බලන් හිටියා. ඇයට දැනුනේ තම අත්ල මත ගිණි ගුලියක් ඇති සේයකී. අත දිගේ ගලා ගිය සියුම් දැවිල්ලක් සිය හදවතත් කුසත් අතර කොහේදෝ ඉඩක නතර වී ඇතිවාක් මෙන් ඇය තම අනෙක් අතින් කුස පිරිමැද්දේ මහත් වේදනාවෙනි.   අත රැඳි කවරය ගුලි කොට අසල වූ මල් පඳුරක් මුලට වීසි කල රුවිනි වට පිට බලන්නට වූයේ එය කවුරුන් හෝ දක්නට ඇද්දැයි බියෙන් මෙනි.

    මං මොකද කරන්නේ….

    කවුරු හරි ඒක අරන් බලයිද…

    ඒක විසි කිලේ මං කියලා දැන ගනියිද….

               එකක් පසු පස එකක් එන සිතුවිලි වලට ඉඩදී රුවිනි අසල තිබූ බංකුව මත වාඩි වුනේ තවත් සිටගෙන සිටියොත් තමන් ඇද වැටේයයි බියෙනි.

         බීම්… බී..ම්ම්ම්… අත රැඳි බෑගය තුල වූ දුරකතනය නද දෙන්නට විය. නලල පුරා රැඳි දහඩිය පිස දමමින් උන් රුවිනි ඒ හඬින් ගැස්සි ගියාය. නැවත්තත් බීම්ම්.. හඬ නංවන බෑගය තදින් තුරුළු කර ගත් ඇය වට පිට බලන්නට වූයේ කිසිවකු ඒ හඬ අසා සිටීදැයි සොයන්නටය. 

        පාරේ ඈත ගමන් කරන දෙදෙනෙකු හැරෙන්නට කිසිවකු අහල පහලක නොවන බව සැක හැර දැනගත් රුවිනි දුරකතනය අතට ගත්තාය. මග ඇරුනු ඇමතුම් පහක් සහ කෙටි පණිවිඩ දෙකක් සටහන් වූ දුරකතනය දෙස මොහොතක් බලා සිටි ඇය පණිවිඩ කියවන්නට වූවාය.

         දැන් මොකද වෙන්නේ….

         හරිද…

         බිව්වද…

                 නොයිවසිලිමත්ව සටහන් කොට තිබූ පණිවිඩ දෙස ඈ බලා සිටියේ හැඟීම් විරහිත හදිනි. 

        මට ඒක කරන්න බෑ දෙයියනේ…… 

          ඇය සුසුම් අතරින් මිමිනුවාය.නොකඩවා නාද වන දුරකතනය නිවා දැමූ ඇය දෑස් අග වූ කඳුළු  ගලා යන්නට හැරියාය. ලුණු රසට තොල්පට හරහා ගලා යන කඳුළු අතරින් සුසුමක් පා කල රුවිනී මොහොතකට දෑස් පියා ගත්තාය. 

         අවුරුදු ගානකට පස්සේ ඒක අහඹු හමුවීමක්. මං හිතන්නේ අවුරුදු පහලවකට වැඩි වෙන්න ඕනි. එදා ඒ වෙඩින් එකට මමත් ගියා පවුලේ අයත් එක්කම. එයත් ඇවිත් හිටියේ ඒයාගේ නෝනයි බබාලයි එක්ක.

         එයා ඉස්සරත්, ඒ කියන්නේ මීට අවුරුදු තිහකට විතර කලින් උනත් මාත් එක්ක ඒ තරම් කතා බහක් නෑ. එයාගේ පවුලේ අය අපේ පවුලේ අයත් එක්ක හරිම හිතවත්. ඒ කාලේ එයා උසස් පෙල. මම දහය වසරේ. එයාගේ මල්ලියි මමයි එකම පන්තියේ. අපි හොඳම යාළුවෝ.

             එයා ඉගෙන ගන්න ගොඩක් දක්ෂයි. පොත පතේ ඇලිලා හිටියා ඇරෙන්න වැඩි කතා බහක් නෑ. ඒ මගේ ජීවිතයේ සතුටින්ම ගතවුනු කාලය. යාළුවෝ රාශියක් පිරිවරාගෙන මම ජීවත් උනේ හරිම සැහැල්ලුවෙන්. 

          ඒ අතරේ එයාලගේ ආච්චි අන්ත්‍රා උනා. ආච්චිගේ ගෙදර අපේ ගෙදර කිට්ටුවමයි. ඒ නිසා අපි හැමෝම නිතර මල ගෙදරට ගියා. මං හිතන්නේ අපි මුල් වරට එකිනෙකා එක්ක වචනයක් කතා කලේ එතනදී. කාත් එක්කත් කතා බහට හුරු මට එයාගේ කියලා වෙනසක් දැනුනේ නෑ. ඒත් එයා නම් කතා කරලා තියෙන්නේ හිතේ වෙනම අරමුණක් තියාගෙන. ඒ බව මට කිව්වේ එයාගේ නැන්දගේ දුව. 

         යහළු යෙහෙළියෝ පිරිවරාගෙන ,බොහොම සැහැල්ලු දිවියක් ගත කරපු මට ප්‍රේම සම්බන්ධතා කියන්නේ ඒ තරම් විෂේශ දෙයක් නෙවෙයි. එයාගේ යෝජනාවත් මටත් මගේ යෙහෙළියන්ටත් තවත් එක කසු කුසුවක් විතරයි. මගෙන් අනුබලයක් නැති බව වැටහිලාද මන්දා ඉන් පස්සේ එයත් වැඩි සද්දයක් බද්දයක් නැතුවම පැත්තකට උනා. 

            කාලය වේගයෙන් ගලන් ගියා. අපට අපිව අමතකම වෙලා තිබුණේ. මමත් විවාහා වෙලා දරු දෙන්නෙක්. එයත් විවාහා වෙලා දරු දෙන්නෙක්. කාලෙකට පස්සේ මුණ ගැහුනත් මට නම් වෙනසක් දැනුනේ නෑ . 

           දවස් කීපයකට පස්සේ මට මුහුණු පොතින් එයාගේ ඇරයුමක් ලැබෙනවා. ඒ අතරම කෙටි පණිවිඩයක්.

       නංගී… කොහොමද..?

       හොඳයි අයියේ.. අයියට කොහොමද..?

              මේ විදියට ඇරඹිලා අපි ගොඩාක් දේවල් කතා කරනවා. එයාගේ ජිවිතේ ගෙවුනු හැටි, මගේ ජීවිතේ ගෙවුනු හැටි…අපි කතා කලා. ඒ අතරෙම අපි එකිනෙකාගේ දුක බෙදා ගත්තා. ඇත්තටම කිව්වොත් අවසානයේ අපේ දවසින් වැඩි කොටසක් ගතවුනේ දුරකතනයේ. 

          මේක හොඳ දෙයක් නෙවෙයි….. මම කිව්වා.

            නෑ අපි වැරැද්දක් කරන්නේ නෑ…. එයා කිව්වා.

             අපි ඈත් වෙමු… එයා කිව්වා. 

             ඔව් ඒක තමයි හොඳම..

මම කිව්වා.

              දවසකට සැරයක් අපි හැමදාම මේ ගැන කතා කලා. ඒත් විසඳුමක් තිබුනේ නෑ. එයා මට කතා කලා. මං එයාට කතා කලා. 

          ඒ අතරේ දවසක් නොසිතූ මොහොතක අපි හමු උනා. ඒත් එදා අපි හිටියේ නාඳුනන දෙන්නෙක් වගේ. “ඒක හරිම අමාරු දෙයක්..” මං එයාට මැසේජ් කලා. ” ඔව්. ඒ වෙලාවේ වෙන කරන්න දෙයක් තිබුනේ නෑ ” . එයා පිලිතුරු එව්වා. 

         මං ඔයාව බලන්න එනවා…එයා හදිස්සියෙම කිව්වා.

        එපා…. මං ඒකට කැමති උනේ නෑ.

        බෑ මං එනවා…මට කොහොම හරි ඔයාව බලන්න ඕනි…..

        ලොකු ප්‍රශ්නයක් වෙයි. මට බයයි….. මං ඇත්තටම බය උනා. 

         නෑ. මං ඔයාව ප්‍රශ්නෙක දාලා පැත්තකට වෙන්නේ නෑ. ඔයාව තනි කරන්නේ නෑ… එයා දිගින් දිගටම කියලා එව්වා.

             ඉන් පස්සේ අපි හමු උනා. ඒ හමුවීම් හරිම සුන්දරයි. මම එයත් එක්ක හදවතින්ම බැඳුනා. එයත් මට ඒ තරම්ම ආදරේ ඇති කියලා හිතුවා. කාලය ඉක්මනින් ගෙවිලා ගියා.මගේ අතින් යුතුකම් ගොඩක් මග ඇරුනා. සමහර වෙලාවට ලොකූ බයක් දැනුනා. ඒත් ” මං ඔයාව තනි කරන්නේ නෑ” එයාගේ ඒ වචන මට ලොකු ශක්තියක් උනා. මම ඒවා ඉර හඳ වගේ විශ්වාස කලා.

               අපි අතර කිසිම රහසක් තිබුනේ නෑ. මං මගේ හැමදේම එයාට කිව්වා. එයත්…. ඒ හැමදේම වෙන්න ඇති කියලා මං හිතුවා. අපිට තව ලං වෙන්න දුරක් තිබුනේ නෑ. සිතින් කයින් අපි එක්කෙනෙක් වෙලා ඉවරයි. මං හැමවෙලේම හිතුවා.

            ඔය අතරේ අපි අතරට තුන්වෙනියෙක් ආවා. ඔව්…. මං දැන් අම්මා කෙනෙක්. 

       “අනේ මගේ දරුවන්ගේ අම්මා ඔයා උනානම්….” එයා මාව තුරුළු කරන් කියපු වාර ගාන මට මතක් කර ගන්නත් බැරි තරම්.ජීවිතේ ගැන බලාපොරොත්තු අත අරින්නද.. එහෙමත් නැත්නම් අද ඉඳන් අලුත් ජීවිතයක් පටන් ගන්නද.. දෙගෙඩියාවෙන් මං එයාට කතා කලා. 

          ඒක අහලා එයා හොඳටම කලබල වෙලා. යුතුකම් ,වගකීම්, බැඳීම් සියල්ල මතක් වෙලා. ඒත් මට පුන පුනා කියපු ” ඔයාව තනි කරන්නේ නෑ ” කියන කතාව අමතක වෙලා. 

         අපි මොනවා හරි කරමු….

එයා කිව්වා.

          මොනවා හරි….. මං ඇහුවා.

          ඔව්. ඕවට බෙහෙත් තියෙනවා. එයා කිව්වා.

          දෙයියනේ මං මේ දරුවගේ අම්මා. මගේ හිත හඬා වැටුනා.

           අපිට මේක කරන්නම වෙනවා. නැත්නම් ප්‍රශ්න ගොඩයි…. එයා කිව්වා.

         අවසානයේ මට මැසේජ් එකක් ආවා.

         මේ බෙහෙත් ගන්න…

            මං උදෙන්ම ගිහින් ඒ බෙහෙත් ගත්තා. ඒත් ඒ දරුවා මගේ හදවත පහුරු ගානවා.        

                   අම්මේ මට ජීවත් වෙන්න දෙන්න …

         කියලා හඬා වැටෙනවා.මං ෆෝන් එක අතට ගත්තා. 

        අපි මේක කරන්නම ඕනිද…? 

            එයාට මැසේජ් කලා…..

              බීම්ම් බීම්ම්ම්ම්… රුවිනි කල්පනා ලොවින් මිදුනේ ඇය අතවූ දුරකතනයේ හඬින්. දෙකම්මුල් පුරා පෙරුණු කඳුළු අතරින් ඈ දුරකතනයට දෑස යොමු කලා. 

          එහි සඳහන් කෙටි පණිවිඩය දෙස ඈ මොහොතක් බලා සිටියේ ගැහෙන හදින් යුතුවය.

     ”  ඔව්. මට මගේ දරුවන්ට මූන දෙන්න ඕනි…” 

         එහි සටහන් වී තිබිනි. දෙවරක් නොසිතූ රුවිනි තමන් ගුලි කර වීසි කල කුඩා කවරය මල් පඳර යටින් සිය දෑතට ගත්තාය. එහි තිබුනු සුදු පැහැ කුඩා පෙති දෙක එකවරම මුව තුලට දමා ගත් ඇය වතුර පොදක් හෝ නොමැතිව එය ගිල දැම්මාය. 

          මොහොතකට දෑස් පියාගත් ඇය කටට දැනෙන අමිහිරි රස පලවා හරින්නට මෙන් කෙළ පිඬක් අසලවු කාණුවට හෙලුවාය. බි..ම්ම්ම් නැවතත් හැඬවෙන දුරකතනය අතට ගත් ඇය ඇමතුම විසන්දි කර “බ්ලොක්” බටනය වෙත සිය ඇඟිල්ල ගෙන ගියාය.

සමන්ති වැලිවිට

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *