වල අඩිය සමයම

වල අඩිය සමයම

ටිපී මහතාට ඇත්තේ අරුම පුදුම භාෂාවක් වන අතර එය එක එක වෙලාවට එක එක වෙස් ගනී. එතුමා ඉතාලි භාෂාවෙන් කතා කරන්නේ නම් කිසිම පැටලීමක් නැතිව එය කතා කරනා අතර ඉංග්‍රීසි භාෂාව ඉතාලි හා පටලමින් කතා කරන්නට යෙදේ. එහෙත් සිංහල තනිකරම ඔහුට ඕනෑ වචන දමා සමයං ලෙසට කතා කරනා අතර වචන දන්නා නමුත් එය භාවිතා කරන්නේ කුමන අවස්ථාවකදීද යන්න ගැන එතුමාට අවබෝධයක් නැත. එලෙසම එතුමා එතුමාට ආවේණික ලෙසට වචන නොපිට පෙරළා කතා කරනා අතර එය හරියට කියා දුන්නද මතක ඇත්තේ එවෙලට පමණි ය. මොහොතකින් යළි කියන්නේ පෙර වචනය මය. ඒ ඉතින් ඔහුගේ හැටිය.

ටිපී මහතා ගිම්හාන නිවාඩුවේ අවසාන සති දෙක සිටියේ සිය නිවසේ විවේක සුවයෙන් ය. එතුමා එසේ විවේක ගත්තද එතුමාගේ මව හා පියා සේවයට යා යුතු වූ බැවින් එතුමා සිය මිත්තණිය ට බාර විය. එතුමිය කොහොමත් ටිපී මහතාගේ නීතීඥ මහත්මිය වන අතර ටිපී මහතා හා කාලය ගෙවන්නට ඇත්නම් කෑම බීමද අවශ්‍ය නැති බව පවසන්නීය. කෙසේ වෙතත් ඒ ආදරය පවතින්නේ ටිපී මහතා එතුමියගේ රූපලාවණ්‍ය බඩු වලින් බල්ලන් පූසන් හැඩගන්වන්නට යන තුරු පමණය. එසේ වූ විට නිවසේ ඇතිවන ගැටුම් වලට ගාසා තීරයද පරාදය. ඒවා එතරම්ම සුන්දර ය.

ටිපී මහතා සිය මිත්තණිය හා කාලය ගෙවමින් නානාප්‍රකාර සමයං පාමින් නිවසේ රජ කළ ඒ සමයේ එතුමාගේ මව නිවසට පැමිණෙන විටම එතුමියට අසන්නට ලැබෙන්නේ මිත්තණිය ගේ පැමිණිළි ය.

අනේ අද කෑවෙ නෑ හදල ගිය කිසිම දෙයක්,

අනේ අද දවසම ටී වී එකේ ලීවෙ නෑ එක අකුරක්වත්,

ඔල්මො ව නාවන්න ගියා ටබ් එකට දාලා නරක බබෙක් අද !

මෙස්සිගෙ බූල් වැඩියි කියල කතුරෙන් කපන්න ගිහිං අනූ නමයෙන් පූසි බේරුනේ මම දැක්ක නිසා !

කෙසේ වෙතත් මෙවන් පැමිණිළි හා ඡෝදනා සියල්ලෙන් එක එක අහක දමා අවසන මව විසින් විභාගයට ගන්නේ එකක් හෝ දෙකක් පමණ ය. ඒවාට ඇය හේතු ලෙස කියන්නේ අනේ පොඩි දරුවෙක් නෙ අම්මේ අපිත් ඔහොමනෙ ඒ කාලෙ , අනික අපිට නටන්න දුවන්න ඉඩ තිබ්බා මේ ළමයට එහෙම නෑනෙ කියා ය. ඉතින් මිත්තණිය ඉන් එහාට යළි කිසිවක් කියන්නෙ නැත. ඒකත් ඇත්තනෙ කියා ඇය එවිට පිළිතුරු දෙන්නීය.

මෙසේ කාලය ගෙවෙන අතරතුර එක් දිනක් ටිපී මහතාගේ මව නිවසට එන විටම ඇයට සුපුරුදු පරිදි අසන්නට ලැබුනේ මිත්තණියගේ පැමිණිළි වෙනුවට ටිපී මහතා ගේ පැමිණිළි ය. මන්ද එදින මව නිවසට එන විටම මිත්තණිය සිය මිතුරියක් හා එළියට ගිය බැවින් ය. ටිපී මහතා තම පුංචන් කට පොඩිය එහෙ මෙහෙ කරමින් “අම්මේහ්හ් , අර වල අඩිය කැඩුනනෙ අද” කීය. “මොන වල අඩියක්ද ?” යි විමසූ මවට ටිපී මහතා “අර වල අඩිය අනේ අර වල අඩිය , ඔයා සීයා ගෙදරින් ගෙනාව වල අඩිය” යැයි පිළිතුරු ලෙස කීය. මොකක් කැඩුනත් කෑල්ල ඇතිනෙ කියා සිතා කුස්සියට ගිය මවට කුණු බාල්දිය ද අස් කොට ඇති බව දැකගන්නට ලැබුන අතර , එනිසා වල අඩිය කුමක් දැයි ඇයට සොයා ගන්නට නොහැකි විය.

යළි කාමරයට පැමිණි ඇය , “මොකද්ද පුතේ කැඩුනෙ ? ” කියා ඇසූ අතර , ටිපී මහතා , “අර වල අඩිය අනේ අර ලොකු වල අඩිය අර පස් වලින් හදල තියන එක , ඒක අත්තම්මා හෝදනකොට බිමට වැටිල ඩොං වුනා” යි කීය. එහෙත් ඒ ඩොං වුනේ කුමක්දැයි සිතා ගත නුහුනු මව , “ඒක මොකටද ගන්නේ ” යි ඇසීය . “ඒක ඔයා එලවළු , පරිප්පු දාන්නෙ , අර වල අඩිය අනේ ” යි කියමින් විකාර කරන්නට වූ අතර මව , “ඒ වගේ තව ඒව තියනවද ගෙදර” කියා ඇසුවාය. ටිපී මහතා “ඔවු එන්න පෙන්නන්න ඒත් ඒවා පස් වලින් නෙමෙයි හදල තියෙන්නෙ ” යි කියමින් මව සමඟ කුස්සිය කරා ඇදුනේය.

කුස්සියට ගිය එතුමා ලොකු සාස්පානක් කබඩ් එකෙන් එළියට ගෙන පෙන්වූ අතර , “මේක වගේ පස් වලින් හදපු එක ඩොං වුනේ” යි කීය. ඒ අනුව බිඳී ඇත්තේ කුමක් දැයි මව තේරුම් ගත් අතර බිඳී තිබුනේ ඇය ලංකාවෙන් ඉතාලියට ගෙන ආ මැටි වළං වලින් ඉතුරුව තිබූ  මැටි වළඳය. ටිපී මහතා ගේ මිත්තණිය මැටි වළඳට කියන්නේ අඩි වළඳ වූ අතර ටිපී මහතා වල අඩිය කියා තිබුනේ අඩි වළඳ ටය !

ප්‍රභානී තෙන්නකෝන්.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *