සමනළ පරාදීසයේ තතු – 2

සමනළ පරාදීසයේ තතු – 2

සමනළයන් යනු lepidoptera ගෝත්‍රයට අයත් කෘමියෙකි. වර්ණවත් පියාපත් සහිත සැහැල්ලු සිරුරකින්  හෙබි සමනළයා හට බොහෝ දෙනෙකු ඇලුම් කරන්නේ එම පියාපත් වල ඇති අපුර්වත්වය නිසාමය. එහෙත්, සමළුන් පිළිබඳව තරමක් හෝ ගැඹුරින් අධ්‍යයනය කරන්නෙකු හට එම වර්ණවත් අලංකාරත්වයෙන් ඔබ්බට ගිය බොහෝ රසවත් කරුණු උන් සතුව ඇති බවට වැටහේවි.

සමනළුන් ඔබ වෙතට ගෙන්වා ගැනීමේ මැජික් එක කියා දෙන බවට මම පසුගිය කලාපයෙන් පොරොන්දු වීමි. ඉතින් මේ දිග හැරෙන්නේ එම මැජික් ශිල්පයේ පළමු පියවරයි. ඒ සඳහා පහත පියවර අනුගමනය කරමු. ඒ අනුව යමින් අපේ ගෙවත්ත සමනලුන් හට ආකර්ෂණිය ස්ථානයක් බවට පත් කරගනිමු.

1.            සමනළුන් හට අවශ්‍ය ආහාර.

වැඩිහිටි අවදියේ ප්‍රධාන වශයෙන්ම බොහෝ සමනළුන්  යැපෙන්නේ මල් යුෂ වලිනි. ඒසේ නම් සමනළුන් ආකර්ෂණය වන්නේ මල් ඇති ස්ථාන වලට බව පැහැදිලිය . සමනළුන් ප්‍රිය කරන විවිධ මල් පිපෙන ශාක ගෙවත්තේ වගා කර ගනිමු. මෙසේ මල් වැවීමේදී තමන්ගේ ප්‍රදේශයට සුවිශේෂි මල් වර්ග වැවීම මගින් තම ප්‍රදේශයේ වැඩි වශයෙන් සිටින සමනළ  වර්ග වැඩිපුර තමන් වෙත ගෙන්වා ගැනීමට හැකියාව ලැබේ. මෙම මල් වර්ග විවිධ හැඩතල වර්ණ සහ ප්‍රමාණ වලින් ද යුතු වීම විවිධාකාර සමනලුත් ආකර්ෂණය කර ගැනීමේ එක උපක්‍රමයකි. බෝගන්විලා ,වර්ණවත් සිනියස් වර්ග ආදිය  වර්ණය නිසා සමනලුන් බොහෝ සෙයින් ආකර්ෂණය කරගන්නා මල් වර්ගය.

තවද ඔබ ප්‍රදේශයේ වැඩිපුර සිටින සමනළුන් වර්ග හඳුනා ගෙන ඔවුන් වැඩිපුර ප්‍රිය කරන මල් වර්ග හඳුනා ගැනීමද වැදගත් ය. මේ සඳහා අන්තර්ජාලය සහ පොත පත උපයෝගී කරගැනීම සුදුසුය.

තවත් සමහර සමනළ විශේෂ මල් වලට වඩා  පලතුරු යුෂ ආදියට ද ඇල්මක් දක්වයි. එම නිසා වත්තේ තැනින් තැන, දිවුල්, අන්නාසි කැබලි වැනි දේ  තැබීමත් එවැනි සමනළුන් ගෙන්වා ගැනීමේ ක්‍රමයකි.

මඩ වගුරු ආශ්‍රිතව බිම වසා මඩ වතුර උරා බොන සමනලුන් ඔබ දැක තිබේද? තමන්ට අවශ්‍ය ජලය මෙන්ම අවශ්‍ය ලවණ ද ලබාගැනීමට ඔවුන් මෙම ක්‍රමය භාවිත කරනු ලබයි. එම නිසා වරින් වර වත්තේ ගස් අතර කුඩා මඩ කඩිති සාදන්න. සමනළුන් ඒ වෙත ආකර්ෂණය වේවි.

මේ හැරුණකොට කෘත්‍රිමව සාදන ලද පැණිරස දියර වර්ග ද භාවිත කළ හැකිය. මේ සඳහා අන්තර්ජාලයේ තිබු එක ක්‍රමයක් මම භාවිත කර බැලුවෙමි. එය සාර්ථක විය. සීනි කෝප්ප කාලක් වතුර කෝප්ප දෙකක දිය කරගන්න. එම මිශ්‍රණය සීනි දියවන තුරු පමණක්  රත් කරන්න. ඉන්පසුව එය නිමෙන්නට හැර ස්පොන්ජ් කැබලි වල පොඟවා වත්තේ තැනින් තැන තවන්න. සමනල්ලු ඒවාට ආකර්ෂණය වෙති.

2.            අවශ්‍ය පරිසරික සාධක

සමනළුන් හට සුළඟට එරෙහිව පිය සැලීමට තරමක ශක්තියක් වැය වේ. එම නිසා ඔබ සමනළ උයන සාදන ස්ථානය වැඩි සුළං තත්වයක් නැති ස්ථානයක් විය යුතුය. එමෙන්ම ඔබ ජීවත් වන්නේ අධික සුළං සහිත ප්‍රදේශයක නම් එම ස්ථානයේ ශාක බහුල වීම සහ සුළඟ මගහැරෙන ස්ථානයක් වීම වැදගත්ය.

සමනළුන් සෙවනට වඩා හිරු එළිය ප්‍රිය කරන පිරිසකි. එම නිසා හොඳින් හිරු එලිය වැටෙන තැන් වල මල් පිපෙන ගස් සිටුවීම මගින් මල් පිපීමටත් ඒවා වෙත සමනළුන් ආකර්ෂණය වීමටත් උපකාරී වේ.

3.            දළබුවන් වගා කිරීම

සමනළයා යනු සම්පූර්ණ ජීවන චක්‍රයක් ගත කරන කෘමියෙකි. එනම් ජීවන චක්‍රයේ එක අවස්තාවකදී ඔවුහු දළඹු අවදියක් ගත කරනු ලබති. එම දළඹුවන් ගේ ප්‍රධානම ආහාරය වන්නේ ගස් වල කොළ වර්ගය. ඒ හැරුණු කොට මල් වර්ග ද , ගෙඩි වර්ග ද ඇතැම්විට ආහාරයට ගන්නා දළඹුවන් කිහිප දෙනෙක් ද ලංකාවේ සිටිති. (ඉදිරි ලිපි වලින් පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙමි)

එහිදී සැලකිය යුතු වැදගත්ම කරුණ වන්නේ දළඹුවන් එක් එක් වර්ග ආහාරයට ගන්නේ එක වර්ගයක් හෝ වර්ග කිහිපයක පත්‍ර වර්ග පමණක් වීමය. උදාහරණයක් ලෙස ලංකාවේ ජාතික සමනළයා  ලෙස සැලකෙන Bird Wing ගේ දළඹුවා  ආහාරයට ගන්නේ සප්සඳ පමණක්ම වීම දැක්විය හැකිය.

එම නිසා අප ජීවත් වන  ප්‍රදේශයේ වාසය කරන හෝ වාසය කිරීමට හැකියාවක් ඇති සමනලුන් ගේ පෝෂක ශාක වර්ග වග කිරීම වැදගත්ය. එමෙන්ම වත්තේ ඇති තෘණ වර්ග වල පැළෑටි බොහොමයක් ද සමනළ දළඹුවන්ගේ ආහාර වේ. එම නිසා ඔබ සතුව විශාල වත්තක් තිබේ නම් වත්තේ එක කොටසක් හෝ එළි පෙහෙළි කිරීමෙන් තොරව පවත්වා ගැනීමට හැකි නම් එය ඉතා අගනේය.  තවද එවැනි පෝෂක ශාක නොමැති නම් ඒවා වත්තේ වගාකිරීමෙන් ද සමනළහු  බිත්තර දැමීම සඳහා ඒවාට ළඟා වෙති.

තවද ඇතැම් සමනළ වර්ග වල ජීවන චක්‍රය පවත්වාගෙන යාම සඳහා වෙනත් කෘමීන් ද අවශ්‍යය. උදාහරණ ලෙසින් දැක්වුවහොත් Red spot ( රතු පුල්ලියාගේ)ගේ ජීවන චක්‍රය සම්පූර්ණ කිරීමට දිමියාගේ උපකාරය අවශ්‍ය වේ.  Tinsel ( කෙසරුපා නීලයා ), Indian Sunbeam ( සුලබ ඉරුරසියා) ද එලෙස දිමියන් සහ කුහුඹුවන් අවශ්‍ය වෙන සමනළ විශේෂ දෙකකි. එම නිසා වතු පිරිසිදු කරන විට දිමි කූඩ ආදිය ඉවත්කර විනාශ නොකිරීමට වග බලා ගත යුතුය.

අඟුණ, කන්කුබල, බෝවිටියා , අනෝදා , කතුරුමුරුන්ගා, කුබුක්, කුරුඳු, අඹ , පිළිල , තෝර ආදී බොහෝ ශාක සහ පැළෑටි සමනළ දළඹු වර්ග වලට ආහාර වේ. එක් එක් සමනළ වර්ග වල පෝෂක ශාක ඉදිරි ලිපි වල විස්තර කරන්නම්.

4.            විලෝපිකයන්ගෙන් ආරක්ෂා කිරීම

සැබවින්ම සමනළයන් විලෝපිකයන් හට ගොදුරු වන අවස්ථා අපට වැළක්විය නොහැකි තරම්. ඊට හේතුව ඔවුන් බොහෝ විට ගොදුරු වන්නේ පියාසර කරන අවස්ථා වලදී කුරුල්ලන් හට. සමනලයන්ට වඩා විලොපිකයන්ගේ වැඩිම තර්ජනයට ලක් වන්නේ සමනළ දළඹුවන්. ශාක පත්‍ර ආශ්‍රිතව වාසය කරන දළඹුවන් කුරුල්ලන්ගේ ගොදුරු බවට නිතැතින්ම පත් වේ. කුරුල්ලන් හට අමතරව බත්කූරන් මකුළුවන් වැනි කෘමීන් විසින්ද සමනළයෝ  සහ දළඹුවෝ  ගොදුරු කරගනු ලැබෙති. එය වැලැක්වීම එතරම් පහසු නොවේ. එහෙත්, කුරුල්ලන් සඳහා අප තබනා නාන ස්ථාන, කෑමබඳුන් සමනළ උද්‍යානයෙන් ඈත් කර තැබීම ඒ සඳහා තරමක් උපකාරී වේ. 

තවද, මා අනුගමනය කරන ක්‍රමය  වන්නේ සමනළයින් බිත්තර දැමු පසුව ඒවා නිවාස තුළ ට ගෙන ඒම මගින් දළඹුවන් බෝ කර ගැනීමය. නොඑසේ නම් හමුවන දළඹුවන් නිවාස තුළට ගෙන එමෙන් පසුව උන් ව බෝතල් ආදියෙහි තබා අවශ්‍ය ශාක කොටස් ආහාර සඳහා ලබා දීමය. එය ඔවුන්ගේ ජීවන චක්‍රය අධ්‍යයනය කිරීමට ද වෙසෙසින් උපකාරී වේ.

මෙසේ බෝතල් වල දළඹුවන් ඇති කිරීමේදී පරපෝෂිත කෘමීන් හට ඒ තුළට යාමට ඉඩ නොදීම වැදගත් වේ. ඒ සඳහා කුඩා සිදුරු සහිත දැල් කැබැල්ලකින් මෙම බෝතල් වල කට වැසීම සිදු කළ යුතුය.

5.            පලිබෝධ නාශක වලින් ආරක්ෂාව

ඔබේ ගෙවත්තේ ඔබ පලිබෝධ නාශක භාවිත කරන්නේ නම් පැහැදිලිවම ඔබට සමනළ උද්‍යානයක හිමි කරුවෙකු වීමට නොහැකිය. මන්ද යත් පලිබෝධ නාශක වලින් සමනළුන් ද දළඹුවන්ද විනාශ වන බැවිනි.

සමනළ උද්‍යානයක් ඔබේ ගෙවත්තේ තැන ගැනීමට මෙම කරුණු උපකාර වේයැයි සිතමි. ඔබ‍ට මේ පිළිබඳව යම් ගැටළුවක් ඇතොත්, පහත ලිපිනයට ඊ මේල් පණිවුඩයක් යොමු කරන්න. තවද මේ ලිපි පෙළ පිළිබඳව ඔබගේ අදහස් හා යෝජනා ද ඒ ඔස්සේම යොමු කරන්න.

1-           නිවස තුලට ගෙනවිත් සෑදු Lime butterfly ( පැඟිරි පැපිලියා ) – සින්දූපා සෙනෙවිරත්න

2-           පසෙහි යුෂ උරා බොන Common Jay (සුලබ ජව සැරියා) – චතුර උදයංග

3-           දිමියන් සමග වාසය කරන Redspot දළඹුවා  ( රතුපුල්ලියා) – චතුර උදයංග

4-           බෝගන්විලා වල පැණි ලබාගන්න Dark wanderer  (අයාලයා ) – චතුර උදයංග

–              සින්දූපා සෙනෙවිරත්න

විශේෂ ස්තුතිය – සමනළුන් ගේ චායාරූප සහ විස්තර වෙනුවෙන් චතුර උදයංග මහතාට සහ අක්ෂර වින්‍යාසය සහ සහ වියරණ නිවැරදි කළ ප්‍රභාත් මිරිහාගල්ල මහතාට.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *