නිර්මාණාත්මක අදහස් වලින් සලාදයක් සකස් කරගන්න හැටි

නිර්මාණාත්මක අදහස් වලින් සලාදයක් සකස් කරගන්න හැටි

මෙවර ලිපියෙන් මම ඔයාලට අරන් ආවෙ සලාද වර්ග හා ඔයාලගෙම නිර්මාණාත්මක අදහස් වලින් සලාදයක් සකස් කරගන්න හැටි කියල දෙන්න.

සාමාන්‍යෙන් සලාද ප්‍රධාන ආහාර වේලට කලින් අපි ගන්නෙ ඇයි? එයින් ඔයා ගන්න ආහාර වේල දිරවීමට පහසු කරනවා වගේම, සලාදය ගත්තට පස්සෙ ඔයාගෙ අධික කුසගින්න ටිකක් අඩු වෙනවා. ඉතින් ප්‍රධාන ආහාර වේලට ගන්න ආහාර ප්‍රමාණය පාලනය වෙනවා. නීරෝගී පෝෂ්‍යදායි ආහාර වේලකට පුරුදු වෙන්න. දිනපතා පුංචි සලාදයක් හදන්න.

ඒත් මේ සලාද ක්‍රම 4කට ආහාරයට ගන්නවා.
1. ප්‍රධාන ආහාර වේලට පෙර – සාමාන්‍යෙන් ලෙමන් හෝ දෙහි ,විනාකිරි සමග ඇඹුල් රසට(
කෑම කන්න විනාඩි 15 හෝ 20කට කලින් සලාදයක් ආහාරයට ගන්න.)
2.ප්‍රධාන ආහාර වේලත් සමග එකට.
3.ප්‍රධාන ආහාර වේලක් ලෙස- මෙතනදී සලාදයට පසු හෝ අමතරව කිසිම ආහාරයක් ගන්නෙ නෑ. ඒ නිසා මේ සලාදයට ප්‍රෝටීන් වර්ගයක් එකතු වෙනවා. (මස්, මාළු, චීස්)
4.අතුරුපස සලාදයක් ලෙස(පලතුරු ,නට්ස්,චීස්)

ඉතින් අද ඉදන් ඔයා හදන සලාද වලට පුංචි අදහස් ටිකක් මේ,

සැලඩ් ඩ්‍රෙසින් තමා අපි සලාද වලට එකතු කරගන්න සෝස් එක. අපි සාමාන්‍යෙන් සලාද හදිසියට හදනකොට ලුනු ,ගම්මිරිස් කුඩු දෙහි හෝ ලෙමන් යුශ වගේ දේවල් විතරයි එකතු කරන්නෙ.
තවත් වැදගත් දෙයක් මතක තියා ගන්න තේ හැන්ද මිලි ලීටර් 5, මේස හැන්ද මිලි ලීටර් 15.

*විනිග්‍රේට්

බහුලවම භාවිතා වෙන සැලඩ් ඩ්‍රෙසින් එකක් තමා මේ.

ඉතින් මේ විනිග්‍රේට් ලෙමන් එකතු කරල ලෙමන් විනිග්‍රේට් , වගේම වයිට් වයින් විනිග්‍රේට්, රාස්ප්බෙරි විනිග්‍රේට්, ඇවකාඩෝ විනිග්‍රේට්,ඇපල් සයිඩර් විනිග්‍රේට් හා ස්ට්‍රෝබෙරි විනිග්‍රේට් වගේ තවත් ආකාර කිහිපයකට හදාගන්න පුලුවන්. මම ඔයාලට ලෙමන් විනිග්‍රේට් එක හදන විදිය කියන්නම්. ලෙමන් හා වෙනස් ද්‍රව්‍ය(බෙරි වර්ග, අබ,මී පැණි) එකතු කරන් ඔයා නිර්මාණාත්මකව ඔයාලගෙ සැලඩ් ඩ්‍රෙසින් එක හදාගන්න.

ලෙමන් යුශ මේස හැදි 4
ලෙමන් ගෙඩියක පොත්ත සූරල තේ හැදි 1
ඔලිව් තෙල් මේස හැදි 6
විනාකිරි මේස හැදි 3
අබ ක්‍රීම් (ෆ්‍රෙන්ච් හෝ ඉන්ග්ලිශ් මස්ටර්ඩ් / Dijon මස්ටර්ඩ් වඩා සුදුසුයි. තේ හැදි1
ලුනු, සුදු ගම්මිරිස් කුඩු හා සීනි (දුඹුරු සීනි ) තේ හැදි 1 බැගින්.

මේ ද්‍රවය ඔක්කොම් හොදට එක දිගට කලවම් කරද්දි ඔක්කොම හොදට මිශ්‍ර වෙලා උකු සෝස් එකක් වගේ එයි. රස වැඩි වෙන්න මේකට වියලි ඔරිගානෝ, බැසිල් එකතු කරගන්න පුලුවන්. මේ සැලඩ් ඩ්‍රෙසින් ඉස්සෙල්ලම ඔයා වෙනම බාජනේක විස්ක් එකක් හෝ ගෑරුප්පුවකින් මිශ්‍ර කරන් ඉන්න. ගෙදරට සුදුසුම ක්‍රමය පුංචි බෝතලයකට දාල හොදින් සොලවන්න.ඒකෙම ගබඩා කරන්න ශීතකරණයේ. අවශ්‍ය වෙලාවට පාවිච්චි කරන්න.

ලෙමන් විනිග්‍රේට් වලට අමතරව වෙනත් සැලඩ් ඩ්‍රෙසින් වර්ග තියෙනව. හුගක් ම මයොනයිස් මූලික කරගත්ත සලාද වර්ග මයෝ වලට නොයෙක් ද්‍රව්‍ය(ටොමෑටෝ කෙචප්, මීකිරි, ලෙමන්,චිලි සෝස්, අබ, ගාලික් පේස්ට් වැනි) එකතු කරන් හදන ඩ්‍රෙසින් . ඒ වගේම මී කිරි වලට මයොනයිස් ලුනු ගම්මිරිස් එකතු කරන් ඔයාට සැලඩ් ඩ්‍රෙසින් එකක් හදන්න පුලුවන්. පොල් කිරි වලට තෙල් ,ලෙමන් ,අලිගැටපේර එකතුව ඩ්‍රෙසින් එකක් වගේම ,චීස් රසට කැමති නම් ක්‍රීම් චීස් ,ලුනු, කිරි එකතු කරන් ඩ්‍රෙසින් එකක් හදාගන්න.

ඊලගට විශේෂ දෙයක් තමා සලාද කොල වර්ග. මේ සලාද කොල හෝදන්න ඕනෙ අයිස් වතුරෙන්. විනාඩි තුනට වඩා තියන්නෙ නැතුව ලුනු එකතු කරගත්ත අයිස් වතුරෙ දාල හෝදන්න. සලාද කොල උයන්නෙ නැති නිසාත් සීතල ආහාරයක් නිසාත් බැක්ටීරියාවන්ගෙන් හානිය අවම කරගන්න සීතල ට කන්නත් සීතලේ ගබඩා කරන්නත් අමතක කරන්න එපා.

විශේෂයෙන්ම ආහාර පාලනය කරන අයට කීන්වා(quinoa) අඩංගු සලාද ඉතාමත් සුදුසුයි.පෝෂ්‍යදායි.

*කීන්වා කප් එකට වතුර කප් දෙකක් ලුනු චුට්ටක් දාල තම්බන්න ඕනෙ. තිත්ත නැති වෙන්න කීන්වා තම්බන්න කලින් පෙගෙන්න තියල පෙරේණෙකින් සෝදන්න.

*අවුවෙ වේලපු තක්කාලි + මොසරැල්ලා චීස් + ඇන්චෝවී + ඔලිව් ඇට + බැසිල් කොල – ලෙමන් විනිග්‍රේට් සමඟ
*කොල ඇපල් + ගර්කින් + සලාද කොල + ලූනු + තක්කාලි + රතු ගෝවා -මයොනයිස් හෝ ලෙමන් විනිග්‍රේට් සමඟ
*බෙල් පෙපර් පාට වලින් + තක්කාලි + කැරට් තෙල් නැතුව පෑන් එකක ග්‍රිල් කරල + ඇන්චෝවී + ලූනු එක්ක – වයින් විනිග්‍රේට් හෝ ලෙමන් සමඟ
*බී ලූනු + පිපිඤ්ඤා+ කුඩා රතු රාබු + සලාද කොල – විනිග්‍රේට් සමඟ
*තම්බාගත් බිත්තර + සලාද + ලූණු – අලිගැට පේර විනිග්‍රේට් හෝ මයොනයිස් සමඟ
*කෝල්ස්ලෝ- ගෝවා + කැරට්+ බෙල්පෙපර් + මයොනයිස් + ලුනු + ගම්මිරිස් කුඩු හා සීනි.
*තක්කාලි + අන්නාසි + දොඩම් හා සලාද කොල – ලෙමන් විනිග්‍රේට් සමඟ
*තක්කාලි+ කඩල+ ලූනු+ මිරිස් +පාස්ලි – ලෙමන් විනිග්‍රේට් සමඟ
*කොමඩු කුඩාවට කපාගත් + ගා ගත් ඉගුරු + නට්ස් + කොත්තමල්ලි කොල + මින්ට් කොල හා සලාද කොල – ලෙමන් විනිග්‍රේට් සමඟ
*කීන්වා+ පිපිඤ්ඤා + තක්කාලි + බඩඉරිඟු – ලෙමන් විනිග්‍රේට්
*මීට අමතරව, ග්‍රිල් කරගත් මස්, මාලු,සැල්මන්, චීස් එකතු කරගන්න පුලුවන්.
*පැස්තා -මයොනයිස් හෝ ලෙමන් සමග,
*පැස්තා, පලතුරු – චීස් සෝස් සමඟ.
*සීසර් සැලඩ් කියන්නෙ රොමේන් සලාද කොල වලද කුකුල් මස් හා කෲටොන් අඩංගු සැලඩ් එකක්. මේ ඩ්‍රෙසින් එකේ පාමසාන් චීස් ,මයොනයිස් ,අබ ක්‍රීම් ,ලුනු ,ගම්මිරිස් කැබලි , ලෙමන් යුෂ, ඔලිව් තෙල් අඩංගුයි.

ඉහත සලාද වලට ; තම්බාගත් – කීන්වා, කඩල, කවුපි, මුං ඇට, කහ බෝංචි ඇට, බඩඉරිඟු ඇට,බතල හෝ
වාශ්පයෙන් තම්බාගත් – ඇස්පැරගස්, බ්‍රොකොලි හෝ කැමති එළවලු වගේම නට්ස්, චීස් වර්ග, හර්බ් වර්ග වගේ දේවල් එකතු කරගන්න.

*තවත් වැදගත් කරුණක් තමයි ආහාර ලස්සනට පිලිගන්වන්න.සලාද එක වර්ණවත් සිත් ඇදගන්නා සුළු වෙන්න ඕනෙ. එලවලු හීනි පෙති ,තීරු, චූටි කොටු ආකාර වලට කපන්න. ලස්සනට පිලිගන්වල උඩින් පුංචි සැරසිල්ලක් තියන්න.

*පාන් එක එක හැඩ වලට කපලා, ලා දුඹුරු පාට වෙනකන් අවුවෙ , අවන් එකේ හෝ තෙලේ බැදගත්තම ඒකට කෲටොන් කියනවා. මේ කෲටොන් සලාද හෝ සුප් වර්ග එක්ක පිළිගන්වනවා.

සලාද ඩ්‍රෙසින් එක්ක කලවම් කරද්දි අතින් පොඩි නොකර පරිස්සමින් කලවම් කරන්න.සැලඩ් හා ඩ්‍රෙසින් වර්ග පිළිබද තවත් කරුණු ඉදිරි ලිපියකින් විස්තර කරන්නම්. ඔයාලට මේ ගැන ගැටළු ඇත්නම් අපට යොමු කරන්න. ඒ වගේම ජෙලටින් අඩංගු නිර්මාණාත්මක හා ගුණාත්මක සලාදයක් සාදා එහි පින්තූරයක් ලියාරා ෆේස්බුක් පිටුවට යොමු කර තෑගි දිනන්න.

මං නිෂි


(සූපවේදිනී කල්‍යාණි නිසංසලා or K . නි

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *