ගමේ විත්ති 06 – ඇළ

ගමේ විත්ති 06 – ඇළ

ඇළ ගලා ගියේ කුඹුරු දෙපස පටු මාර්ගයට සමාන්තරවයි. දොළ කෙලවර වන තැන ඇති ඇනිකට් එකෙන් සමව බෙදා හැරෙන වතුර සිලින්ඩර ඔස්සේ පොළව යටින් නොපෙනී ගිහින් එකවර ඇළක් ලෙස ගමේ ඉහල පාර දෙපසින් ආරම්භ වෙනවා. ගමේ ගෙවල් ගහණ ප‍්‍රධාන මාර්ගයේ වැලිගම දෙසින් වමට වන්නට වන ඇළ මාර්ගය කුඹුරු වලට ජල දායකත්වය වැඩිපුරම සැපයූ වාරිමාර්ගය උනා.

දොළේ තරම් පිරිපුන් නැතත් ඇළ ගැමියාගේ කුදු මහත් අවශ්‍යතා ඉටු කරනු ලැබුවා. නෑම, රෙදි පෙරදි සේදීම් ඊට ඇතුලත්. කුඩා කොලූ කුරුට්ටන්ට කෙළි දෙලෙන් ගෙවන්නට රබර, දොළ සේම ඇළත් කදිම ක‍්‍රීඩා පිටියක් උනා. ගංවතුර කාලයට එ් කෙළි සෙල්ලම් තවත් නවමු මුහුණුවර ගත්තා.

ඇළ, ඊට අනන්‍ය වූ සත්ව හා ශාක ගහණයකින් සමන්විත උනා. දිය නයින්, දියබරියන්, ලූලන්, මගුරන්, පෙතියන්, දණ්ඩියන්, කබරගොයින් වැනි එ් නිත්‍ය වාසිකයන් ගේ සිට ආහාර සොයනු පිණිස ඇළ දියට එබෙන දියකාවුන්, කණ කොකුන්, කිරි කොකුන්, මාන කොකුන්, පිළිහුඩුවන් ආදී පක්ෂීන් ද ඊට ඇතුලත්. දියහබරල, දියසෙවෙල, දියබෙරලිය, කිරිඳි වැනි ශාක ගහණයත් එ් ආශ‍්‍රිත පැවැත්ම රදවාගත්තවුන් කිහිපයක්.

වැසි කාලය උතුරා පිටාර ගලා යන ඇළ වැස්ස අඩු වීමත් සමඟ අලූත් ඇඳුම් පැළඳීමෙන් හැඩ වූ කෝමල යුවතියක මෙන් සුපැහැදිලි දියෙන් පිරිපුන්ව ලැසි ගමනින් ජල කඳ ගම දිගේ පොල්අතුමෝදර ගඟ තෙක් රැගෙන යයි. මේ කාලයේම කුඹුරු පාලූ කළ ගොවියන්ගෙන් සමාව භජනය කරන්නට මෙන් ඇළ, දිය පතුල පිරිසිදු වැල්ලෙන් පුරවා දමනවා. ගෙවල් වල ඉතිරි වැඩ කරන්නට හෝ අමතර ආදායමක් ගන්නට ගම්වැසියන් යුහුසුලූව වැලි දියෙන් ගොඩ ගනිමින් ඇල ඉවුරු උඩ ගොඩවල් ගසමින් සිටීම එවිට සුලබ දර්ශනයක්.

ඇළ ඉවුරේ හැදෙන කිරිඳි ගස දම්, සුදු, කහ පැහැයන්ගේ දිදුලන මුතු ඇට වැනි කිරිඳි ඇට ගොන්නෙන් පිරී යන්නේ රබර් ගස් වල කොළ රතු පැහැයට හැරී යන සරත් සමය එළඹීමත් සමඟ. හොඳින් ලැබෙන හිරු එළියත් සුළඟත් කිරිඳි ඇට වර්ණවත්ව පැසී යන්නට හොඳ සාධකයක්. වේලූණු කිරිඳි ඇට එකතු කිරීම ගම් දරුවන් අතර තරඟයක් වෙන්නේ පහල බාලාංශයට ගණනය කිරීමට, අත්වැඩ වලට එ්වා උවමනා වන නිසාම විතරක් නෙමෙයි. අතට සින්දුව දැනෙන වැටෙන කඳුලූ බිංදුවක් වැනි හැඩයක් ගත් කිරිඳි ඇට වල ස්වහාවිකවම පිහිටන සිදුරු අතරින් යතුරු කටුවක් යවා මදය හැර නූලක අමුණා ගත් විට ලස්සන කිරිඳි ඇට මාලයක් හෝ වලල්ලක් සකසා ගන්නට ගැමි දරුවන් දැන සිටියා. ඔවුන්ගේ සෙල්ලම් ගෙවල් වල උත්සව වලට පළදින්නට එ්වා ඉතා උසස් ආභරණ වුනා.

ඇළ මතින් පොල් කොටත්, පුවක් පටිත් උපයෝගයෙන් තැනූ එ් දඬු සෑම නිවසකම පාහේ පාරට සම්බන්ධ කල මාර්ග උනා. ගෙවල් පිහිටා තිබුණේත් ඇළට සමාන්තරව තනි පේළියක් ලෙසින්. එ් නිසා හැම ගෙදරටම පාහේ එ් දඬු තිබුණා. ඇළේ වතුර සුලබ වන කාලයට පොඩි කලිසම් කොට වලින් සැරසුනු කොලූ කුරුට්ටන් එ් දඬු මතින් කරනම් ගසා ඇළට පැන දිය නාන්නේ පිරිස අතරේ තමන්ගේ කීර්තිය පතුරවාගනිමිනුයි.

ඇළ ඉවුරේ කිරිමැටිත් ගැමි දරුවන්ගේ දෑත් නිර්මාණශීලීත්වයෙන් පිරවූ සම්පතක්. හිනා කටින් කිරිමැටි දෑතින් හාරා අත්ල මත ගුලිකොට ගෙන යන ගමන් දරුවෝ වැඩිහිටියන් අනුව යමින් නෙක මෙවලම් මැටියෙන් තනනන්නට උත්සාහ කරන්නේ පාසල් අධ්‍යාපනයෙන් දීමට උත්සාහ කරන හසුරු කුසලතාවන් මොනවට විහිදා දක්වමින්. ආනයනික චීන ප්ලාස්ටික් සෙල්ලම් බඩු වලට වඩා මේවායින් දරුවන් තුල ඇතිකල නිර්මාණශීලීත්වය අතිමහත්.

ඇළ ඉවුරු වල සරුවට වැඩෙන උණ පඳුරු හා බට පඳුරුත් ගැමි දරුවන්ගේ රජ දහනක් වන්නේ වෙසක් සමය එළඹීමත් සමඟයි. ගම පුරා අහස්කුස නේක සරුංගල් වලින් පිරී යන්නේත් ගෙවල් එළිපත්තේ වර්ණවත් වෙසක් කූඩු මද සුළෙඟ් සෙලවෙන්නෙත් මේ උණ පඳුරු, බට පඳුරු වලින් කපාගත් කෝටු දරුවන් දෑතින් විස්කම් බවට පෙරළීමෙන් පසුයි. එ් හැර වසරේ හැම සෙල්ලම් දිනයකම කිරිල්ල ඇට උණ්ඩ වලට තබා හදන බට දඬු තුවක්කුත්, උණ බට වලින් කුඹුරේ ආරක්ෂාවට වක්කඬේ රඳවා තැබෙන දිය හොල්මනත් ගැමි දරු දෑතින් නිම වන දස්කම්. මේ සියල්ලේ පැවැත්මේ මුල පැවතියේ ඇළ නිසයි.

කුඹුරේ වෙහෙසට පත් වන ගොවියා වෙලෙන් ගොඩට විත් වෙහෙස නිමවා ගන්නේ ඇළ දියෙන් මදක් සිරුර තෙමා ගනිමිනුයි. සමහර ගැමි ගැහැණුන් නිවසේ උයා හමාර හැලි වලං පවා ඇළ දියෙන් සේදුවේ පිරිසිදුකම ගැන මද හෝ විශ්වාසයකින් තොරවයි. නමුත් අද එ් ඇළ දියම කසලෙන් අපවිත‍්‍රව එතෙක් සත්ව හා ශාක ගහණයකට රැකවරණය සැලසූ ජීවි බිමක්ව තිබුණු සලකුණු බොහෝ ඉවත්ව ගිහින්. ඇළ දෙපස ඉවුරු හැඩ කල කිරිඳි ගසුත් ලූලන් මගුරන් හා දියනයින් ඇළ හැර ගිහින්. එදා පරිසර හිතකාමී ගොවියා වෙනුවට කෘමිනාශක විෂ රසායන ඇළ දිගේ වගේ වගක් නැතිව සෝදන නූතන ගොවීන් තමන් ගේ ගමට ඇති මේ කුඩා ජල සම්පත ගැන අවබෝධයෙන් දුරස් බවක දිස්වෙයි. කිසිදා ඇළට කුණු නොදැමූ පැරණි ගැමි ගෘහණියන් අතැර යමින් නූතන ගැමි නිවැසියන් ගෙවත්තේ කුණු කසල ද නවීනයේ තනන ලද නාන කාමර, මුලූතැන් ගෙවල අපජලය ද දුරදිග නොසිතන ඇළට බැහැර කරන්නේ අනාගතයට වඩා අද දවසේ පහසුව ගැන සිතමින්. ටියුෂන් වලට යටවූ නූතන ගැමි දරුවන් ද කිරිඳිඇට මාල හෝ බට ලී තුවක්කු ගැන නොදැනුවත්. කාලය විසින් වෙනස් කල ගැමි ජීවිතය සිතට ගෙනෙන්නේ මද පශ්චාත්තාපයක්.
සජිනි උයන්ගොඩ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *